Print this Article


බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ සෑ රදුන් වහන්සේ

බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ සෑ රදුන් වහන්සේ

"සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෑත් එකතු කර වන්දනා කිරීමක් ඇද්ද එයම නිවනට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අරමුණු කරගෙන එක මලක් පූජා කළ ද අනන්ත අප්‍රමාණ ගුණ ඇති නිසා රැස්වෙන පින මහත්ඵල යි. මහානිශංස යි. "

බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයට ම එකම ශාස්තෘන් වහන්සේ වන සේක. උන්වහන්සේ පිරිනිවනට වැඩි ශෝකය, මහාසන්තාපය, පරිදාහය, සංසිඳී ගියේ ශී‍්‍ර දේහයේ ඉතිරි වූ ධාතුන් වහන්සේ නිසා ය.

මහා දයානුකම්පා ඇති උන්වහන්සේ පිරිනිවන් පානා මොහොතේ දී ම තමන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ මෙසේ මෙසේ බෙදේවා යි අධිෂ්ඨාන කළ සේක. අබ ඇට තරම්, වී ඇට තරම්, ඊට විශාල ලෙස ධාතුන් වහන්සේ ඉතිරි වූයේ ඒ අධිෂ්ඨානය නිසා ය. අබ ඇටයක් තරම් වූ ධාතුන් වහන්සේ නමකට ශ්‍රද්ධාවෙන් පහන් සිත උපදවාගෙන ගරු බුහුමන් කරන සියලු දෙනා සුගති සැප ලැබුවා මෙන් ම අමා නිවනට පින් රැස් කර ගත්හ.

මහා ධාතු පරිනිර්වාණය

මහා ධාතු පරිනිර්වාණය වීමට පෙර ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේලා ලෝකයෙන් අතුරුදහන් වී යනවා. සියලු සංස්කාරයෝ අනිත්‍ය වී යනවා. ඒ වනවිට ස්තූප ගරා වැටී ප්‍රතිමා අතුරුදහන් වනු ඇති. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ අතුරුදහන්වීම සිදුවෙයි. ඉතිරිව තිබෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා පමණි. යම් දවසක ශ්‍රද්ධාවන්ත අවසාන පුද්ගලයා මේ ලෝකයෙන් චුත වෙනවා ද? එදිනට ධාතු පරිනිර්වාණය සිදුවන බව සඳහන්. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොටස් තුනකි. ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු සහ උද්දේශික ධාතු යනුවෙනි.

ශාරීරික ධාතුන් වහන්සේ -

බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ඉතිරිවන ධාතුන් වහන්සේ මෙයට අයත්. දන්ත ධාතුන් වහන්සේ හතරනම, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතුන් වහන්සේ, රෝම ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, නඛ (නිය) ධාතුන් වහන්සේ ආදී සියල්ල ශාරීරික ධාතුන් වහන්සේට අයත් වෙනවා.

පාරිභෝගික ධාතූන් වහන්සේ -

බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ දේ පාරිභෝගික ධාතුන් වහන්සේට අයත් වෙනවා. මෙහිදී මුලින් ම සිහිපත් වන්නේ ජය ‍ශී‍්‍ර මහා බෝධින් වහන්සේ යි. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේගේ චීවර ධාතුව,පාත්‍ර ධාතුව, ඉන පටිය, අතුරන ඇතිරිල්ල, ඉඳගන්නා අතුරු ඇතිරිල්ල ඒ සියල්ල ම පාරි‍භෝගික ධාතුන් වහන්සේලා යි.

උද්දේශික ධාතුන් වහන්සේ -

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංකේතවත් කළ දේ උද්දේශික ධාතුන් වහන්සේ‍ට අයත්. එහි දී බුද්ධ ප්‍රතිමා වහන්සේ මුල්තැන ගනු ලබනවා. කෙනෙක් ශ්‍රද්ධා සිතින් සිරිපා සටහනක් සංකේතවත් කර වන්දනා කරනවා නම්, ධර්ම චක්‍රයක් වන්දනා කරනවානම් ඒ සියල්ල ම උද්දේශික ධාතුන් වහන්සේ වන්දනාව යි. ධාතු තැන්පත් කරඬුවක්, සෑයක්, පිළිරුවක්, රූප රාමුවකට හෝ කෙනෙක් වන්දනා කරන්නේ නම් ඒ සියල්ල ම උද්දේශික ධාතු වන්දනාවට අයත් වෙනවා.

බෝසතාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ

අනන්ත බුදුගුණ ලෝකයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ වදාළා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෑත් එකතු කර වන්දනා කිරීමක් ඇද්ද එයම නිවනට හේතු වෙනවා කියා. එයට හේතුව බුදුරජාණන් වහන්සේ නමක් අරමුණු කරගෙන එක මලක් පූජා කළද අනන්ත අප්‍රමාණ ගුණ ඇති නිසා රැස්වෙන පින මහත්ඵල යි. මහානිශංස යි. එසේ පිනක් රැස්වෙන්නේ උන්වහන්සේගේ ආනුභාවය නිසා යි. පැහැදුණු සිතකටයි ඒ පින රැස් වෙන්නේ. පූජා කළ දේ කුඩා දෙයක් වුවත් ජනිත වන කුසලය අනන්ත යි, අප්‍රමාණ යි.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනකුට සිතේ පැහැදීමක් අවබෝධයක් නැත්නම් නොපහන් සිතින් මල් කෝටියක් පූජා කළත් පහන් සිතින් එක මලක් පූජා කරන පින ලැබෙන්නේ නැහැ. ඒ නිසයි සිතේ පැහැදීම ඉතා ප්‍රයෝජනවත් වන්නේ. පහන් සිතින් කෙනක් ජීවත් වුණොත් මරණාසන්න මොහොතේ දී එය ප්‍රයෝජනවත් වෙනවා.

සිළුමිණ සෑ ධාතු කතාව

සිදුහත් කුමරු අනෝමා ග‍‍ඟෙන් එතෙර වෙලා මංගල කඩුව ගෙන උන්වහන්සේගේ මනාව සොඳුරුව කැරැළි ගැසී තිබූ දිගුවන් කේශ කලාපය උඩට ඔසවා ඒ කෙස් වැටිය කපා දැමුමා. ඒ තද නීල කෙස් වැටිය ගෙන මම අභිනිෂ්ක්‍රමණය සිදු කරන්නේ විමුක්තිය සොයා ගැනීම පිණිස යි. මගේ අදහස සපල වේ නම් මේ කෙස් වැටිය බිම නො වැටේවා! යි සිතා ආකාසයට වීසි කළා. එදින උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය දෙවියන් බඹුන් බලා සිටි දෙයක්. තද නීල වර්ණ වූ කේශ ධාතුන් වහන්සේ බිම නො වැටී ආකාසයේ රැඳුණා. එදා උන්වහන්සේ ‍ගේ ඒ කේශ කලාපය සිඳීන විට සෑම කෙස් ගසක් ම අඟල් දෙක ගණනේ ඉතිරි වෙන ලෙසයි කැපුණේ. ඒ සියලු ම කෙස් දක්ෂිණාර්ථ ව සිරසේ කැරකුණා. පිරිනිවන් පාන තෙක් ම බුදු සිරසේ තැන්පත් ව තිබුණා. අලුතින් කෙස් වැවීමක් බුදු සිරසේ සිදුවූයේ නැහැ.

සක් දෙවිඳු ඉන්ද්‍රණීල මාණික්‍ය කරඬුවට ඒ කේශ කලාපය ගෙන සත් යොදුන් තුනක් උස මාණික්‍ය ස්තූපයක් ඉදිකොට තැන්පත් කළා. ඒ සෑය සිළුමිණ සෑය යි. සක් දෙවිඳු ඇතුළු දෙවිවරු අදටත් ඒ ස්තූපයට නොයෙක් පුද පූජා කරමින් වන්දනා කරනවා.

සළුමිණ සෑ ධාතු කතාව

ඒ වගේම මහා බෝසතාණන් වහන්සේට වස්ත්‍ර දෙකක් තිබෙනවා. උතුරු සළුව සහ ජෝතිය ලෙස, ඉනට දැවටූ ඇඳුම. බඔ ලොව වැඩ සිටි ඝටීකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ‍ උපාසකයා. එදා කාශ්‍යප බුදු සසුනේ ජෝතිපාල නමින් සිටි ඝටීකාර බ්‍රහ්මයාගේ පි‍්‍රය මිතුරා අභිනික්මන් කරනවා දුටුවා. බ්‍රහ්මරාජයා බැලුවා පෙර සිටි මුනිවරු අභිනිෂ්ක්‍රමණය කරන විට මොනවාද පරිහරණය කළේ කියලා. අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර, පිණ්ඩපාතයට පාත්‍රය, කෙස් රැවුල් බෑමට උපකරණයක්, සිවුරු මසා ගැනීමට නූල් බෝලයක්, ඉදිකටුවක්, පැන් පෙරීමට පෙරහන් කඩයක් සහ අඳනය තදකර ගැනීමට ඉණ පටියක් පාවිච්චි කර ඇති බව දුටුවා. ඒ සියල්ල එකතු වූ විට අටපිරිකර නිර්මාණය වුණා. ඝටීකාර බ්‍රහ්මයා යි පළමු ව ශ්‍රමණයන් වහන්සේ නමකට මේ අටපිරිකර පූජා කළේ.

බෝසතාණන් වහන්සේ අඳනය පොරොවා ගත්තා. ගිහි සළු දෙක අතට ගෙන අධිෂ්ඨානයක් කළා, මගේ හස්තයේ තිබෙන්නේ මේ ජීවිතයේ අවසාන ගෘහ වස්ත්‍රය නම් මේ වස්ත්‍ර පොළොවට නොවැටේවා! යි අහසට වීසි කළා. සුදුපාට රශ්මි දහරා විහිදුවමින් සළුව අහසට ගියා. එය දිව්‍ය ලෝක හයේ ම දෙවියන්ට නවතාලන්න‍ට නොහැකි වුණා. දෙව්ලොව අභිබවා බඹලොව කරා සළුව ඇදී ගියා. බ්‍රහ්මකායික දෙවියෝ, බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ දෝත නළලේ තබා මුනිවරයකුගේ සළුවක් කියමින් සාධුකාර දුන්නා. සහම්පති බ්‍රහ්මයා මැණික් කරඬුවක් මවා ඒ සළුව තැන්පත් කළා. යොදුන් දොළහක් උස සෑයක් තනවා ඒ කරඬුව එහි තැන්පත් කළා. ඒ සළුමිණ සෑය යි. පසු ක‍ලෙක දී අකු ධාතුන් වහන්සේ ඒ ස්තූපයේ තැන්පත් වූ බව සඳහන් වෙනවා.