Print this Article


සාඩම්බර ඉතිහාසයක නටබුන් ශේෂ වූ රුහුණු රට සඳගිරිය රාජමහා වෙහෙර බිම

සාඩම්බර ඉතිහාසයක නටබුන් ශේෂ වූ රුහුණු රට සඳගිරිය රාජමහා වෙහෙර බිම

සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේ දී සමවත් සුවයෙන් වැඩසිටි තිස්සමහාරාම පුදබිමට ආසන්නයේ පිහිටි සඳගිරි සෑ රදුන් වහන්සේ තිස්සමහාරාමය, යඨාල වෙහෙර, මැණික් වෙහෙර සහ සඳගිරිය යන තදාසන්න ප්‍රධාන දාගැබ් හතරින් එකක් වශයෙන් සැලකෙයි.

රුහුණු රට අගනගරය වශයෙන් පැවති මාගම තිස්සමහාරාමය ආශ්‍රිත ව පැවතුණු බව විශ්වාස කෙරෙන අතර මහවැලි ගඟට දකුණින් ග්‍රාමවාසී මඟ සඟරුවනේ මූලස්ථානය වශයෙන් තිස්සමහාරාමය පැවතුණු බවට සාක්ෂි හමුවෙයි.

සඳගිරි විහාරය ද තිස්සමහාරාම රාජමහා විහාර සංකීර්ණයේ ම නැඟෙනහිර කොටස වශයෙන් හඳුන්වා දිය හැකි ය. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයකු වූ රෝහණ රාජ්‍යය පිහිට වූ මහානාග යුව රජතුමා විසින් සඳගිරි විහාරය ද කරවන ලදැයි ධාතු වංසයේ සඳහන් වන අතර, පූජාවලියට අනුව එය කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජතුමා වෙත එවූ පංච රාජ කකුධ භාණ්ඩවලට අයත් වූ දක්ෂිණාව්‍රත සංඛය සඳගිරි සෑයෙහි නිධන් කරවූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.


විහාරාධිපති දේවාලේගම ධම්මසේන නාහිමි

1894 වසරේ මෙම සෑ මලුවට වැඩම කළ කීඹියේ රතනජෝති හිමියන්ට සෑයේ ධාතුගර්භයේ තිබී ධාතූන් වහන්සේලා සත් නමක් සහිත සංඛයක් හමු වූ බව පැවසේ. මේ නිසා ධර්මාශෝක රජතුමා හා සබැඳෙන සංඛය පිළිබඳ පුවත සත්‍යයක් වශයෙන් පිළිගනු ලබයි.

රුහුණේ ඉදි කළ ප්‍රථම විහාරය හෙවත් ප්‍රථමක චෛත්‍යස්ථානය සඳගිරිය බව ඇතැම් වියතුන්ගේ මතය යි. රෝහණික ගාමිණි අභය රජුගේ සහ වසභ රජුගේ සෙල්ලිපිවල මෙම විහාරය රජ විහාරය ලෙස හඳුන්වා ඇත.

සඳගිරි සෑයේ පාදම පිරික්සීමේ දී සමතලා කළ බිම පිළිස්සීමට ලක් කොට ඇති බවත්, එම ස්ථානයේ වූ අඟුරු ක්‍රිස්තු පූර්ව 200 පමණ වකවානුවට එනම් දේවානම්පියතිස්ස රාජ යුගයට අයත් වන බව තහවුරු කොට ඇත.

සුවිශේෂී පාදමක නටබුන් ද හඳුනාගෙන තිබේ.

මුල් යුගයේ ස්තූපවලට අනන්‍ය වූ ඡත්‍රය සහ යූපස්ථම්භය සහිතව මෙම දාගැබ නිර්මාණය කොට ඇති හෙයින් කොත් කැරැල්ල සහ කොත දක්නට නැත. කාලානුරූපී ප්‍රතිසංස්කරණයන්ට භාජනය වූ සඳගිරි සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරවා ඇත්තේ පොළොන්නරු රාජධානිය පිහිට වූ පළමුවැනි විජයබාහු රජතුමා විසිනි.

දේවානම්පියතිස්ස රජ දවස අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බිමක් ලෙස චන්දනගාමය සැලකේ. ශ්‍රී මහා බෝධි රෝපණ උළෙලට සහභාගී වූ සඳුන්ගම ක්ෂත්‍රීයයන්හට අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් පිරිනැමුවේ ය යන සඳහන අනුව ඇතැමුන් විශ්වාස කරන්නේ එම බෝධීන් වහන්සේ සඳගිරි විහාර බිමේ රෝපණය කර වූ බවයි. විහාරබිමේ නටබුන් හමුවන බෝධිඝරය එම බෝධීන් වහන්සේ පිහිට වූ ස්ථානය වශයෙන් සලකයි.

මෙම විහාර සංකීර්ණය තුළ වතුර උණු කොට ස්නානය කිරීම සහ හුමාලය යොදා සිදු කරනු ලබන ප්‍රතිකර්මවලට යොදා ගත් ජන්තාඝර නටබුන් හමු වී ඇත. මීට අතිරේක ව පිළිමගෙවල් සහ පෝය ගෙවල් නටබුන් ද සඳගිරි විහාර සංකීර්ණය තුළ විසිරී පවතී.

විසිවන සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියකු වූ හෙන්රි පාකර් විසින් තම කෘතියක සඳගිරි සෑය පිළිබඳ තොරතුරු සඳහන් කොට තිබේ.

කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් සඳගිරි විහාර සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 1987 වර්ෂයේ ආරම්භ කොට ඇති අතර එම ප්‍රතිසංස්කරණයන්හි දී දාගැබේ කොටසක් කඩා වැටීමට ලක් වී ඇත. නැවත 2000 වසරේ දී විධිමත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භ කොට ප්‍රතිසංස්කරණ කටයුතු 2016 වසරේ නිමාවට පත් කොට ඇත.

තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ භාරකාරත්වයට යටත් ව පවතින මෙම පුදබිමෙහි වර්තමානයේ තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කන්දබඩපත්තුව සහිත හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ විසින් විහාරාධිපතීත්වය හොබවනු ලබති.