Print this Article


සඳ හිරු පායන තුරු පවතීවා - පින්බර සඳහිරු සෑය දිලේවා

සඳ හිරු පායන තුරු පවතීවා - පින්බර සඳහිරු සෑය දිලේවා

ඉල් පුර පසළොස්වක පෝදා සිට ජනතා වන්දනාවට විවෘතයි

2014 වසරේ නොවැම්බර් 23 වැනිදා චෛත‍්‍යයේ ගර්භයේ ධාතු නිධන් කිරීම සිදු කෙරුණු අවස්ථාව

මහා සංඝ රත්නය මුල් කරගෙන රට පාලනය කිරීම අතීත රජදරුවන් විසින් හෙළ සංස්කෘතියට එක් කළ විශේෂිතම ආදර්ශයක් වන්නේ ය. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය පමණක් නොව මිරිසවැටිය වැනි මහා දාගැබ් බිහි වූයේ ඒ ආභාසයෙන් යුක්තව ය.

මෑත ඉතිහාසයේ එවන් විශාල දාගැබක් ඉදිවූවා නම් ඒ කොත්මලේ මහවැලි මහා සෑය පමණි.


කොත් කැරැල්ල දාගැබේ තැන්පත් කළ අයුරු

එහෙත් වසර 30ක් පමණ පැවැති ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය නිමවීමෙන් පසුව යුද්ධයට දිවිදුන් රණවිරුවන් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් ද, අතුරුදන් රණවිරුවන් මෙන්ම දිවි පරදුවට තබා අප වෙනුවෙන් යුද වැදී රට රැක ගත් සියලු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමට මහාසෑයක් ඉදි කිරීමට එවකට ජනාධිපතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු යොදන ලදී.

එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය සපයන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම රට බේරාගත් රණවිරුවන්ට කළගුණ දැක්වීමට ඉදිරිපත් වූ දෙස් විදෙස් සියලු දෙනාම මේ සෑය වෙනුවෙන් දායකත්වය දරන්නට ඉදිරිපත් විය.

ඒ අනුව ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ම, රුවන්වැලිසෑයට නුදුරින් කළගුණ සැලකීම පිණිස මහා සෑයක් ඉදි කිරීමට යෝජනා විය. එය ‘කළගුණ සෑය‘ නමින් නම් කරන්නට ද යෝජනා විය.

ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනි දා මේ මහා සෑය ඉදිකිරීමේ ආරම්භක කටයුතු සිදුවුණු අතර, එය සඳහිරු පවතින තුරා යන්න සිහි කරමින් ‘සඳහිරුසෑය‘ යනුවෙන් එය නම් කරන ලදී. කඩිනමින් වැඩ කටයුතු සිදු කළ එහි 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල පිහිටි, දුටුගැමුණු රජතුමා හා එළාර රජු මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජතුමා ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි.

රුවන්වැලිසෑයේ උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති ස්තූපය ලෙස එදත් අදත් අපේ බෞද්ධ ජනතාව එයට ගෞරව ය පුද පූජා පවත්වති. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය රුවන්වැලි සෑ රදුන්ට වඩා අඩි 18 ක් උසින් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කර ඇත.


භික්ෂූන් වහන්සේ දාගැබ ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබා දුන් අයුරු

එකල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එකල ආරක්ෂක ලේකම් ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මෙහෙයවීම මත එකල යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ 4 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු මෙම සඳහිරු සෑය යුහුසුළුව ඉදි කිරීම ආරම්භ කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව මෙම සෑ රදුන් ඉදිකෙරුණේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණයට අනුරූපව ය. විජයබා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, කාල තුවක්කු බළකාය ජාතික ආරක්ෂක සේවා බළමුළුව ඇතුළු යුද හමුදාවේ බොහෝ අංශ මේ වෙනුවෙන් ඇප කැපවී දායකත්වය සපයන ලදී. පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ මහා සෑයේ ඉදිකිරීමට දායක වෙති. ඊට අමතරව නාවික හමුදාව, ගුවන් හමුදාව ද උපරිම දායකත්වය ලබා දී තිබේ.

චෛත්‍යයේ විශ්කම්භය අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ, රුවන්වැලිසෑය චෛත්‍යාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් හා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුණු වැවේ ඥානතිලක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව මෙහි සියලු ඉදිකිරීම් සිදු කෙරේ.

21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවට වාර්තා වේ.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකෙරී ඇත. ඒ සඳහා එහි පොළොව මට්ටමේ සිට අ‍ඩි 45 ක් පොළොව යටට කළුගල් සහිත ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ. ඒ අනුව සෑය ඉදි කරන ප්‍රදේශයේ පොළොව යට අඩි 45 ක් පමණ ස්ථිර කළුගල් මතුවන තුරු හාරා ඒ මත කෘතිම කළුගලක් නිර්මාණය කර තිබේ.

මේ වසරේ මැදින් පුන් පොහෝ දින එහි හතරැස් කොටුවේ නිධන්වස්තු තැන්පත් කිරීම සිදුකෙරිණි. ඒ වන විටත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් විශාල පිරිසක් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දී තිබුණි. නිධන්වස්තු තැන්පත් කෙරුණු දිනම චූඩා මාණික්‍යය ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය ශ්‍රී ලාංකිකයන්ට දැක බලා ගැනීම පිණිස දිවයින පුරා සංචාරය කිරීම වැදගත්කොට සැලකිය යුතු ය. චූඩා මාණික්‍යය සහිත කොත් කැරැල්ල චෛත්‍යයේ ස්ථාපිත කිරීම පසුගිය 8 වැනිදා සිදු කෙරුණේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදය.