Print this Article


ධර්මපාලතුමාගේ චින්තනය මගේ ජීවිතයට තදින්ම බලපෑවා - සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක

ධර්මපාලතුමාගේ චින්තනය මගේ ජීවිතයට තදින්ම බලපෑවා - සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ පුවක්මොටේ නමැති ගම්මානයේ තිබු පැරණිම නිවසේ මීට වසර 84 ට පෙර උපන් පින්වත් කුමරා අද සිංහල භාෂාව පිළිබඳ නිරතුරු ගවේෂණයේ යෙදෙන බහුශ්‍රැත පඬිවරයෙකි. වියත් දේශකයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස ද, තායිලන්තයේ තානාපති ලෙස ද සේ‌වය කර ඉසිඹු ලබා සිටින එතුමාට තම ජීවන ගමන් මඟේ නෙක ඉසව් අතික්‍රමණය කිරීමට බුදුදහමෙන් ලැබුණු ආලෝකය පිළිබඳ අද කියවමු.

මම ඉපදුනේ 1937 අප්‍රේල් 16 වැනි දා හෙවත් හිසතෙල් ගාන දවසේ. තාත්තාගේ නම රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න උක්කුබණ්ඩා. අම්මා උඳුගොඩ ගෙදර මුතුමැණිකේ. පියා මව විවාහ කරගෙන මවගේ ගම් පළාත වන රඹුක්කන පුවක්මොටේ බින්න බැහැලා තියෙනවා.

ඒක ලස්සන පිටිසර ගමක්. අපේ ගම පිහිටලා තිබුණේ කඳු දෙකක් අතර වෙල්යායක් මැද ගොඩැල්ලක් වගේ පිහිටි දුපතක. මේ දූපතේ පිහිටි පන්සල ඇරුනහම ගිහි ගෙවල් තුනක් තිබුණා. අපේ ගෙදර එයින් එකක්. අනෙක් ගෙවල් දෙකේ හිටියේ අපේ ඥාතීන්. ගමේ තිබුණු පරණම ගේ අපේ ගෙදර. මේ නිසා අපේ ගෙදරට ගම්මු කිව්වේ පරණ ගෙදර කියලයි. අප්පච්චි වෙද මහත්තයෙක් නිසා ගම්මු අප්පච්චි හැඳීන්වුයේ පරණ ගෙදර වෙදමහත්තයා කියලයි. මම පවුලේ හතරවැනියා. මට වැඩිමල් අයියලා තුන්දෙනයි. තව බාල මල්ලි කෙනෙක් ඉන්නවා.

මම උපන්නේ ගැමි බෞද්ධ පරිසරයක. අපේ ගමේ පන්සලේ නම ශ්‍රී නාගරුක්ඛාරාමය. පන්සලක් ළඟ තිබුණ නිසා පන්සලේ සිදුවන දේවල් උදේ හවස මට පෙනුණා. නිල් ගොයම මැදින් කහ පාට සිවුරු ඇඳගත් හාමුදුරුවරු වඩිනවා මම ගෙදර ඉඳන් ආසාවෙන් බලා හිටියා.

පෝය කිට්ටු වෙනකොට පන්සලේ පෝය හේවිසි සද්දේ අපේ ගෙදරට ඇසෙනවා. මම එතකොට පන්සලට දුවනවා. වැටක් පනින්න විතරයි තිබුණේ. පන්සලේ පින්කම් එකක්වත් අපි මඟ ඇරියේ නැහැ. පන්සලේ හාමුදුරුවෝ යන එන හැටි පැන්තොටට ගිහින් ස්නානය කරන හැටි, බණ දෙසන හැටි, පුංචි කාලෙ ඉඳලා මම දැක්කා. පන්සල් යන්න කලින් ගෙදර හැමෝම ඒ සඳහා පෙර සූදානම් වෙනවා. මල් කඩනවා, තෙල් , හඳුන්කුරු, පහන් තිර ටික හදාගන්නවා. අම්මා අල්මාරිය ඇරලා අලුත්ම තුවායක් අරන් දෙනවා බිම එලලා දෑත් තියලා වඳීන්න කියලා. ඒ තුවාය සැවැ න්දරා සුවඳේ බැහැ. ඊළඟට යාන්තම් අකුරු සාස්තරේ දැන ගත්ත කාලේ ඉඳලා පන්සලේ පොත්, පත්තර ටික කියවන්නත් මම උනන්දු වුණා.

පන්සලට සතියකට වරක් සිංහල බෞද්ධයා පත්තරය සහ මහාබෝධිය සඟරාව ගෙනෙනවා. අද වගේ පත්තරය බෙදා හැරීමක් එදා සිදුවූයේ නැහැ. පන්සලෙන් කවුරුහරි ගිහිල්ලා පත්තරේ ගේන්න ඕනේ. වරින්වර මම ඒ රාජකාරිය බාර ගත්තා. හාමුදුරුවෝත් ඒ ගැන සතුටු වුණා. පත්තරේ ගෙනැල්ලා මට පුළුවන් විදියට කියෙව්වා. මම මුලින්ම කියවූ පත්‍රය සිංහල බෞද්ධයා පත්‍රයයි. එය ආරම්භ කළේ අනගාරික ධර්මපාලතුමායි. සිංහල බෞද්ධයා පත්‍රයේ අදහස් මගේ හිත ගත්තේ පුංචි කාලයේදී ම යි.

ඒ කාලයේ දී එතුමා “සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්” කියන සටන ගෙනියන අතර ම ගවමස් කෑමට විරුද්ධ ව ලොකු සටනක් දියත් කළා. “බෞද්ධයා සත්ව ඝාතකයෙක් නොවන නිසා මස් මාංශ අනුභව නොකළ යුතුයි; එළවළු පමණක් අනුභව කළ යුතුයි. “ කියල කිව්වා.

“මළ මිනී ඔබේ හදවතේ තියාගෙන ඇයි ඔබේ හදවත සොහොන් බිමක් කරගන්නේ.” කියල එතුමා අසුවා. පුංචි මගේ හිතට ඒක තදින් වැදුණා. මම මස් මාංශ කන එක අත්හැරියා. මගේ ජිවිතයේ බෞද්ධ මුහුණුවරට බලපෑ ප්‍රධානම චරිතයක් තමයි අනගාරික ධර්මපාලතුමා.

මහාබෝධි සඟරාව පළවුණේ ඉංග්‍රීසියෙන්. ධර්මපාලතුමාගේ දිනපොතේ සටහන් දිගටම එහි පළවුණා. දිනපොතක් නිසා බොහොම සරලව ලියල තිබුණා. ඒ නිසා පුංචි මට ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන් වුණා. එතුමාගේ දිනපොත ආසාවෙන් කියවලා මමත් පටන් ගත්තා දිනපොතක් ලියන්න. එදා සිට අද දක්වා ම මගේ දිනපොත ලියනවා.

මම මුලින් ම ගියේ පුවක්මොටේ බෞද්ධ පිරිමි පාඨශාලාවටයි. ගෙදර ඉඳලා වෙල් එළිය දිගේ ටික දුරක් ගිහින් පොඩි කන්දක් නැඟලා තමයි ඉස්කෝලෙට යන්න තිබුණේ. ඔය කාලෙම අපේ ලොකු අයියා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියා. අයියා අප්පච්චිට කිව්වා මල්ලිත් එයා ඉන්න ඉස්කෝලෙට එවන්න කියලා. මාව පහළ බාලාංශයට ඇතුළත් කළා. ටික කාලයක් ගත වුණා. අපේ පාසල කන්දක් උඩ පිහිටි නිසා පහළ බාලාංශය නගරයට අරගෙන ගියා. පාසල පැවැත්තුවේ දළදා මාළිගාව ඉදිරිපිට ගොඩනැඟිල්ලකයි. මාළිගාවේ තේවාවන්, පින්කම්, උත්සව හැම දෙයක්ම මගේ නෙත ගැටුණා.

1947 දී මගේ ලොකු අයියා කොළඹට ආවා නීතිය හදාරන්න. ඒ ගමන් මාවත් එක්කගෙන ආවා. ධර්මරාජ විදුහලේ ප්‍රධානියා ව සිටි එල්. එච්. මෙත්තානන්ද මහත්මයා. ඒ වෙනකොට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති. මගේ අයියා එතුමාව හොඳීන් අඳුනගෙන හිටියා. ඒ කාලේ අද වගේ පදිංචි තැන ඉඳලා දම්වැල් ඇද්දේ නැහැනේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මාව ආනන්දයට ඇතුළු කරගන්න පුළුවන් වුණා.

එතැන් පටන් මගේ ජීවිතයේ පරමාදර්ශය වුයේ මෙත්තානන්ද මහතායි. ඔහු හොඳ ආරෝහ පරිණාහ දේහයක් ඇති, ජාතික ඇඳුම ඇන්ද අපේ රටට ගැලපෙන සිතුම් පැතුම් ඇති චරිතයක් බව ධර්මරාජ විද්‍යාලයේ ඉන්න කාලේ ඉඳලම මට වැටහී තිබුණා.

ආනන්ද විදුහලට පැමිණි පසුවත් බෞද්ධයා පත්‍රය කියවීම දිගටම සිදුකළා. පාසලේ හාමුදුරු නමක් නැවතී වැඩ සිටියා. කුඩා පන්සලක් බුදු ගෙයක් තිබුණා. නිතර බණ ඇසුවා. පාසලේ ආගමික කටයුතු නිතර සිදු වුණා. මම ටිකක් ලොකු පන්තිවලට ආවාම පාසලේ බෞද්ධ කටයුතු බොහොමයකට සම්බන්ධ වුණා. බෞද්ධ සහෝදර සංගමයේ ලේකම් හැටියට කටයුතු කළා. ඒ කාලයේ හීනටියන ධම්මාලෝක හිමි, වජිරාරාමයේ නාරද හිමි, පියදස්සී හිමි සහ ගුණපාල මලලසේකර යන මහත්වරුන් ගෙන්වලා පාසලේ ධර්ම දේශනා, සංවාද පැවැත්වූවා.

බුද්ධ ජයන්තිය පැවැති වසරේ දී විද්‍යාලයේ “ආනන්දය” නමැති සිංහල සඟරාවේ සංස්කාරක වුණේ මමයි. බුද්ධ ජයන්තිය මෙය ද කියලා මම ඒකට කතුවැකියක් ලිව්වා. මල්, පහන්, උත්සව, තොරණ, දන්සැල් , පහන් කූඩු ප්‍රදර්ශනය නොව නියම බුද්ධ ජයන්තිය නම් දුගී දුප්පතුන්ට පිහිට විය යුතු බව, අනුන්ට හිංසා පීඩා නොකළ යුතු බව, පන්සිල් ආරක්ෂා කිරීම ආදී බෞද්ධ දර්ශනයේ ඇතුළත් කරුණු දක්වමින් විචාරාත්මක ව ලියූ එම කතුවැකිය බොහෝ කතාබහට ලක්වුණා.

පස්සේ මේ කතුවැකිය සිළුමිණ පුවත්පතේ සම්පුර්ණයෙන් ම පළ වුණා. ඒ කාලයේ සිළුමිණ පුවත්පතේ ලිපියක් පළකරගන්න හරිම අමාරුයි. මේක මගේ ලේඛන ජීවිතයට විශාල ධෛර්යයක් වුණා. ඊට පෙර පොඩි පොඩි ලිපි පුවත්පත්වල පළ වී තිබුණා. එහෙත් මෙවැනි විසංවාදී ප්‍රබල ලිපියක් පළ වුණේ ප්‍රථම වරටයි.

1957 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. මම මුලින් ම හැදෑරුවේ සිංහල භාෂාව, පුරා විද්‍යාව, ලංකා ඉතිහාසය යන විෂයයන්. එහි දේශන සඳහා පැමිණියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන., මහාචාර්ය විමලරත්න වැනි ගුරුවරු. ඒ අයගේ දේශනා අසා මට හොඳ දැනුමක් ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගැනීමට හැකිවුණා. පරණවිතාන මහතා විසින් අනුරාධපුරයේ, පොළොන්නරුවේ සිදුකළ කැණීම් සඳහා මටත් සහභාගී වීමට ලැබුණා. ඒ නිසා මට පුරාවිද්‍යාව ගැන විශේෂ අවබෝධයක් ලැබුණා. ඒ දැනුම පාදක කර ගනිමින් “මිහින්තලය”, පොත ලිව්වා. අපේ සිද්ධස්ථාන ගැන විස්තර කරමින් “රටක මහිම “ නමින් පොත් පෙළක් ලිව්වා. රිදී විහාරය, මුල් කිරිගල, කැළණි විහාරය, ඉසුරුමුණිය, දෙගල්දොරුව, තන්තිරිමලේ, දළදා ,මාළිගාව ගැන කෘති රාශියක් ලියා තිබෙනවා. “රටක මහිම “ පොත් ලිව්වේ වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින්. ඒ නිසා ඔවුන්ට තේරෙන විදිහට සරලව කතා කරන සිංහලෙන් ලිව්වා. පොත කියවන පාඨකයාට තමා වන්දනා නඩයේ ඉන්න ගමන් සිද්ධස්ථාන වැඳ පුදා ගන්නා බව හැඟෙනවා. තවත් බෞද්ධ පොත්පත් රාශියක් ලිව්වා.

මගේ බිරිඳ කුසුම් හමුවුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. පුතා මුල්‍ය විෂයය පිළිබඳ උපාධිධාරියෙක්.

මම එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයා වශයෙන් සේවය කරන කාලයේ මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ ධම්මවිහාරී හිමියන් සමග ධර්ම දේශනයක් සඳහා එහි වැඩම කළා. ධම්මවිහාරි හාමුදුරුවෝ ගිහි කාලයේ ලංකා විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය ධීරසේකර පසුකාලීනව මහණ වුණා. මඩිහේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් ඇසීමට මමත් බිරිඳත් උන්වහන්සේ වැඩසිටි එංගලන්තයේ පන්සලට ගියා. එහිදී මඩිහේ හාමුදුරුවෝ මාව ළඟට කැඳෙව්වා. ධම්මවිහාරී හාමුදුරුවෝ මට පෙන්වලා ඇහුවා “ මහාචාර්යතුමා, ඔබතුමාත් මෙන්න මේ වගේ මහණ වුණොත් නරකද ? “කියලා. මම හිනාවෙලා කිව්වා “ බිරිඳගෙන් අහල කියන්නම් කියලා “.

මට මහණ වෙලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මහණ වීමේ බලාපොරොත්තුවක් මගේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මහණ වෙන්නේ “ වැඩිදෙනකුගේ හිත සුව පිණිසයි “. මා මෙතෙක් කල් ගිහියෙක් හැටියටත් කළේ මට හැකි පමණින් වැඩි දෙනෙකුගේ හිත සුව පිණිස වැඩ කිරීමයි. ඒ නිසා අද මේ කොරෝනා වසංගතය පවතින කාලයේත් මම ජිවත් වෙන්නේ සැනසිල්ලෙන්. නිර්මාංශික නිසා මට කිසිම ලෙඩක් නැහැ. කවදා හෝ දවසක මේ භවයේ අවසානය එනවා. ඒ ගමන යන්න මගේ සිතේ කිසිම බයක් නැහැ.