Print this Article


අවවාද සතුටින් පිළිගන්න

අවවාද සතුටින් පිළිගන්න

පුහුදුන් මිනිසාගේ ස්වභාවය වනාහි කායික මානසික මෙන් ම වාචසික වශයෙන් යම් යම් වැරැදි ක්‍රියාවන් සිදුකිරීම යි. වැරදි ක්‍රියාවන් සඳහා අප පොළඹවනුයේ අපේ සිත යි. අප නොදැනුවත් ව හෝ දැනුවත් ව අප අතින් සිදුවන වැරැදි ක්‍රියාවන් බොහෝ ය.

ඒ තුළින් ඇතැම් අවස්ථාවල අපගේ මෙන් ම අන්‍යයන්ගේ ද ජීවිතවල යම් යම් වෙනස්කම් සිදුවන අවස්ථා බොහෝ ය. ලොව ජීවත් වන්නාවූ කිසිවකු සර්ව සම්පූර්ණ පුද්ගලයෝ නොවන අතර, අසම්පූර්ණ පුද්ගලයෝ ද නොවෙති. කෙනකු යම් වරදක් කිරීමට පෙළඹීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් පුද්ගලයා එම වරදින් මුදවා ගැනීමට කටයුතු කරන්නේ ඉතා සුළු පිරිසකි. සමාජයේ බොහෝ දෙනා සිදුකරනුයේ පුද්ගලයා තව තවත් වරදට පොළඹවා ගැනීම මිස ඉන් මුදවා ගැනීම නොවේ.

බුදුන්වහන්සේ අසූවසක් මුළුල්ලෙහි සිදුකළේ පුද්ගලයා වරදින් මුදවා සම්මා ජීවයෙහි යෙදවීම යි. සෙසු ශ්‍රාවකයා ද යෙදවූයේ එම මාර්ගයෙහි ය. ඉහත සදහන් ධම්මපද ගාථාවේ දී බුදුන්වහන්සේ දේශනා කරනුයේ පුද්ගලයකුගේ වරදක් දැක එය යහපත් සිතින් පෙන්වා දෙන්නා මහා නිධානයක් පෙන්වාදෙන පුද්ගලයකු ලෙසයි. කෙනෙකුගේ වරදක් දැක එයට දැඩිලෙස නිග්‍රහ කොට ඔහු නිවැරැදි මාර්ගයට ගැනීමට උත්සාහ කරනුයේ කල්‍යාණ මිත්‍රයන් ය.

යම්කිසි කෙනකුගේ වරද දැක එයට නිග්‍රහ නොකට එය අනුමත කරන්නේ නම් ඔහු පාපකාරී මිත්‍රයෙකි. කෙනෙකු විසින් සිදුකරනු ලබන නිග්‍රහය කායික, වාචසික හා මානසික යනුවෙන් තෙපරිදි වේ.

තැළීම්, පෙළීම්, බැඳීම් ආදියෙන් කරන්නා වූ නිග්‍රහය කායික වන අතර, තැතිගැන්වීම් අවවාද දීම් ආදී වශයෙන් කරනු ලබන්නේ වාචසික නිග්‍රහය යි. වරද දැක අනුශාසනා නොකොට සිටීම මානසික න්‍රිග්‍රහය නම් වේ. වර්තමාන සමාජයේ බහුල වශයෙන් සිදුවනුයේ මානසික නිග්‍රහය යි. එනම් වරද දැක එයට අනුශාසනා නොකිරීම යි. වත්මන් දෙමව්පියන් ද තම තමන්ගේ දරුවන් වැරැදි ක්‍රියාවල නිරත වන අවස්ථාවල දී ඒවා එ තරම් මට්ටමකට නොසිතා මඟහැරීම මඟින් බොහෝ දෙනකු වැරැදි ක්‍රියාවන් සදහා පෙළඹී ඇති බව නිතර දැකගත හැකි ය.

දරුවන්ගේ වැරැදි පෙන්වා දෙමින් දෙමව්පියන් හා ගුරුවරු සිදුකරනුයේ සැබෑ කල්‍යාණ මිත්‍ර ක්‍රියාවකි. එහෙත් එය අමිහිරි දෙයක් සේ දකිනා බොහෝ පිරිසක් ද වේ. බොහෝ දෙනෙකු තමාගේ වරදක් තවකෙකු ප්‍රකාශ කළහොත් “ ඔබ කවුද මට උපදෙස් දෙන්න තමුන්ගේ වැඩක් බලාගන්න. අනුන් හදන්නේ නැතිව” යනුවෙන් ප්‍රකාශ කිරීම නිතර දකින්නට ලැබේ. මෙය ගිහි පැවිදි දෙපක්‍ෂයට ම එකමසේ ය.

බුද්ධ කාලයේ ද එය එසේ ම ය. වරද පෙන්වන්නා මහා නිදානයක් පෙන්වාදෙන්නකු යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ කෙනෙකුගේ ජීවිතයක් හැඩගස්වා ගැනීමට නිරවද්‍යතාවය මහත් පිටුවහලක් වන බැවිනි.

සැවැත්නුවර විසූ රාධ නම් දුප්පත් බමුණෙක් ජීවිකාව ගෙනයාමේ අපොහොසත් භාවය නිසා අසල තිබූ විහාරයකට ගියේ පැවිදි වීම සඳහා ය. කැඳ බත් ආදියෙන් ඔහුට උපස්ථාන භික්ෂුන් වහන්සේලාගෙන් ලැබුණ ද කිසිවකු ඔහු පැවිදි කිරීමට ඉදිරිපත් නොවී ය.

බුදුන්වහන්සේ මෙබදු කාරණාව දැන භික්ෂූන් වහන්සේලාගෙන් විමසනුයේ මොහුගෙන් උපකාර ලද කිසිවෙකුටත් එය මතක නැද්ද යනුවෙනි.

පිළිතුරු දුන් සාරිපුත්‍ර තෙරුන් වහන්සේ තමාට එම පුද්ගලයා රජගහ නුවර දී දන් හැන්දක් පිදූ බව සිහිපත් කළ හ. එයට කෘතගුණ සැලකීම් වශයෙන් මොහු පැවිදි කරන්නේ යැයි පැවිදි කළ හ.

පැවිදි වූ පසු දානය සඳහා රාධ භික්‍ෂුව දාන ශාලාව වෙත ගිය කල්හි සෑමදා ම උන්වහන්සේට ලැබෙනුයේ අවසාන ආසනය යි. පිළිවෙලින් දන් බෙදා එනවිට අවසානයේ දී සියලු ආහාර පාන අවසන් වෙයි. එම නිසා දැඩි ලෙස පීඩා විඳී ය.

සැරියුත් මහරහතන් වහන්සේ එම කාරණාව දැන රාධ භික්‍ෂුව සමඟ පිඬුසිඟා වැඩීමට තීරණය කළ හ. පිඩුසිඟා වඩින අවස්ථාවේ දී උපදෙස් ලබාදෙන සැරියුත් තෙරුන් වහන්සේ මේ දෙය නොකළ යුතු ය, මේ දෙය පමණක් කළ යුතුයැයි අනුශාසනා කළ හ. ඒ සියලු අවවාද පිළිගත් රාධ තෙරුන් නොබෝ දිනකින් ම රහත්බව ලැබී ය.

බුදුන්වහන්සේ හමුවට ගිය අවස්ථාවේ දී රාධ භික්‍ෂුවගේ තොරතුරු විමසූ විට සැරියුත් තෙරුන් වහන්සේ ප්‍රකාශ කළේ වැරැදි කියවන විටත් , අවවාද දෙනවිටත් තරහා නොයන, වරදක් පෙන්වූව ද, ඊට නොකිපෙන, සුවච කීකරු බොහෝ සෙයින් අවවාද ලැබීමට කැමති භික්‍ෂුවක් ලෙසට යි.

එම අවස්ථාවේ දී බුදුන් වහන්සේ කියා සිටියේ රාධ භික්‍ෂුව මෙන් සෑම දෙනකු ම කීකරු වියයුතු බවත් , අන්‍යයන්ගේ වචනවලට නොකිපිය යුතු බවත්ය. තමාට වඩා බාල කෙනකු වුවද තමාට අවවාද වශයෙන් යමක් කියන්නේ නම් එය සතුටින් පිළිගත යුතු බවත් වරදට අවවාද දෙන්නා මහා නිධානයක් පෙන්වන්නකු සේ සැලකිය යුතු බවත් එබඳු පුද්ගලයෙකු සේවනය කරන්නාට යහපතක් මිස අයහපතක් කිසිදු කලෙක නොවන බවත් ය.