Print this Article


සිවුර හා බැඳුණු විරාගික අරමුණු

සිවුර හා බැඳුණු විරාගික අරමුණු

"දහනව සියවසේ මෙරට කීර්තිමත් ගුරු කුල සම්ප්‍රදාය දෙකක් වන විද්‍යෝදය මහා පිරිවෙන හා සම්බන්ධ ගුරු කුලය උභයාංශ පාරුපනය අනුගමනය කළ අතර ඒකාංශ පාරුපනය අනුගමනය කළේ විද්‍යාලංකාර මහා පිරිවෙනයි. වර්තමානය දක්වාම යථෝක්ත පිරිවෙන් දෙක තම සම්ප්‍රදාය අනුගමනය කරයි."

විනය පිටකයට අනුව ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් මගධ කෙත ඇසුරෙන් නිම කරනු ලැබූ සිවුරේ ආකෘතිය වර්තමානය දක්වා එසේම පවතී. එහි ආකෘතිය හෝ මෝස්තරය වෙනස් වී නොමැත.

මහායාන හා වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදාය, භික්ෂූන් වහන්සේලාගේ චීවරයෙහි දේශගුණික වෙනස්කම්වලට සාපේක්‍ෂව යම් වෙනසක් පැවතිය ද ථෙරවාද සම්ප්‍රදාය අනුගමනය කෙරෙන සියලුම රටවල මෙම විනයානුකූල ආකෘතිය වෙනස් නොවී පවතී. මේ අනුව ලොව දීර්ඝ කාලයක් තුළ වෙනස් නොවී භාවිතයට ගැනෙන එකම මෝස්තරය භික්‍ෂු භික්‍ෂුණී චීවරය විය හැකි ය.

කඩ කපා මැසුව ද චීවරය තනි හතරැස් රෙද්දකි. එය දෙවුර වසා පෙරවීම නම් උභයාංස පාරුපනයෙන් හෝ එක් උරයක් වසා පොරවන ඒකාංශපාරුපනයෙන් පෙරවාගත් විට ශරීරයේ වැසිය යුතු සියලු ම ප්‍රදේශ ආවරණය වේ. එය පෙරවාගත් කවර භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් දෙස බලන්නකුට ගෞරව පූර්වක ආකල්පයක් ඇති වේ. එසේම මෙම චීවරය විරාගික අරමුණු පෙරදැරි කරගත් නිර්මාණයකි.

කාමභෝගී ගිහියන් විසින් භාවිත කරනු ලබන ඇඳුම් බොහෝදුරට සැකසෙන්නේ ශරීර අවයව ඉස්මතුවන ආකාරයට ය. එසේම ශරීරය විවෘත වූ තරමට කාමභෝගියාගේ අරමුණු මස්තකප්‍රාප්ත වේ. එහෙත් විරාගික අරමුණකට කැපවූ යෝගියාගේ ස්වාභාවය එයින් වෙනස් වේ. ඔහුගේ ඇදුම් භාවිතයේ අරමුණ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීම කෙළවර කොට තිබේ.

චීවර පරිභෝජනය පිළිබඳ බුදුරදුන්ගේ නියමය තුළ ඇතුළත් වන්නේ මෙම විරාගික දර්ශනයයි. සිවුර පරිහරණය කිරීමේ අරමුණ නම් සීතල හා උණුසුම නැතිකර ගැනීම, මැසි මදුරු අව් වැසි සුළං ආදියෙන් වන පීඩා දුරුකර ගැනීම හා ලජ්ජා භය ආරක්ෂා කර ගැනීම ය. මෙකී මූලික අරමුණුවලට අමතරව වෙනත් අරමුණු ද කාමභෝගියාට තිබේ. මේ අනුව කඩ කැපූ තනි සතරැස් රෙදිකඩක් වන චීවරය බුදුරදුන් වදාළ විරාගික දර්ශනය ස්මතුකෙරෙන එම අරමුණට පුද්ගලයා යොමුකරන අතිශය සුවිශේෂී නිර්මාණයක් වේ.

චීවරය හා බැඳුණු විනයානුකූල විධි නියමයන් රැසකි. විනය පිටකයේ චීවරක්ඛන්ධකයේ හා කඨිනක්ඛන්ධකයේ එම විධි නියමයන් ඇතුළත්ව තිබේ. ඒවායේ අන්තර්ගත විනය නීති මගින් සිවුරක් සකස් කර ගන්නා ආකාරය ඒ සඳහා භාවිත කළ යුතු වස්ත්‍ර වර්ණ හෙවත් ඩයි වර්ග දිග පළළ ආදි ප්‍රමාණයන් හා පරිහරණය කළ යුතු ආකාරය විස්තරකර තිබේ.

මේ අතුරින් කඨින චීවරය සුවිශේෂී එකක් ලෙස සැලකෙන අතර එයට අදාළ සියලු නිර්දේශ කඨිනඛන්ධකයේ ඇතුළත් වේ.

මෙම මාසය කඨින චීවර පූජා කෙරෙන කාලය හෙයින් එය චීවර මාසය ලෙස නම්කර තිබේ. කඨින පින්කම වස්ත්‍රයක් මූලිකකරගෙන කෙරෙන උදාර පින්කමකි.

චීවරය පෙරවීම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ශික්‍ෂා රැසක් සේඛියා ශික්‍ෂා යටතේ ඉදිරිපත්කර ඇත. ඒවායේ මුඛ්‍යතම අරමුණ වන්නේ ආකල්ප සම්පන්න පරමාදර්ශී භික්‍ෂුවක් නිර්මාණය කිරීමයි.

එමඟින් තවදුරටත් බෞද්ධ භික්‍ෂුවගේ හා භික්‍ෂුණියගේ ආකල්ප සම්පත්තිය විශද වේ. ලංකාවේ චීවර පාරුපනය හෙවත් පෙරවීම සම්බන්ධයෙන් සම්ප්‍රදායන් දෙකක් නිර්මාණය වී ඇත. එනම් දෙවුර ම වසා පෙරවන උභයංස පාරුපනය හා එක් උරයක් වසා පෙරවන ඒකාංශ පාරුපනයයි.

තුන්නිකාය අතුරින් සියම් නිකාය ඒකාංශපාරුපනය භාවිත කරන අතර අමරපුර හා රාමඤ්ඤ නිකායන් උභායංශපාරුපනය අනුගමනය කරයි.

දහනව වන සියවසේ මෙරට කීර්තිමත් ගුරු කුල සම්ප්‍රදාය දෙකක් වන විද්‍යෝදය මහා පිරිවෙන හා සම්බන්ධ ගුරු කුලය උභයාංශ පාරුපනය අනුගමනය කළ අතර ඒකාංශ පාරුපනය අනුගමනය කළේ විද්‍යාලංකාර මහා පිරිවෙණයි. වර්තමානය දක්වාම යථෝක්ත පිරිවෙන් දෙක තම සම්ප්‍රදාය අනුගමනය කරයි.

ජන මාධ්‍ය භාවිතය හා වෙනත් සමාජ පරිවර්තන සමඟ සිවුර හා සම්බන්ධ ඇතැම් වෙනස්කම් දක්නට ලැබේ. කලක් භාවිතයේ නොතිබුණු , කුඩා කැබැලිවලට කපා මැසූ සියක්කඩ සිවුරු හා දහස්කඩ සිවුරු බහුල ව භාවිත වෙනු දක්නට ලැබේ.

ඇතැම් විට එම සිවුරු භාවිතය විනයානුකූල පිළිවෙත් රැකීමකට වඩා පුද්ගල ප්‍රතිරූපය ඉස්මතුකොට තමා වෙත විශේෂ තත්ත්වයක් ආරෝපණය කරගැනීමේ පටු ආකල්පයක් ද ඇතැම් කෙනකු තුළ දක්නට ලැබේ.

මෙයට සමගාමී ව සිවුරේ වර්ණය සම්බන්ධයෙන් ද වෙනස්කම් ඇතිවෙමින් තිබේ. ආදි යුගයේ කොස් ගසේ කීරී තැම්බීමෙන් සකස් කර ගන්නා ලද වර්ණ චීවර ඩයි කිරීම සඳහා භාවිතකර ඇතත්, වර්තමානයේ කෘත්‍රීම ඩයි වර්ග ඒ සඳහා යොදා ගැනේ. මෙම ඩයි කිරීම පඬු පෙවීම යනුවෙන් ශාසනික ව ව්‍යවහාර කෙරේ.

වර්තමානයේ එම චාරිත්‍රය බහුල ව දක්නට ලැබෙන්නේ වනවාසී භික්‍ෂූන් අතර ය. අතීතයේ සිවුරු මසා ගැනීම භික්‍ෂූන් විසින් සාමූහික ව ආරාම තුළ සිදුකළත් වර්තමානයේ වෙළඳපොල බලපෑම හේතුවෙන් එය වෙනස් වී තිබේ.

මැසූ සිවුරක් ඉතා පහසුවෙන් වෙළඳපොළෙන් ලබාගත හැකි හෙයින් ඒ හා බැඳුණු පැරණි චාරිත්‍ර අභාවයට යාම නො වැළක්විය හැකි කරුණකි. දසක කීපයකට පෙර සිවුරු සඳහා යෝග්‍ය කපු වස්ත්‍ර දේශීයව නිෂ්පාදනය කළත්, වර්තමානයේ විදේශීය රටවලින් ආනයනය කරනු ලබන මිල අධික කපු වස්ත්‍ර ඒ සඳහා යොදා ගැනේ. මෙ මඟින් වාර්ෂික ව විශාල මුදලක් විදේශීය රටවලට ඇදී යාම සිදුවේ. මේ පිළිබඳ ගිහි පැවිදි දෙපිරිස ම නුවණින් යුතුව කල්පනා කොට අවම වශයෙන් සිවුරු සඳහාවත් දේශීය ව, රෙදි නිෂ්පාදනය කරන්නේ නම්, එය මව්බිමේ දියුණුවට හේතු වේ.

බුද්ධෝපස්ථායක අනඳ මහතෙරුන් වහන්සේ විසින් නිර්මිත සිවුර ආකෘතික වශයෙන් වෙනස් නොවී ඒ හා බැඳුණු ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර පමණක් වෙනස් වෙමින් පැවතීම විශේෂත්වයකි. මේ අනුව සිවුර භාවිතයේ විරාගික අරමුණ මැනවින් වටහාගෙන එය පරිහරණය කිරීම ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම වගකීම වේ.