Print this Article


වටිනා සිවුරක් පෙරවීම කැප ද? අකැප ද?

වටිනා සිවුරක් පෙරවීම කැප ද? අකැප ද?

" චීවරය නමින් හැඳින්වෙන්නේ භික්‍ෂූන් වහන්සේලා පොරවන වස්ත්‍රය යි. මෙය ලෝකයේ පැරැණි ම වස්ත්‍රය ලෙස හැඳීන්වීම වරදක් නොවේ. බොහෝ ඇඳුම් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. එහෙත් බුද්ධ කාලයේ පටන් මේ දක්වා අවිච්ඡින්න ව පැවත එන වස්ත්‍රය සිවුර ලෙස හැඳීන්විය හැකි යි. චීවරය කාසාය වස්ත්‍රය ලෙසින් ද හැඳීන්වෙනවා. මුල් යුගයේ දී භික්ෂූන් වහන්සේ විසින් චීවර වශයෙන් භාවිත කර ඇත්තේ කසට පාට ඇති කඩ නොකැපූ සිවුරයි. රෙදිකෑලි එක්කර මසා ගත් පොරෝණයක් වැනි ඒ සිවුරෙහි රටාවක් හෝ තිබුණේ නෑ."

දිනක් බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ රජගහනුවර සිට දක්ඛිණාගිරියට චාරිකාවේ වැඩියා. අතර මඟ දී විශාල වෙල් යායක් දුටුවා. එහි ලියදි දික් අතටත්, හරස් පැත්තටත් මනාව බෙදා, මනාව සකස් කර තිබුණේ.

ලොකු නියරවලින් සහ හරස් නියරවලින්, හතරැස් ලියදි වෙන් කරන ලද විශාල කුඹුරු යායක්. පිළිවෙළකට සකස් කරන ලද ඒ කුඹුර පෙන්වා බුදුරජාණන් වහන්සේ, “ආනන්ද, මේ හතරැස් කුඹුර මෙන් දිග හා පළල නියර ඇති , අතරතුර බැඳී කුඩා හරස් නියරවලින් යුක්ත මගධ ක්ෂේත්‍රය, දුටුවෙහි ද?” යි ඇසුවා.

“ස්වාමීනි, මගධ ක්ෂේත්‍රය, දුටුවෙමි.” ආනන්ද හිමියෝ පිළිතුරු දුන්නා,

“ආනන්දය චීවරයත් එසේ ම කඩ කපා සකස් කරන්න උත්සාහවත් වන්නැ”යි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

එය පිළිගත් ආනන්ද හිමියෝ වේළුවනාරාමයට වැඩම කොට මගධයේ දක්ඛිණාගිරියේ කුඹුරුවල ස්වරූපයට අනුරූප ලෙසට සිවුරක් සකස් කිරීමට තීරණය කළා. උන්වහන්සේ රෙදි සොයාගෙන කඩ කපා මසා පඬුගසා සකස් කළ සිවුර, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූවා. එම චීවරය පරීක්ෂා කළ බුදුරජාණන් වහන්සේ,

"මහණෙනි, මා විසින් කෙටියෙන් කියන ලද කාරණය, ආනන්ද විස්තර වශයෙන් අවබෝධ කර ගෙන දිග පළල නුවා ද, හරස් නුවා ද, මහ මැඬිලි ද, කුඩා මැඬිලි ද, වස් අත්ත ද, ඇළ අතු ද, ගෙළ පටිය ඇල්ලීම ද, කෙණ්ඩ පටිය ඇල්ලීම ද, නුවා අතු, බාහුව මත සිටින නුවා ද, ඇතිව කඩ කපා මැසු සිවුර රළුය. පැවිද්දන්ට සුදුසු යි. එය සොරුන් විසින් පැහැර ගන්නේ හෝ සොරකම් කරන්නේ නෑ. ආනන්ද පණ්ඩිත යි. නුවණැති යි, මහණෙනි, කඩ කැපූ දෙපොට සිවුර ද, කඩ කැපූ තනිපොට සිවුර ද, කඩ කැපූ අඳන ද අනුමත කරමි"

යනුවෙන් වදාළා. තුන් සිවුරම එකම රටාවකට මැසීම සිදු කරන්නේ ඒ අනුවයි.

තුන් සිවුර

තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර යනු තුන් සිවුරයි. එක් පොටක් පමණක් ඇති, ස්වාමීන් වහන්සේලා නිතර පොරවන සිවුර තනිපට සිවුරයි. සිවුරු දෙකක් එක්කොට මසා ඇති නිසාත්, රෙදි පොටවල් දෙකක් ඇති නිසාත් දෙපට සිවුර කියා හඳුන්වනවා. බොහෝවිට විනය කර්ම කරන අවස්ථාවල මෙන් ම සීතල අවස්ථාවල පෙරවීමට දෙපට සිවුර යොදාගන්නවා.

අඳන සිවුර කියන්නේ කුඩා සිවුරක්. එය යටිකය වැසෙන සේ අඳීන සිවුරයි. අඳන සිවුර කියනවාට වඩා අඳනය යන නමින් මෙය බොහෝවිට හඳුන්වනු ලබනවා.

සිවුරු වර්ග

සිවුරු වර්ග සතරක් තිබෙනවා. පාංශකූල සිවුර, ගහපති සිවුර, කඨින සිවුර, වස්සාවාසික සිවුර යනු, ඒ සිවුරු වර්ග සතරයි. පාංශුකූල වස්ත්‍රයෙන් මැසූ සිවුර පාංශකූල සිවුර ලෙස හැඳීන්වෙනවා.

ජීවක වෙද මහතාගේ ඉල්ලීම අනුව අනුමත කළ සිවුර ගහපති සිවුරයි.

කඨිනය සඳහා පූජා කරන්නා වූ තුන් සිවුරෙන් ඕනෑම සිවුරක් කඨින සිවුර ලෙස හැඳීන්වෙනවා. විහාරස්ථානයක වස් වැසූ භික්‍ෂූන් වහන්සේලා හැමදෙනා වහන්සේලාට ම කඨින සිවුරු පූජා කරන්නේ නෑ. එක් විහාරස්ථානයක පූජා කරන්නේ එක් සිවුරක් පමණයි. විහාරස්ථානයේ වස් විසූ අනෙක් ස්වාමීන් වහන්සේලා විෂයයෙහි පූජා කරන සිවුර වස්සාවාසික සිවුරු ලෙසින් හැඳීන්වෙනවා.

පාංශුකූල සිවුර

බුදුන් වහන්සේ දවස කෙනකු මියගිය පසු සිදු කළේ සුදු රෙදිවල ඔතා සොහොනට ගෙන ගොස් දැමීමයි.

ස්වාමින් වහන්සේලා එම රෙදි රැගෙන, සෝදා සිවුරු සකස් කර ගන්නවා. එසේ ම සල්පිල්, සොහොන්, කසළගොඩ ආදියේ දමාගිය රෙදි, ගින්නෙන් අඩක් දැවුණු නිසා ඉවත දැමූ රෙදිකැබැලි ආදී කිසිකෙනකුට අයිතියක් නැති රෙදි කෑලි එක්කොට සිවුර මසා ගන්නවා. පාංශුකූල සිවුර ලෙස හැඳින්වෙන්නේ එම චීවරයයි. එකල බොහෝ භික්ෂූන් වහන්සේ අල්පේච්ඡ වූ චාම් දිවියක් ගතකළේ . පාංශුකූල සිවුරු ම දැරුවා. පාංශුකූල චීවර පමණක්ම දැරීම, ධූතාංග දහතුනෙන් එකක්. එබැවින් යම්කිසි භික්ෂුවක් කැමති නම් පාංශුකූල චීවර පමණක් ම දැරීමට හැකි යි. එසේ නොමැති නම් ගහපති චීවර දැරීමත් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනු ලැබුවා.

දිනක් දෙව්දත් තෙරුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පන්සියය නමක් සමඟ පැමිණ පංච වරයක් ඉල්ලා සිටියා. ඉන් එකක් වූයේ භික්‍ෂූන් වහන්සේ දිවි හිමියෙන් පාංශුකූල සිවුරු දැරිය යුතු බවට නීතියක් පනවන ලෙසයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කොට වදාළා.

එසේ ම සමහර දුෂ්කර ව්‍රත ආරක්ෂා කරන තාපසයන් මෙන් කුස තණ, පට්ටා වර්ග, උණ පතුරු, කෙසෙල් පතුරු, පොතු, හිසකෙස්, අඳුන් දිවිසම්, නපුරු සතුන්ගේ ලොම්, බකමුණු පිහාටු ආදියෙන් සකසා ගත් සිවුරු දැරීම වැනි දුෂ්කර ව්‍රතවලට සම්බන්ධ සිවුරු, පාංශුකූල චීවර වශයෙන්වත් දැරීම භික්ෂූන් වහන්සේට තහනම් කර තිබෙනවා.

හාමුදුරුවරු පාට පාට සිවුරු පොරවන්නේ ඇයි?

සමහර ගිහි පිරිස් “හාමුදුරුවරුත් දැන් පාට පාට සිවුරු පොරවනවා”යි කියමින් පව් රැස්කර ගන්නවා. බුදුරදුන් වැඩසිටි කාලයේත් මෙවැනි පාට පාට සිවුරු පරිහරණය කළ බව පෙනෙනවා. තැන් තැන්වලින් එක්කරගත් පාංශූකූල රෙද්දෙන් මැසූ සිවුරේ තැන්තැන්වල මඩ පැල්ම්, ලේ පැල්ලම්, කුණු පැල්ලම් ආදිය තිබිය හැකියි. මේවා සියල්ල නැති කිරීමට එකම පාටක් නැතහොත් කහටක් එක් කිරීම සිදුවුණා. එම කහට පැහැය එක් කර ගන්නේ මෙලෙසයි. මුලින්ම ගස්වල මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි ආදිය කුඩා කැබලිවලට කපා ජල බඳුනකට දමා හොඳීන් තැම්බීම සිදුකරනවා. එහි දී එම කහට දියට මුසු වෙනවා. එම ජලයෙහි මසා ගත් සිවුර ගිල්වීමේ දී කහට පැහැය සිවුරට උරාගන්නවා. එසේ තැම්බීම සඳහා යොදාගන්නා ශාඛයේ පාට අනුව කහට පාට වෙනස් විය හැකියි. නිදසුනක් ලෙස කොස් ගසක පාට කහ පැහැතියි. කොස් මුල් පොතු ආදිය යොදා සාදාගත් සිවුර කහ පැහැති යි. ගම්මාලු, නුග, තේක්ක වැනි ගස්වල කහට දුඹුරු පාටට හුරු යි. එම මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි ආදිය යොදා සාදාගත් සිවුරු තවත් වර්ණයක්. එසේ එක් එක් ගස්වල කහට පාට අනුව සිවුරේ පැහැය වෙනස් වීම ස්වභාවික සංසිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ඒවා අනුමත කොට තිබෙනවා. සිවුරු වර්ණ කිරීමේ දී පඬු සකස් කර ගැනීමට අනුමත කර තිබෙන්නේ ගස්වල මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි යන වර්ග හය යි.

මුල්කාලයේ සිවුරේ පාට පිළිබඳ නිශ්චිත වර්ණයක් වූයේ නෑ. එය හැඳීන්වූයේ කාසායක, කසට, කහට සිවුර වශයෙනුයි. එසේ සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සබ්බ නීල), සියල්ල කහ (සබ්බ පීත), සියල්ල රතු (සබ්බ ලෝහිත) , සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බ මඤ්ජෙට්ඨ) සිවුරු භාවිත කළා. එය දැන ගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, තනි කහ, තනි රතු, තනි මදටිය, තනි සුදු, තනි කහ වර්ණ සිවුරු දැරීම තහනම් කළා.

පසුකාලය වන විට තාක්‍ෂණය දියුණු වීම නිසා ගස්වල පොතු අතු මුල් ආදිය තැම්බීම වෙනුවට “පඬු” නමින් කුඩු වර්ගයක් නිෂ්පාදනය වුණා. එම කුඩු වර්ගය උණුවතුරට දමා දියකර එහි සුදු රෙද්දෙන් මැසූ සිවුර බහාලීම සිදුකරනවා. එහි දී තමාට අවශ්‍ය පාට අනුව සිවුර පැහැ ගැන්වීම සිදුකර ගන්නවා.

ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් දුඹුරු පාටට හුරු සිවුරු ද ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලා බොහෝ විට කහ පැහැයට හුරු පාට සිවුරු ද සකස්කර ගැනීමයි සිදු කෙරෙන්නේ. එය සිවුරු “පඬුපෙවීම” ලෙස හැඳීන් වෙනවා.

තාක්‍ෂණය තවත් දියුණුවීමත් සමඟ පාට පාට නූල් හා පාට පාට රෙදි (සිවුරු රෙදි) නිෂ්පාදනය වුණා. මේ නිසා වතුර උණු කරමින්, ගස්වල පොතු ගෙඩි ආදිය සොයමින් වෙහස මහන්සි නොවී රෙදි ගෙන සිවුරක් සකස් කිරීමයි දැන් සිදුකරන්නේ.

අදවන විට තායි කපු රෙදි වැනි ඉතා සැහැල්ලු මෙන් ම සිරුරට පහසු තරමක් වටිනා රෙදිවලින් සිවුරු මැසීම සිදුකරනවා. එවැනි සිවුරු පෙරවීම භික්‍ෂූන් වහන්සේලාට කැප ද? කෙටි පිළිතුර කැපයි යන්නයි.

බුදුරජාණන් වහන්සේ විසින් චීවරය අනුමත කිරීම පිළිබඳ විස්තර, මහාවග්ග පාලියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේ දී ජීවක වෛද්‍යවරයා පැමිණ වටිනා සිවුරක් පූජා කරනවා. එය රජතුමාගෙන් ලැබුණු ඉතා වටිනා වස්ත්‍රයකින් සැකසූ සිවුරක්.

“බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත්, භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුර දරන්නේ. මාගේ අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපති චීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති චීවර පිළිගැනීමට අනුමත කරන්න”යයි ඉල්ලා සිටියා. ජීවක වෛද්‍යවරයාගේ එම ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ

“මහණෙනි, ගහපති චීවරය අනුමත කරමි. යමෙක් කැමැති නම් පාංශුකූල සිවුර දරන්න. යමෙක් කැමති නම් ගහපති සිවුර දරන්න. මහණෙනි, ලැබෙන සිවුරකින් සතුටුවීම මම පසසමි”යැයි වදාළා. ඒ අනුව දායකයන් පූජා කරන්නේ නම් වටිනා සිවුරක් පෙරවීම ස්වාමීන් වහන්සේට අකැප නොවෙයි.

ගහපති චීවර වශයෙන් සැලකෙන්නේ දායකයන් විසින් සංඝයාට පූජා කෙරෙන මසා නිම කරන ලද චීවර සහ සිවුරු මසා ගැනීමට පූජා කෙරෙන රෙදි ආදියයි. දායකයන්ගේ කැමැත්ත පරිදි, පෞද්ගලික ව එක් භික්ෂුවකට, විහාරස්ථානයකට හෝ පොදු ආයතනවලට හෝ සාංඝික ව පූජා කෙරෙන සිවුරු, ගහපති චීවර වශයෙන් හැඳීන්වෙනවා. එනිසා සිවුර වශයෙන් මසා නිම කළ චීවර ද සිවුර මසා ගැනීමට රෙදි ද ගහපති චීවර ම වනවා. එවැනි සිවුරු කඨින චීවර පූජාවල දී ත් සංඝයා වහන්සේට, පූජා කළ හැකි යි. එබැවින් කඨින චීවර පූජාව ද ගහපති චීවර පූජාවක් වනවා.

කඨින චීවරය

පෙරවස් වැසූ භික්ෂුවක් වස් කඩා නොගෙන (වස්සච්ඡේදනය නොවී) වප් පුරපසළොස්වක දින පවාරණය කළ පසු, දායකයන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වන්නේ සංඝයා වහන්සේට කඨින චීවරයක් වශයෙන් භාවිතයට සුදුසු තුන් සිවුරුවලින් එකක් හෝ වස්ත්‍රයක් පූජා කිරීමට හැකි වීමයි. එම සිවුරයි “කඨින චීවරය” ලෙස හැඳින්වෙන්නේ. කඨින සිවුරේ ආරම්භය මහාවග්ග පාලියේ හත්වන කඨිනක්ඛන්ධකයේ සඳහන් වනවා.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ පාවෙය්‍ය නුවර වාසය කරන භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර බලා පිටත් වුණා. ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික ධූතාංගධරයන් වූ උන්වහන්සේලාගේ අපේක්ෂාව වූයේ සැවැත් නුවර වස් විසීමට යි. අතරමඟ දී වස්කාලය පැමිණි නිසාත් වස් විසීමට සැවැත්නුවරට වැඩීමට කාලය නැති නිසා සාකේත නුවර වස් විසුවා. උන්වහන්සේලා, වප් පසළොස්වක දා පවාරණය කර ගංගාවලින් එතෙර වෙමින් වර්ෂාවෙන් තෙමී දිය සහිත සිවුරු ඇතිව ජේතවනාරාමයට වැඩම කළා. උන්වහන්සේලා වෙත කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරුවලට අමතර සිවුරක් තිබුණේ නම් පහසු යැයි පෙරවස් විසූ භික්ෂූන්ට විශේෂ සිවුරක් වශයෙන් කඨින චීවරය අනුමත කොට වදාළා.

කඨිනයක් ලෙස පූජා කිරීමේ දී තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් ඕනෑම සිවුරක් පූජාකළ හැකි යි. එහෙත් අපි බොහෝ විට යොදාගන්නේ තනිපට සිවුරයි.