Print this Article


ලොවට පිපෙන මල් - 05 කොටස: අනුන්ගේ ඇනුම් බැණුම් හිතට ගන්න එපා පව් පිරෙනවා

අනුන්ගේ ඇනුම් බැණුම් හිතට ගන්න එපා පව් පිරෙනවා

“පන්ථක කවුරු අපිට බැන්නත්, නින්දා කළත්, ගැහුවත්, ටොකු ඇන්නත් අපි ඒවා හිතට අරන් අඬන කොට, තරහ වෙන කොට, එකටෙක කරන්න හදන කොට අපේ හිත අපිරිසුදු වෙනවා.

ආදරණීය දුවේ පුතේ,

ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගුරු උතුමාණන් තමා බුදුපියාණන් වහන්සේ. ඒ නිසා බුදු පියාණන්ට “ලෝක ගුරු“ කියලත් කියනවා.

සමහර විට ඔබ අහලත් ඇති අධ්‍යාපන මනෝ විද්‍යාව කියන වචනය. මනස ගැන ඉගෙන ගැනීම නැත්නම් හිත ගැන ඉගෙන ගැනීම, තමා ඔය ලොකු වචන තුනේ පුංචි වුණත් වැදගත් තේරුම.

බුදු පියාණන් වහන්සේ දරුවන්ගේ හිත ගැන හොඳට දන්නවා. පුංචි හිත්වල හැංගිලා තියෙන යහපත් ගතිගුණ, බුද්ධිමත් බව, ඤාණවන්තකම ගැන හොඳට කල්පනා කරලා තමා දරුවන්ට බොහෝ ම කරුණාවෙන් කතා කළේ. දරුවන් හිතන විදිහ එක වගේ නෙමේ. එක එක්කෙනාට වෙනස්. ඒ නිසා ඔබත් පුරුදු වෙන්න ඕන පුංචි යාළුවො වුණත් එක එක විදිහට හිතන අය නිසා, එක එක අදහස් ඇති අය නිසා තමන් අකැමති දෙයක් යාළුවෙක් කරන කොට ඒකට තරහ අරන් රණ්ඩු වෙන්න එපා. හැම දෙනා ම හැමදේට ම දක්ෂ නැති වුණත්, එක දේකට හරි දක්ෂයි. ඒ නිසා “එයාට ගණන් බෑ, හරි මෝඩයි. එයාට සිංහල බැහැ. මොන බූරුවෙක් ද වගේ කතාවලින් පන්තියේ යහළුවන්ගේ හිත් රිදවන්න එපා. යාළුවෙක් දන්නෙ නැති දෙයක් පුංචි ඔබටත් පුළුවන් කරුණාවෙන් කියලා දෙන්න. එතකොට ඔබත් පුංචි ගුරුවරයෙක් වගේ වෙනවා.

දුවේ පුතේ, බුදු පියාණන් වහ්නසේ දරුවන් ගැන බොහො ම කරුණු කාරණා පහදලා දීලා තියෙනවා. මේ ඒ වගේ කතාවක්.

බුදු පියාණන් මොන පන්සලක, විහාරස්ථානයක වාසය කළත් එතන පොඩි හාමුදුරුවන් වහන්සේලාත් හුඟක් ඉන්නවා. දැන් කාලෙත් පන්සල්වල පොඩි හාමුදුරුවරු ඉන්නවානේ. උන්වහන්සේ ධර්මය ඉගෙන ගන්නවා. පුංචි පුංචි බණ කතා යහළුවන්ට කියලා දෙනවා. අහගෙන ඉන්න ආසයි.

බුදු පියාණන් වට කර ගෙන, කතා කර කර ඉන්න පොඩි හාමුදුරුවරු හරිම කැමතියි. ඒ වෙලාවට බුදු පියාණන් අහනවා පොඩි හාමුදුරුවරු ආචාර්ය හාමුදුරුවන් වහන්සේ උගන්වන ධර්මය හොඳට ඉගෙන ගන්නවා ද? හොඳට තේරුම් ගන්නවා ද? වැඩිහිටි හාමුදුරුවන්ට කීකරු ද, ගෞරව කරනවා ද? පුංචි පුංචි වැඩවලට උදව් කරනවා ද? පන්සල් මිදුල අතුගානවා ද? නිදා ගන්න කුටිය, පැදුර, කොට්ටය, ඇඳ ලස්සනට තියා ගන්නවා ද? හැමදාම නානවා ද? උදේට මුහුණ කට සෝදනවා ද? දත් මදිනවා ද? නිය පොතු කපනවා ද? වගේ ප්‍රශ්න ගොඩක්.

බුදු පියාණන්ගේ ප්‍රශ්න පොඩි හාමුදුරුවන්ට ලොකු සතුටක්. සේරම එකට ම කියන්න පටන් ගන්නවා. ‘එසේ ය බුදු පියාණනි. අපි පාඩම් කළා. පන්සල අතු ගෑවා. කොළ ඇහුලුවා. ලේනුන්නට, ගිරවුන්ට, බළලුන්ට කන්නත් දුන්නා“. කියලා. එතකොට මහා ගෝසාවක්.

“ප්‍රශ්නයක් ඇහුව ම එක එක්කෙනා උත්තර දෙන්න පුරුදු වෙන්න.“

බුදු පියාණන් පොඩි හාමුදුරුවන්ට ආවවාද කරනවා.

“සමාවෙන්න. බුදු පියාණනි, අපි ආයෙත් එහෙම කෑ ගහන්නෙ නැහැ.“

බුදු පියාණන්ට දුන්න පොරොන්දුව පොඩි හාමුදුරුවරු හොඳට මතක තියා ගන්නවා.

දවසක් බුදු පියාණන් වහන්සේ විවේක සුවයෙන් අවට පරිසරය දිහා බලාගෙන හිටියා. ගස් කොළං හෙමින් හෙමින් සුළඟට සෙලවෙනවා. මල් පිපිලා. කුරුල්ලෝ මලින් මලට, ගහෙන් ගහට පැන පැන පැණි බොනවා. පලතුරු කනවා. මේ ලස්සන අතරින් කවුරු හරි ඉකි ගගහා අඬන ශබ්දයක් බුදු පියාණන්ට ඇහුණා. පොඩි දරුවෙක් අඬනවා වගේ.

බුදු පියාණන් වහාම අඬන්නේ කවුද කියල හෙව්වා. අනේ පොඩි හාමුදුරු කෙනෙක් පන්සල මිදුල මැදින් එළියට පැමිණ ගමන් කරනවා. පන්සලෙන් එළියට යන්න. එයාගෙ නම පන්ථක පොඩි හාමුදුරුවෝ.

“පන්ථක පොඩි හාමුදුරුවෝ ඇයි අඬන්නේ? කොහෙද මේ යන්නේ“?

බුදු පියාණන් ඇහුවා. පොඩි හාමුදුරුවෝ ඉකි ගගහා අමාරුවෙන් උත්තර දුන්නා.

“අනේ බුදු පියාණෙනි, මට තවත් මේ පන්සලේ ඉන්න බැහැ. මගේ අයියා මහ පන්ථක ලොකු හාමුදුරුවෝ මට බනිනවා. මං මෝඩයෙක් ලු. පාඩම් කරන්නේ නැති ලු. දානෙ කකා ඉන්නවලු. මට පන්සලෙන් යන්න කිව්වා. මට දුකයි. මට ලොකු ලොකු බණ මතක තියා ගන්න බැහැ. මං කොහේ හරි යනවා.“

බුදු පියාණන් පන්ථක හාමුදුරුවන්ගේ හිසඅත ගෑවේ මහා කරුණාවෙන්.

“පන්ථක කවුරු අපිට බැන්නත්, නින්දා කළත්, ගැහුවත්, ටොකු ඇන්නත් අපි ඒවා හිතට අරන් අඬන කොට, තරහ වෙන කොට, එකටෙක කරන්න හදන කොට අපේ හිත අපිරිසුදු වෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන හිත පිරිසිදුව තියා ගන්න. නරක දේවල් හිතට ගන්න එකත් පව්.“

ඊට පස්සේ බුදු පියාණන් පිරිසුදු සුදු රෙදි කෑල්ලක් අරන් පන්ථක හාමුදුරුවන්ට පෙන්නුවා.

“පන්ථක දැන් මේ සුදු රෙදි කෑල්ල බොහොම පිරිසුදුයි. පේනවා නේද?“

“අපිට මේ රෙදි කෑල්ලෙන් වැඩක් කරන්න පුළුවන් පිරිසුදු නිසා. එහෙම නේද?

“එසේ ය බුදු පියාණනි“

“පන්ථක මේ රෙදි කෑල්ල අතට ගන්න. ඇඟිලිවලින් අත් දෙකෙන් මේක අත ගාන්න.“

පන්ථක පොඩි හාමුදුරුවෝ සුදු රෙදි කෑල්ල අතට අරන් අත ගාන්න පටන් ගත්තා. ටික වේලාවක් යන කොට රෙදි කෑල්ල කිළුටු වුණා. හාමුදුරුවෝ බය වුණා.

“බුදු පියාණෙනි, සුදු රෙදි කෑල්ල කිළුටු වුණා.“

“පන්ථක බය වෙන්න එපා. මේ අනා වැකි ඉගෙන ගන්න. මේ කුණු වගේ තමා තරහව, පළිගැනීම, වෛරය, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම වැනි නරක සිතිවිලි. ඒ නරක සිතිවිලි නිසා හිත අපිරිසුදුවෙනවා. ඒ වගේ ම තමා හැමදේටම කඳුළු පෙරන එක. හිතට නිදහසක් නැහැ. ඒ නිසා අපේ පුංචි පන්ථක මීට පස්සේ යහළුවන් එක්ක හිතේ තරහක් නැතිව මට ගැහුවොත් මාත් ගහනවා. කියන්නේ නැතිව මං පන්සලෙන් යනවා. කොහේ හරි යනවා කියලා මුරණ්ඩු නොවී හිතුවක්කාර නොවී හිතට දුක් ගන්නේ නැතිව ධර්මය ඉගෙන ගන්න.“

බුදු පියාණන් පුංචි පන්ථක හාමුදුරුවන්ගේ හිස අත ගගා කරුණාවෙන් අවවාද කළා. ඒ අවවාද පිළිගත්ත පන්ථක හාමුදුරුවෝ හොඳට ඉගෙන ගෙන මහා ප්‍රඥාවන්තයෙක් වුණා.

දුවේ පුතේ, බුදු පියාණන් දරුවන්ට හුඟක් ආදරේ බව ඔබටත් තේරෙනවා නේද?