Print this Article


සරු පල ලබන්නට නම් සරු බීජ වපුරන්නට ඕනෑ

සරු පල ලබන්නට නම් සරු බීජ වපුරන්නට ඕනෑ

" ජීවිතය දෙස බැලීමේ දී ද වඩා වැදගත් වන්නේ උපත, විවාහය, උපන්දින සැමරුම නොව මරණ අවස්ථාවයි. යම් කෙනකුගේ එම අවස්ථාව නිවැරැදි ව තේරුම් ගන්නේ නම්, අනාගත ජිවිතයක් උරුම වෙනවා."

ලොව හොඳ දේ තිබෙනවා. නරක දේ ද තිබෙනවා. වැඩ අවැඩ සිදු වන්නේ මේ දෙක තෝරා ගන්නා ආකාරය අනුව යි. සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ නිරන්තරයෙන් ම අයහපත මඟ හැර යහපත තෝරා ගන්නට යි.

සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් හඳුනා ගන්නා පුද්ගලයා සරු දෙයක් ම ලබන බවයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ. සරු යැයි කියන්නේ ප්‍රයෝජනවත් දෙයටයි. අර්ථවත්, දෙලොව වැඩදායක දෙයටයි.

ධම්ම පදයේ දී එය දැක්වූයේ

සාරඤ්ච සාරතෝ ඤත්වා - අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්පගෝචරා

යනුවෙනි.

මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ උපතිස්ස කෝලිත දෙදෙනා අරමුණු කර ගෙනයි. සංජය ගුරුවරයා සරු දේ සරු ලෙස නො ගැනීම ඊට හේතුවයි. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ධර්මය අසා බුදු දහම වැළඳගත් උපතිස්ස කෝලිත දෙදෙනා ඒ බව සංජය ගුරුවරයාට දැන්වූවා. එහි දී ඔහු පැවසුවේ තමන්ට හැන්දක් ව සිටිය නොහැකි බවයි. ඒ වගේ ම එවන් දර්ශනයක් තමන්ට සමීප කර ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් වූයේ නෑ.

අපේ සමාජයේත් බොහෝ දෙනකුට මෙය පොදුයි.

“මැණික් ගලේ පය හැපුණාට කණයා අහුලා ගනී ද“

ජන වහරෙහි මෙවැනි කියමන් නිර්මාණය වී තිබෙන්නේ ත් මේ වැනි අයගේ ක්‍රියාවන් නිසයි. අවශ්‍ය දෑ අනවශ්‍ය අයට ලැබුණ ද එයින් ද පලක් වන්නේ නෑ. කළයුතු දෙය, නො කළ යුතු දෙය නිවැරැදි ව සිදු කරනවා නම් මේ ජීවිතයට විතරක් නොවෙයි. පරලොව ජීවිතයටත් වැඩදායක වනවා. පුරවැසියන් මෙන් ම ඒ ඒ සමාජ කණ්ඩායම් ලෙස මේ තත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්.

එය අපේ පවුලෙන් ම ආරම්භ කරමු. අඹු සැමියන්, අම්මා, තාත්තා, දරුවන්, සහෝදර සහෝදරියන් ලෙස හැම දෙනා ම ඒ ඒ අය සතු වගකීම් හොඳීන් තේරුම් ගැනීම මෙහිදී ප්‍රධාන වෙනවා. විවාහයක් කර ගන්නට ඕනෑ ආදරය, සෙනෙහස, ආරක්ෂාව, අන්‍යෙන්‍ය සහයෝගය ආදී මේ සියලු දේ පිළිබඳ කැප වෙන්නට, ඒවා ඉටු කරන්නට හැකි නම් පමණයි.එහෙත් බොහෝ පවුල් තුළ නැත්තේ ද මේ දෙය ම යි. එයට හේතුවක් තිබෙනවා. ඒ පවුල් ජිවිතය සහ එහි අර්ථය හඳුනා නො ගැනීම යි. ඇතැම් අය එකිනෙකා අනවශ්‍ය ලෙස  කාම බන්ධනයන් ඇති කර ගන්නවා. ඇතැම්විට අඹුසැමි දෙදෙනා ම සිතන්නේ තමන් කියන විදිහට, තමන් හිතන විදිහට බිරිඳ සිටිය යුතු බව යි. එසේත් නැති නම් සැමියා සිටිය යුතු බව යි. දෙදෙනා ම රාමු දෙකක් සකසා ගෙන එකිනෙකා ඒ රාමු තුළ සිර කර ගන්නවා. එතැන දී වචනය එහෙ මෙහෙ වුණත් ගැටුම් ඇති වෙනවා. ප්‍රතිඵලය මේ පරිසරයේ හැදෙන, වැඩෙන දරුවන්ගේ අනාගත ජීවිතය බොහෝ සෙයින් අඳුරුවීම යි. අඹු සැමියන් ගැටුම් ඇති කර ගැනීම නිසා ළමා මනස අවුල් වෙනවා.

බොහෝ පවුල් ප්‍රශ්න ආර්ථිකය ශක්තිමත් නොවීම නිසයි. ලැබෙන විදිහට වියදම් කරන්නට දන්නේ නැතිකම නිසා ඇතැම් අය එදිනෙදා ආහාර වේලටත් ණය වෙනවා. පුද්ගල ආර්ථිකයේ වගේ ම, රටක ආර්ථික ශක්තිමත් බව අතින් ගත්ත ද සරු දෙය , නිසරු දෙය තේරුම් ගැනීම අවශ්‍යයි. යම් ආයෝජනයක් සිදු කරනවා නම් පළමුව සලකා සලකා බලන්නට ඕනෑ ආයෝජනයට වියදම් කරන මුදලින් ප්‍රතිලාභ ලැබෙනවා ද යන්න ගැනයි. එසේ නොවන දේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම මහත් අපරාධයක් වනවා.

පවුලට බරක් වෙන, එවැනි දෑ සිදු නොකිරීමට කල්පනාකාරී විය යුතුයි. අප බොහෝ විට අසීරුතාවට පත් වන්නේ අනවශ්‍ය වියදම් නිසයි. ඒ වගේ ම මුදල් හරිහම්බ කර ගත යුතු වන්නේ ද පස් පවින් වැළකීමෙනු යි. අපාය මුඛවලින් ඉවත් ව කටයුතු සංවිධානය කර ගැනීම ද වැදගත්.

ධර්ම මාර්ගය ගත් කල ද නිවන සඳහා යැයි සිතා අපායට වැටෙන දේ සිදු කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍යයි. නිවන් ලබන මාර්ගය තමන්ට අනන්‍ය වූ එකක්. තමාගේ විමුක්තිලාභය පිළිබඳ ව අනෙකා සිතන ආකාරය වැදගත් වන්නේ නෑ. විශේෂයෙන් සසර නැවැත්වීමේ දී තමන් කරන දේ ගැන අනෙකා කෙසේ හිතනවා ද යන්න නොසිතිය යුතුයි. එහෙත් සසර පැවැත්මේ දී තමන් කරන කියන දෑ පිළිබඳ අනෙකා සිතන අයුරු වැදගත් වෙනවා.

“මම මට ඕන විදිහට ඉන්නවා. අනෙක් අයට එයින් ඇති රුදාව මොකක් ද?“ යන හැඟීමෙන් කටයුතු සිදු කළ නො හැකියි.

බොහෝ දේශනාවලට ඇහුම්කන් දුන්නත් නිවන සඳහා යා යුතු මඟ තමන් විසින් සකසා ගත් කුසල ධර්මයන්ට අනුකූලයි. ආනන්ද හිමි සහ මහා කාශ්‍යප හිමි යන දෙනම වහන්සේ ම රහත් බව ලැබුවා. ඒ එකම ක්‍රමයකින් නොවේ. ආනන්ද හිමියන්ට කෙතරම් සිව්රු පිරිකර ලැබුණත් ඒ සියල්ල උන්වහන්සේ බාර ගත්තා. දුර්වල සිවුරු ඇති ස්වාමීන් වහන්සේලාට ඒවා ලබා දුන්නා. කාශ්‍යප මහ රහතන් වහන්සේ එසේ නොවෙයි. තුන් සිවුර පමණක් දැරුවා. මෙහි දී අප ආනන්ද හිමියන් හෝ කාශ්‍යප හිමියන් නොවී අපි අප ම විය යුතුයි. ධර්මයට නැඹුරුව නිවන් මඟ අපේක්ෂා කරන අය මෙය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා.

ජීවිතය දෙස බැලීමේ දී ද වඩා වැදගත් වන්නේ උපත, විවාහය, උපන්දින සැමරුම නොව මරණ අවස්ථාවයි. යම් කෙනකුගේ එම අවස්ථාව නිවැරැදි ව තේරුම් ගන්නේ නම්, අනාගත ජිවිතයක් උරුම වෙනවා. කුසලයක හිත පිහිටුවා ගැනීමට නම් ජීවත් ව සිටිය දී ත්‍රිලක්ෂණ ධර්මතාව නිවැරැදි ව තේරුම් ගැනීම අවශ්‍යයයි. ජීවිතයේ හරය තේරුම් ගත්තේ නැති අය සත්ව පුද්ගල ලෙස පමණක් දැනීම මත හරසුන් බොහෝ දේ සිදු කරනවා. සිරුර කියන්නේ ධාතු කොටස් 4 ක් බවත්, මම ය, මගේ ය ලෙස ගත හැකි කිසිවක් නැති බවත් අවබෝධ කර ගත යුතු වනවා.විශේෂයෙන් මේ ශරීරයෙන් වැගිරෙන කිසිවක් සුවඳ හමන දෑ නොවන බව අවබෝධ කර ගත යුතු ම යි. එසේ සිතන සියල්ලෝ ම මේ ජිවිතය භාවිත කරනවා මිස අවභාවිත කරන්නේ නෑ. දෙව්දතුන් අසාර දේ සිදු කිරීම නිසා අජාසත්ත පීතෘ ඝාතකයෙක් බවට පත් වුණා. වර්තමාන ලෝකයේ පවා බොහෝ අය සරු නිසරු දේ හඳුනා නොගැනීම මත දෙලොව ව්‍යසනයන්ට පත්වීම දැක ගත හැකි වනවා. අප උත්සාහ ගත යුතු එතැනට නොවැටීමට යි. සදහම් මඟ ඒ මාවත අවබෝධ කර ගන්නට අපට මඟ පෙන්වනවා.