Print this Article


ගිහි පැවිදි සැමට ආදර්ශවත් මුගලන් මහරහතන් වහන්සේ

ගිහි පැවිදි සැමට ආදර්ශවත් මුගලන් මහරහතන් වහන්සේ

අද ලෝකයේ තාක්ෂණය උපරිම මට්ටමින් දියුණු වී තිබෙනවා. ග්‍රහ වස්තූන් පවා තරණය කිරීමට මිනිසා සමත් වී සිටින්නේ ඒ අනුවයි. ඒ භෞතික දියුණුව යි. එහෙත් ඈත අතීතයේ මිනිසුන් ආකාශයේ ගමන් කළේ, පුදුම සහගත දේ සිදු කළේ තමන්ගේ සිත දියුණු කිරීමෙනුයි. එසේ සිත දියුණු කරමින් පුදුම සහගත දේ කළ රහතන් වහන්සේ සම්බුදු සසුනේ වැඩ සිටියා. ඒ අතර මුගලන් මහ රහතන් වහන්සේට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

උන්වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමෙන් ඉදිරියෙන් ම සිටියා. බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් අතර ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය ලැබුවේ උන්වහන්සේ යි. උන් වහන්සේ එම ඍද්ධි ප්‍රාතිහාර්ය ප්‍රයෝජනයට ගෙන සත්වයා සසර කතරින් මුදවා විමුක්ති රසය ලබා දීම උදෙසා මඟ පෙන්වූවා.

මුගලන් මහ රහතන් වහන්සේ තුළ තවත් විශේෂ දක්ෂතා රාශියක් තිබුණා. උන් වහන්සේගේ චරිත කතාව වර්තමාන ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට ආදර්ශවත්.

පෙර රජගහ නුවර කෝලිත නම් ගමේ මොග්ගලී නම් බැමිණියට කෝලිත නම් පුත් රුවනක් සිටියා. කාලයත් සමඟ බුද්ධිමත් තරුණයකු බවට පත් වූ කෝලිත හොඳම කල්‍යාණ මිත්‍රයා ලෙස තෝරා ගත්තේ උපතිස්ස පිරිවැජියා යි. දිනක් මේ දෙදෙනා වර්ෂයක් පාසා පවත්වනු ලබන ගිරග්ගසමජ්ජ නම් වූ නාට්‍ය සංදර්ශනයක් නැරඹීමට ගියා. එය නැරඹීමෙන් පසු ජීවිතය පිළිබඳ කළකිරුණා. විමුක්තිය සෙයා යන්නට තීරණය කළේ ඒ අනුවයි. ඒ සඳහා සුදුසු ධර්මයක් සොයා යෑමට ගමන ආරම්භ කළා. සංජය පරිබ්‍රාජකයා වෙත ගියත් තමන් සෙවූ විමුක්තිය නො ලැබුණ බැවින් දෙදෙනා ම දෙමඟකට පිටත් ව විමුක්තිය සොයා යන්නට තීරණය කළා. ඒ, දෙදෙනාගෙන් කෙනකුට විමුක්ති මාර්ගය දැන ගන්නට ලැබුණොත් එය අනෙක් යහළුවාට ද දැන්විය යුතු බවට තීරණය කරගෙන යි.

විමුක්තිය සොයා පිටත් වූ යහළුවන් දෙදෙනාගෙන් උපතිස්ස පිරිවැජියාට අස්සජි මහ රහතන් වහන්සේ හමුවුණා. අස්සජි මහ රහතන් වහන්සේ දෙසූ ගාථාවක මුල් පද දෙක ඇසූ සැණින් ම උපතිස්ස පිරිවැජි සෝවාන් වුණා. ඔහු වහා සිය මිතුරා හමුවීමට ගියේ ඉන්පසුව යි. කෝලිත පිරිවැජියා ද, සිය මිතුරාගෙන් “යේ ධම්මා හේතුප්පබවා“ යන ගාථාවේ පද හතර ඇසූ පමණින් ම සෝවාන් බවට පත් වුණා. පසුව ඔවුන් දෙදෙනා ම බුදු සසුනේ පැවිදි බව ලැබුවා. පැවිදි වීමෙන් පසු මුගලන් හාමුදුරුවෝ කල්ලාවල මුත්ත ගමට වැඩම කර, එම ගමෙන් සිව්පසය ලබමින් ම වන ලැහැබක වසමින් මහණ දම් පිරුවා. උන්වහන්සේ උතුම් රහත් භාවයට පත්වන්නේ පැවිදි වීමෙන් හත්වෙනි දිනයේ දී යි.

“එතදග්ගං භික්ඛවේ මම සාවකානං ඉද්දිධිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝ“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අතර මුගලන් තෙරුණුවෝ ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයෙහි තබා වදාළා. මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය වටා රඳා පවතින කතා පුවත් ඉතා රසවත් සේ ම බිය ජනක සිදුවීම්වලින් ද සමන්විතයි. එයට හේතුව උන්වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ මහා ශක්තිය යි. ඍද්ධි ප්‍රාතිහාර්යය ශාසනයේ දියුණුව සඳහා ම හේතුවන අන්දමින් යෙදවීම උන් වහන්සේ තුළ තිබූ සුවිශේෂී ලක්ෂණයක් . දෙව්දත් තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී, නොමඟ ගිය භික්ෂූන් සුමගට යොමු කොට බුදුරදුන් වෙත කැඳවාගෙන එන ලද්දේ ද සැරියුත් මහරහතන් වහන්සේ හා මුගලන් මහරහතන් වහන්සේ යන දෙනම විසිනුයි.

මහා බලසම්පන්න නන්දෝපනන්ද නම් නාග රජයා දමනය කිරීමේ කාර්යය පැවරුණේ ද මුගලන් මහ රහතන් වහන්සේටයි. ඒ බව විසුද්ධි මග්ග ඉද්ධිවිධ නිද්දේසයේ දැක්වෙනවා.

ඉල්ලීස ජාතකයේ එන මච්ඡරිය කෝසිය සිටුවරයාගේ දැඩි ලෝභකම නැති කර, ඔහු දමනය කොට ඔහුට විමුක්ති සුවය ලබා දිමේ කතා පුවත මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය හා බැඳුණු ඉතා රසවත් කතා පුවතක් ලෙස දැක්වීමට පුළුවන්. රජගහ නුවර සිටි මසුරු සිටාණන් කෙනකුට කැවුම් කෑමේ දැඩි ආසාවක් ඇතිවුණා. ඒ මච්ඡරිය කෝසිය සිටුවරයාට අසූ කෝටියක් ධනය තිබුණ ත් ඒවා තමන්ගේවත්, අනුන්ගේවත් ප්‍රයෝජනය සඳහා වියදම් කළේ නෑ. එක්තරා මිනිසෙක් පැණි කැවුමක් කනවා දැක හටගත් ආශාව නිසා කායික මානසික අසහනයට පත් වූ මච්ඡරිය කෝසිය මසුරු සිටාණන් කාටත් හොරා, රහසේ ම කැවුම් කෑමට බිරිඳත් සමඟ සත් මහල් ප්‍රාසාදයේ ඉහළ ම තට්ටුවට ගියා. ඒ අවස්ථාවේ දී එහි වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේ තම ඍද්ධි බලය ප්‍රයෝජනයට ගෙන පිළිවෙලින් ධර්ම දේශනා කොට ඔහුගේ තෘෂ්ණාව දුරු කළා.

තව්තිසා දෙව් ලොව වෛජයන්ත ප්‍රාසාදය කම්පනයට පත් කිරීමේ සිදුවීම මුගලන් මහරහතන් වහන්සේ හා බැඳුණු විශ්මය ජනක පුවතක්. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩ වසන සමයෙහි දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණ “තණ්හා සංඛය විමුක්තිය“ පිළිබඳ ප්‍රශ්න කළා. බුදුරදුන් එය විසඳීමෙන් පසු සතුටු සිතැති ව ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරදුන්ට ප්‍රශංසා කොට දෙව් ලොවට ගියා. මෙම සිදුවීම දුටු මුගලන් මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට මෙම කරුණ හරිහැටි තේරුම් ගියේ ද යන වග පරීක්ෂා කිරීමට සිතුවා. දෙව් ලොවට වැඩම කොට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ප්‍රශ්න කළේ ඒ අනුවයි. දිව්‍ය සම්පත්තියෙහි ඇළී ගැලී සිත වික්ෂිප්ත වී සිටි නිසා ඔහුට පිළිතුරු දීමට හැකි වූයේ නෑ. මේ අවස්ථාවේ දී ශක්‍රයාගේ සිතෙහි සංවේගය ඇති කිරීමට වෛජයන්ත ප්‍රාසාදය මහපට ඇඟිල්ලෙන් කම්පනය කළ අයුරු එම චරිත කතාව තුළින් පැහැදිලි වෙනවා.

මාරතජ්ජනිය සූත්‍රයට අනුව මුගලන් තෙරණුවන්ගේ කුසට පිවිසි මාරයා පෙරළි කළ අවස්ථාවේ තමන් වහන්සේ ද මාර ව උපන් අවස්ථාවක් ගැන සඳහන් වෙනවා.

මුගලන් තෙරුණුවෝ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ දක්ෂ කමක් දැක්වූවා පමණක් නොව දක්ෂ ධර්ම දේශකවරයාන කෙනෙක් ද වූවා . ම:නි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ අතර වූ වැදගත් ධර්ම සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම සඳහා දෙව්ලොවට වැඩම කළ අවස්ථාවේ දී දෙව්ලොව තොරතුරු විස්තර කොට ජනතාවට ධර්ම දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේ යි. එක් අවස්ථාවක දම් සභා මණ්ඩපයෙහි මුගලන් තෙරණුවන් දේශනා කළ ධර්ම දේශනයක් දොර අසල සිට බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රවණය කොට ප්‍රශංසා කොට වදාළා. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ දක්ෂතම භික්ෂුව වූ ව ද, පිරිනිවන් පෑමට සිදු වූයේ අභාග්‍ය සම්පන්න ලෙසයි. ඒ පිළිබඳ විමසීමෙන් පැහැදිලි වන්නේ පෙර කර්ම ශක්තියක් ඉස්මතු වූ ආකාරය යි.

මුගලන් මහරහතන් වහන්සේ මිනිස් ලොව පමණක් නොව දෙව් ලොව ද, නිරයේ ද, සැරි සරමින් සත්වයන් කළ පින් පව් හා ඒවායෙහි විපාක ජනතාවට දේශනා කළ මහ රහත් තෙර නමක්. එතුළින් පිනට යොමු වූ බොහෝ සැදැහැවත්හු බුදුරදුන් හා භික්ෂූන් විෂයයෙහි මහත් සේ පුද පූජා පැවැත් වූවා. භික්ෂූන් වහන්සේ ලාභ සත්කාර ලද අතර, තීර්ථකයෝ ලාභයෙන් පිරිහුණා. ඒ හේතුවෙන් මුගලන් තෙරනුවන් ඝාතනය කරනු වස් තීර්ථකයෝ විසින් ඒ කටයුත්ත සොර මුලකට පවරනු ලැබුවා. සොරු උන්වහන්සේ විසූ ලැගුම්හල වැටලූවා. එවිට තෙරුණුවෝ ඍද්ධි බලයෙන් කෙස් සිදුරකින් නික්ම ගියා. දෙවනි වරට ද වටකළ අවස්ථාවේ කැනිමඩල බිඳ අහසට නැඟී පලා ගියා. තුන්වැනි වරට ද සොරු වැටලූ අවස්ථාවේ දී අතීත බවයක මව මැරීමෙන් කළ පාප කර්මයක් විපාක වශයෙන් පසුපස එළවන බව දැන එය නො වැළැක්විය හැක්කක් බව දැන එහි ම වැඩ සිටියා. සොරු දඬු මුගුරුවලින් මුගලන් හිමි තලා පෙළා එහි ම දමා ගියා. පසුව මුගලන් තෙරුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ශක්තිය ගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඍද්ධි ප්‍රාතිහාර්යය පා වැඳ අවසර ගෙන කාලසිලාවට වැඩ එහි දී ම පිරිනිවන් පා වදාළා.

අසූ මහා ශ්‍රාවකයින් අතර ජ්‍යෙෂ්ඨතම ශ්‍රාවකයන් වහන්සේ වූ මුගලන් මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනය බැබළවූ මහ රහතන් වහන්සේ නමක්වූවා. උන් වහන්සේගේ චරිතාපදානය තුළින් වර්තමාන ගිහි පැවිදි දෙපක්ෂයට ම ඉගෙන ගත යුතු දේ බොහෝ යි. එවැනි උතුම් චරිත කතා කියවා ජීවිත ආලෝකවත් කර ගැනීමට උත්සාහවත් වන්නේ නම්, එය දුර්ලභ ව ලද මේ මිනිස් ජීවිතයට වටිනාකමක් එකතු කළා වනවා.