Print this Article

රන්දෙරණ හැර සුරපුරට වැඩි විදුලකර අමරගුරු වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

රන්දෙරණ හැර සුරපුරට වැඩි විදුලකර අමරගුරු වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ ව පන්නිපිටියේ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන අවස්ථාවේ දී ම එහි කෘත්‍යාධිකාරී ධූරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවිය ද හෙබවූහ.

ශ්‍රී ලංකාවේ අධ්‍යතන - අධ්‍යාපන - සාමාජයීය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් බිහි කළ, මතු මත්තෙහිත් එවැන්නවුන් බිහි කිරීමෙහි සනාතන පුණ්‍ය සම්පත්‍යයෙන් හෙබි පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය දශක අටකට වැඩි යුග මෙහෙවර නිමා කරමින් කීර්තිශේෂභාවෝපගත වී වදාළ සේක.

විද්‍යාලංකාරයට එකසිය සතළිස් හය වසරක් සපිරෙන දිනට පෙර දිනයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වුණි.

අග්‍රගණ්‍ය මහා පාරිවේණික ස්ථානයක අධිපතීන් වහන්සේ නමක වශයෙන් ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ දයාවකින් කටයුතු කරන නාහිමිපාණෝ ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කෙරෙහි යාවත්කාලීන වූ ආකල්පයකින් ක්‍රියා කළහ. අධ්‍යයන කටයුතුවලට නිරන්තර ප්‍රමුඛත්වය හිමිවන පරිදි උපරිම ශාස්ත්‍රීය පරිසරයක් පිරුවන තුළ පවත්වා ගෙන යාමට නාහිමිපාණෝ කටයුතු සම්පාදනය කළහ. අතීත පඬිවරුන් රැක ගනිමින් පවත්වාගෙන ආ විද්‍යාලංකාර සම්ප්‍රදාය සුරක්ෂිත කොට අනාගතය කරා සම්ප්‍රේෂණය කරවීමට නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුගහ උතුරු කෝරළයේ වැලමිටියාව ගම්මානයේ දී පලිහවඩන ආරච්ච්ලාගේ ජෝන් සිඤ්ඤෝ මැතිතුමන්ගේ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල්එතනා මැතිණියගේ දරුවන් සත් දෙනා අතුරින් තෙවැන්නා ලෙස පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් වර්ෂ 1937 පෙබරවාරි මස 20 වැනි දින ජන්ම ලාභය ලැබූ නාහිමිපාණෝ මිනුවන්ගොඩ හපුවලානේ විහාරයේ පැවිදි කරවීම සඳහා හුරුක්ගමුව රාජමහා විහාරාධිපති හුරුක්ගමුවේ ගුණරතන නාහිමියන් විසින් හුරුක්ගමුව රාජමහා විහාරයට කැඳවාගෙන එනු ලැබූහ. විද්‍යාලංකාර පිරුවනේ ගොඩනැඟෙමින් පැවති දාන ශාලාවෙහි වහලයේ සෙවිලි කිරීමට ලී දඬු සොයා පැමිණි අතිපූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ බලවත් උනන්දුව මත පණ්ඩිත සාර්වභෞම රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ අභිධර්ම විශාරද මීවැවේ යූ. බී. රාජකරුණා මැතිතුමාගේ මැදිහත්වීමෙන් එම දරුවා විද්‍යාලංකාර පිරුවනට කැඳවා ගෙන එනු ලැබීය.

විද්‍යාලංකාර පින්බිමෙහි සිදු වූ ආශ්චර්යවත් ත්‍රිපිටක සංගායනාව ද සියැසින් දැක ගැනීමේ වරම් ලැබීමෙන් පසු 1954 ජනවාරි මස 07 වන දින තවත් කුල දරුවන් නව දෙනකු සමඟ සිව්වන විද්‍යාලංකාර පරිවේණාධිපති ව වැඩ විසූ, අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාසාරාභිධාන කොළඹ හලවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි, හැඩිපන්නල ප්‍රඥාලෝක නාහිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමි, නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමි, වල්පොල රාහුල හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි ආදී මහා යතිවරුන් යටතේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇති ව මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාවට පත් වූ හ. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ස්වකීය නේතෘ විද්‍යාස්ථානය වූ විද්‍යාලංකාර පිරුවනෙහි අභිවෘද්ධි සාධනයට කැප වූහ.

1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ ව පන්නිපිටියේ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන අවස්ථාවේ දී ම එහි කෘත්‍යාධිකාරී ධූරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවිය ද හෙබවූහ. අනුක්‍රමයෙන් විද්‍යාලංකාර පිරුවනෙහි පරිපාලන කටයුතු සඳහා පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ට නොමඳ සහයක් සැලසූහ. ස්වකීය ජීවිතයේ අවසාන භාගයෙහි දී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් විසින් සිදු කරන ලද නිර්දේශයත්, නාහිමියන්ගේ කෞෂල්‍යයත් කෙරෙහි පැහැදුණු විද්‍යාලංකාර සභාව 1986 වර්ෂයෙහි යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ට පැවරීමට තීරණය කරන ලදි. එනමුත් ආචාර්යවරුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් ක්‍රියා කළ කුසලධම්ම නාහිමිපාණන්ගේ බලවත් ඕනෑකම නිසා ම එම පදවිය ඒ වන විටත් දැඩි ගිලන්බවින් වැඩ සිටි විද්‍යාලංකාර පිරුවන වෙනුවෙන් මුළු දිවිය ම කැප කළ නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරුණි. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ බලවත් උනන්දුව නිසා ම මල්වතු මහාවිහාරයීය විංශත් වර්ගික කාරක සංඝ සභාව මඟින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරය සහ උපාධ්‍යාය ධූරය ගිලන් ව වැඩ සිටි නාත්තන්ඩියේ නාහිමියන් වෙත පුද දෙන ලදි. එම අවස්ථාවෙහි විද්‍යාලංකාර පරිවේණාධ්‍යක්ෂ පදවිය ද උප පරිවේණාධිපති ධූරය ද කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරය ද වැලමිටියාවේ නාහිමියන්ට පුදනු ලැබීය.

වර්ෂ 1990 දී විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට සහ රත්මලානේ පුරාණ විහාරය, හුණුපිටියේ විජයසුන්දරාරාමය, කෑරගල පද්මාවතී පිරුවන ඇතුළු සතළිහකට අධික තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යයට ප්‍රාප්තව, ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝනායක පදවිය ලෙසින් දුරාතීතයේ පටන් හඳුන්වනු ලබන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ විද්‍යාලංකාර පිරුවනෙහි අභිවෘද්ධිසාධනයට කැප වූහ. උපාධ්‍යායන් වහන්සේ නමක වශයෙන් සහස්‍ර සංඛ්‍යාත සාමණේර හිමිවරුන් උපසම්පදා අධිශීලයේ පිහිටුවාලීම සඳහා උපසම්පදා විනය කර්මවල මුලසුන් හෙබ වූ නාහිමිපාණන් වහන්සේ මල්වතු මහාවිහාරය කෙරෙහි අත්‍යන්ත පක්ෂපාතීත්වයෙන් වැඩ විසූහ.

1990 දශකයේ මුල්භාගයේ ශාසනික කටයුත්තක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට වඩිනා අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පා එම අවස්ථාවෙහි නාහිමියන් සමග එකට ගමන් කළ මාපලගම සෝමිස්සර හිමියන් ඇතුළු සියල්ලෝම ජීවිතක්ෂයට පත් වද්දී නාහිමිපාණෝ පුරාකෘත පුණ්‍ය මහිමයනිසාවෙන්දෝ ජීවිත සුරක්ෂිතතාව ලැබූහ.

අතිපූජ්‍ය වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මනිත වූ නාහිමිපාණෝ විසි පස් වසරකට අධික කාලයක් කුලපති ධුරය හොබවමින් ලක්දිව වැඩිම ධුර කාලයක් කුලපති ධුරය හෙබ වූ කුලපතිහිමි වීමේ භාග්‍යය ලදහ. බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ ගෞරව නාමයෙන් ද පුද ලැබූහ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ඉමහත් ප්‍රියතාවයක් දැක් වූ නාහිමිපාණන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වල්බිහිව ගිය මහාදාඨික මහානාග රජ යුගයට අයත් ඉපැරණි රජ මහා විහාරයකට පුනර්ජීවය සපයමින් එම ග්‍රාමයේ යටිතල පහසුකම් නංවාලීමට සිදු කළ මෙහෙවර ද සුවිශේෂී වෙයි. විද්‍යාලංකාර ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව තැනවීම ඇතුළු භෞතික සම්පත් සංවර්ධන කටයුතු සඳහා ද මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ.

සුපේශල ශික්ෂාකාමී නිරහංකාර පරමාදර්ශී පැවිදි දිවියක් ගත කළ නාහිමිපාණන් වහන්සේ සිදු කළ අසරණ සරණ සේවා රාශියකි. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පිරිනමන ලද ආධාර ප්‍රමාණය අති විශාල වෙයි. අධ්‍යාපනය ලබන දරුවන් වෙත ලබා දුන් ශිෂ්‍යාධාර ප්‍රමාණය ද එසේ ම ය. රටේ කවර තරාතිරමක පුද්ගලයකු පැමිණිය ද සමානාත්මතාවයෙන් සලකා අවශ්‍යතාවයන් ඉටු කොට දීමට නාහිමිපාණන් වහන්සේ උත්සුක වූහ. ඕනෑම පුද්ගලයකුගේ ආරාධනාවක් අනුව රටේ කවර ප්‍රදේශයක වුව ද දාන මාන, බණ පිරිත්, විවෘත කිරීම්, මූලාසන හෙබවීම් ඇතුළු කටයුතු සඳහා කිසිදු අදිමදි කිරීමකින් තොරව නාහිමිපාණන් වහන්සේ වැඩම කොට එම කටයුතු සිදු කර දුන්හ.

එකසිය හතළිස් හය වසරක විද්‍යාලංකාර පිරුවන් ඉතිහාසයේ දීර්ඝතම පරිවේණාධිපති යුගයට හිමිකම් කීමට භාග්‍යවත් වූ නාහිමිපාණන් වහන්සේ රට, දැය, සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්ෂණය පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සිල් ගුණ දහම්හි පිහිටා සාධු ජන විහරණයෙන් කටයුතු සිද්ධ කළ සේක. සිරිලක සසුනඹර එකලු කළ පහන් තාරකාවක් සේ ශාසනාම්බරය ඒකාලෝක කොට සියල් සකරදම්හි අනියතබව පසක් කරමින් නිවී යන ඉරබටු තරුවක් සේ කීර්තිශේෂභාවෝපගත වූ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කොට සිටිමු.

1990 දශකයේ මුල්භාගයේ ශාසනික කටයුත්තක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට වඩිනා අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පා එම අවස්ථාවෙහි නාහිමියන් සමග එකට ගමන් කළ මාපලගම සෝමිස්සර හිමියන් ඇතුළු සියල්ලෝම ජීවිතක්ෂයට පත් වද්දී නාහිමිපාණෝ පුරාකෘත පුණ්‍ය මහිමයනිසාවෙන්දෝ ජීවිත සුරක්ෂිතතාව ලැබූහ.

අතිපූජ්‍ය වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ විසි පස් වසරකට අධික කාලයක් කුලපති ධුරය හොබවමින් ලක්දිව වැඩිම ධුර කාලයක් කුලපති ධුරය හෙබ වූ කුලපතිහිමි වීමේ භාග්‍යය ලදහ. බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ ගෞරව නාමයෙන් ද පුද ලැබූහ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ඉමහත් ප්‍රියතාවයක් දැක් වූ නාහිමිපාණන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වල්බිහිව ගිය මහාදාඨික මහානාග රජ යුගයට අයත් ඉපැරණි රජ මහා විහාරයකට පුනර්ජීවය සපයමින් එම ග්‍රාමයේ යටිතල පහසුකම් නංවාලීමට සිදු කළ මෙහෙවර ද සුවිශේෂී වෙයි. විද්‍යාලංකාර ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව තැනවීම ඇතුළු භෞතික සම්පත් සංවර්ධන කටයුතු සඳහා ද මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ.