Print this Article


සදහම් අරණ

සාමය

වෙඩි හඬට හැප්පෙමින්
රක්ත රුධිරය හෙළන....
මළ සිරුරු මහ ගොඩක්
මිහිතලය වසාගෙන.....
දෙනෙත් බොඳ කර හඬන
සෝ සුසුම් දරා ගෙන........
ඉකිගසන හදවතට
අස්වැසිල්ලකි.........
සාමය............

****

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක පෝ දිනෙක ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළහ. ඒ තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ලෝකයේ රටවල් නවයකට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පණිවුඩය පතුරුවා හැරීමේ තීරණයෙහි මාහැඟි ප්‍රතිඵලයක් ලෙසයි.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩසිටි ගල්තලාව පා මුලින් තිස්ස රජතුමා මුවකු පසුපස හඹා ගියේ ය. එය දුටු මිහිඳු මහරහතන් වහන්සේ “තිස්ස, තිස්ස” නමින් ආමන්ත්‍රණය කළහ . මාගේ නමින් හඬ ගසන්නේ කවරෙක් දැයි රජතුමා හැරී බැලීය. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ආර්යයන් වහන්සේලා දුටු රජු නුඹ වහන්සේලා කවරහු දැයි ඇසීය. මිහිඳු මහ රහතන් වහන්සේ අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු යැයි පිළිතුරු දුන්හ.

****

කරුණාව

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කරුණාව හඳුන්වා දී තිබෙන්නේ “අන් අයගේ දුකේ දී යහපත් අයගේ හදවත කම්පාවීම කරුණා ගුණය ලෙස ය.

සාමාන්‍ය පුද්ගලයින්ගේ කරුණාව සීමිත එකක් වුව ද සුවිශේෂී කරුණාවක්, මහා කරුණාවක් බුදුරජාණන් වහන්සේ තුළ දක්නට ඇත. සියලු සත්වයන් කෙරෙහි සම සිතින් ක්‍රියා කිරීම බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයකි. උන්වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සම වැදී තමන් වහන්සේගේ පිහිට ලැබීමට අද කවරකු සුදුසු වේ දැයි බලමින් ඔවුන් වෙත ගොස් පිහිටවූහ.

බුද්ධත්වයේ සිට පරිනිර්වාණය තෙක් වසර හතළිස් පහක් තුළ වැඩිම කාලයක් බුදුරජාණන් වහන්සේ ගත කළේ මිනිස් ප්‍රජාවට ලෞකික හා ලෝකෝත්තර දියුණුව සලසා දීමට ය. එම කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලද්දෝ අප්‍රමාණ ය. ජීවිතය කලකිරී දිවි නසා ගැනීමට ගිය රජ්ජුමාලා, ලෙඩ වී සිටි පූතිගත්තතිස්ස තෙරණුවෝ, සොහොනේ මළ සිරුරක ගැට ගසා තිබූ සෝපාක, තම මළ දරුවා මරණයෙන් මුදවා ගැනීමේ අදහසින් නිවසක් නිවසක් පාසා ගමන් කළ කිසාගෝතමිය ඉන් අතළොස්සකි.

බුදුරජාණන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගෙන දුකට පත් පුද්ගලයාට මෙලොව දුකින් පමණක් නොව පරලොව දුකින් ද මිදීමට උපකාර කරන්නේ නම්, එය උතුම් මිනිස් ගුණයක් ලෙස අගය කළ හැකි ය.

****