දුටුගැමුණු මහ රජතුමා -
52 කොටස:
විහාරමහා දේවියගේ
නිශ්ශබ්දතාවය ගැටලුවක්
හොඳයි, අස්හල භාර අස්හලයන්ට දැනටමත් අණ කොට තිබෙනවා අපේ අසරුවන්ට සුදුසු අසුන් පවරා
දෙන ලෙසට. ඒ සියලු දෙනා හෙට හිරු උදාවත් සමග රාජාංගණය ඉදිරියේ රජමාවත දිගේ පෙළගැසී
සිටිය යුතුයි.
කවුරුත් සන්නිපාත ශාලාවට පැමිණියහ. ඒ වන විට යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ සිටි
සෙනෙවිවරු ද පැමිණෙමින් සිටියහ. වේළුසුමන දෙස කාගේත් නෙත් යොමු වුයේ "අද නම් අලුත්
ආරංචියක් අරගෙන ඇවිත් "යන අදහසිනි.
"මහ රජතුමා තවත් අඩ හෝරාවකින් පැමිණේවි. නන්දිමිත්‍ර මහා සෙන්පතිතුමා සාකච්ඡාව
ආරම්භ කරාවි. දැනට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයයි සාකච්ඡාවේ අරමුණ" වේළුසුමන
කීවේ ය.
සියලු සෙනෙවිවරු අසුන් ගත්හ. සැමගේ කුතුහලය "හෙට කුමක් වේවි ද " යන්නයි.
"මහා සෙනෙවිවරුනි, අප කවුරුත් උදාර අපේක්ෂා ඇතිව ගමන් කරන්නට සැලසුම් කර තිබු
අනුරාධපුර රාජධානිය සිංහලයන් යටතට පවරා ගැනීමේ සටන මදකට පමා කරන්නට සිදු වී
තිබෙනවා. දුටුගැමුණු මහා රජතුමාට ඉතා අකමැත්තෙන් වුවත් යෙදෙන්නට සිදු වී ඇත්තේ
වෙනත් සටනකයි."
"තමන්ගේ මව් බිසවත්, මංගල හස්ති රාජයාත් අමාත්‍ය මණ්ඩලයට පවා නොදන්වා ගෙන යාමෙන්
තිස්ස කුමාරයා තමා කළ වරද පිළිගෙන ගැමුණු රජතුමාගේ ඉල්ලීම අනුව ඔවුන්ව එවීමයි කළ
යුතුව තිබුණේ. නමුත් ඔහු ඉතා දඩබ්බර පිළිවෙතක් ගෙන තිබෙන්නේ අපේ රජතුමා සමග සටනකට
එළඹීමේ කැමැත්තෙන් බව පෙනී යනවා. "
මෙහිදී අපට ගැටලුවක් තිබෙනවා. ඒ මන්ද යත් දෙ සොහොයුරන් අතර සටනක දී කිසිවකුගේ
පැත්තක් නො ගෙන මධ්‍යස්ත ව සිටින බවට දස මහ සෙනෙවිවරුන් ඇතුළු සේනාංක මහා සංඝ රත්නය
හමුවී දී ඇති ප්‍රතිඥාවයි."
"තිස්ස කුමාරයා දැනටමත් ප්‍රතිඥා බිඳ දමා ඇති නිසා අප එම ප්‍රතිඥා බිඳ දැමීම වරදක්
ද මහා සෙනෙවි තුමනි ?"
ගෝඨයිම්බර ප්‍රශ්න කළේ ය.
"ඔබේ තර්කය හරි, මහාසිව මහ තෙරුන් වහන්සේ ත්, ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේත් මේ
ගැන සාකච්ඡා කළා. උන්වහන්සේලාගේ අදහස වූයේ එක් කෙනකු වරදක් කළ පමණින් අනෙක් අය වරදට
පෙළඹීම වැරදි බවයි."
'නමුත් තිස්ස කුමාරයාට බාහිර යුද්ධ ආධාර ලැබෙනවා නම් අපට පැත්තකට වී සිටින්නට
පුළුවන්ද ?"
ගෝඨයිම්බරගේ ප්‍රශ්නයට සියලු දෙනාම එකතු වුහ. නන්දිමිත්‍ර මද වේලාවක් නිහඬව සිට
වේළුසුමන දෙස බැලීය.
'ඔබ සියලු දෙනාම හරි. එම තීරණයේ කිසිදු වරදක් නැහැ." වේළුසුමන කිවේ ය.
"මේ සටනේ දී පෙරමුණ ගැනීමට මම සුදානම්. නමුත් අපේ රජතුමා මහනුග්ගල දී එම ප්‍රතිඥාවට
සම්බන්ධ වූ කිසිවකු මේ සටනට යොදා ගැනීමට කැමති නැහැ. ඒ නිසා හෙට ගමන් කරන මෙම සටනට
එක් විය යුත්තේ එම ප්‍රතිඥා දිනයෙන් පසු අපේ සේනාංකවලට ඇතුළු වූ සෙනෙවිවරුයි."
"ඉතා විශාල බල හමුදාවක් ගෙන යාමට රජතුමාගේ බලාපොරොත්තුවක් නැහැ. සෙනෙවිවරු දස
දෙනෙක්, දස දහසක බල ඇණියක්, පෙරමුණේ ගමන් කරන රජතුමාගේ ආරක්ෂාව සඳහා පන්සීය
දෙනෙකුගෙන් සමන්විත අසරු සේනාවක් ගෙන යාමට සැලසුම් කර තිබෙනවා."
"හොඳයි, අස්හල භාර අස්හලයන්ට දැනටමත් අණ කොට තිබෙනවා අපේ අසරුවන්ට සුදුසු අසුන්
පවරා දෙන ලෙසට. ඒ සියලු දෙනා හෙට හිරු උදාවත් සමග රාජාංගණය ඉදිරියේ රජමාවත දිගේ
පෙළගැසී සිටිය යුතුයි."
"උදෑසන ආහාරය යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවෙන් සැපයෙනවා. දහවල් ආහාරය ගුත්තාගල යුද
කඳවුරෙන් ලැබේවි."
වේළුසුමනගේ සැලසුම් කිරීම කාගේත් ප්‍රසාදයට හේතු විය. මෙයින් සිදුවන්නේ ඔහු තමන්ගේ
ප්‍රතිඥාව බිඳ දැමීමක් නොවේදැයි ඇතැමුන්ගේ සිත් තුළ රැව් දුනි. එය වැටහී ගියාක්
මෙන් නන්දිමිත්‍ර කතා කළේය.
මේ යුද්ධය වළක්වා ගැනීමට ක්‍රමයක් නැද්ද?"
"තිබෙනවා , මව් බිසවත් , කඩොල් ඇතුත් මාගමට එවීමට තිස්ස කුමාරයා කැමති කරවා
ගැනීමෙන්."
"ඒ සඳහා යෙදෙන්නට කැමති සුදුසු කෙනකු අපේ ප්‍රභූන් අතර නැද්ද?"
"ඉන්නවා, කාම්බෝජ බ්‍රාහ්මණතුමා, උත්තර මහා ඇමති තුමා , නන්දිමිත්‍ර මහා
සෙන්පතිතුමාට පුළුවන්. වේළුසුමනටත් පුළුවන්."
"ඇයි ඉතින් ඒ අය ඉදිරිපත් නොවන්නේ ?"
"මේ කාර්යයට අත ගැසිය යුතු ප්‍රධානම තැනැත්තිය විහාර මහා දේවි බිසොවුන් වහන්සේ යි.
එතුමිය අත නොගසන තැනකට අත ගැසීමට කිසිවෙක් කැමති නැහැ."
"ඒක නම් ඇත්ත. කිහිප දෙනෙකු ම එකවර පැවසී ය. එහෙනම් මේ සඳහා වෙනත් උපදෙසක් අපට ලබා
ගන්නට බැරිද?"
"දැන් දුටුගැමුණු මහා රජතුමා සමග ත්‍රිපිටකතිස්ස මහා තෙරුන් වහන්සේ වැඩම කරාවි.
යුද්ධය නො කළ යුතු නම් උන්වහන්සේ උපදෙස් දේවි."
"මේ සටන ප්‍රධාන වශයෙන් මව් බිසොවුන් වහන්සේ උදෙසා නම්, එතුමිය ස්වේච්ඡාවෙන් ම
මාගමට පැමිණියහොත් ගැටුම් නතර කර ගත හැකි නොවේද?"
"හොඳම විසදුම එය තමයි. එහෙත් එතුමිය හමු වන්නට, අදහස් දැන ගන්නට ක්‍රමයක් නැහැ"
'අපේ චරපුරුෂ සේවය ඒ තරමට ම දුර්වල වෙලා ද?"
දොඩමලුව සිටි සභාව නිශ්ශබ්ද කරමින්, දුටුගැමුණු මහරජතුමාත්, ත්‍රිපිටකතිස්ස මහා
තෙරුන් වහන්සේත් පැමිණියහ. සියල්ලෝ ම නැගී සිටියහ. හිස නමා වැඳ නමස්කාර කළහ.
මහා තෙරුන් වහන්සේ වැඩහුන් පසු කවුරුත් අසුන් ගත්හ. සභාව මීයාට පිම්බාක් මෙනි.
මහ තෙරුන් වහන්සේ අනුශාසනාවට මුල පිරූහ.
අයන්ති විතාන |