Print this Article


යසෝදරාවත කාව්‍යයෙන් සිතුවම් වන අසිරිමත් සිදුහත් උපත

යසෝදරාවත කාව්‍යයෙන් සිතුවම් වන අසිරිමත් සිදුහත් උපත

මහනුවර යුගයේ ලියැවුණු කෘතියක් බවට බොහෝ දෙනා විශ්වාස කරන යසෝදරාවත කාව්‍යයෙහි අන්තර්ගත කවි 130 පුරාවට ම ආගමික නැඹුරුතාවයක් දක්නට ලැබේ. එහි කවි 130 ම සරල වූ මිශ්‍ර භාෂා ශෛලියකින් ලැයැවී ඇති බැවින් පාසල් යන දරුවාගේ සිට වැඩිහිටි උගත් පරපුර දක්වා ම හොඳීන් ධර්ම රසය විඳීමේ අවස්ථාව ලැබේ. මෙම කාව්‍ය කෘතිය තුළින් පාඨකයා නිර්වාණ මාර්ගය කරා මෙහෙයවන පුණ්‍ය කර්ම දෙසට යොමු කරවමින් ස්ත්‍රී පාර්ශ්වය පිළිබඳ ගෞරවාන්විත වූ භක්තිමත් හැඟීමක් ජනිත කරවීමට සමත් වෙයි.

සංසාර සාගරයෙහි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පූරණය කළ අප මහ බෝසතාණන් වහන්සේ

සූවිසි සංක්‍ය කප් ලක්ෂය පෙරුම් පු රා
මෝරා පුබුදු මල ලෙස බුදුවූ ලොව් තුරා

යනාදී වශයෙන් මලක් මෝරා පුබුදු වූවාක් මෙන් ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් දීර්ඝ ඉතිහාස තොරතුරු ඉතා සංක්ෂිප්ත ව හකුළුවාලමින් සඳහන් කෙරෙන පද්‍යයකින් යසෝදරාවත කාව්‍ය ආරම්භ කර ඇත. අනතුරුව දාන පාරමිතා පූරණය කිරීම, දීපංකර බුදුරජාණන් වහන්සේ විසින් නියත විවරණ ලබා දීම , සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ විවරණ ලබා වෙස්සන්තර ජීවිතය ගත කරමින් දෙව්ලොව දෙවියන්ගේ ආරාධනය මත පස්මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රන්යහනේ සැතපී සිටි මහාමායා දේවිය දුටු සිහිනය, බමුණු පඬිවරුන්ගේ අනාවැකි, මහාමායා දේවියගේ සල් උයන් ගමන, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සිදුහත් කුමරා ශිල්ප හැදෑරීම, යසෝදරාවන් සමඟ විවාහය, ගිහිගෙය හැර යාමට සූදානම් වූ අයුරු, අලුත උපන් රාහුල කුමරු දකින්නට යාම, මාළිගයෙන් පිටත්ව තපසට යාම, කන්ථක අසු හා ඡන්න අමාත්‍යයාට සමුදීම, යසෝදරාවගේ විරහ වේදනාව, යසෝදරාවගේ ප්‍රාර්ථනා, උතුම් වූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පැමිණ දම්සක් පැවැත්වීම, උත්තරීතර බුදුබව ලබා කිඹුල්වතට වැඩම කිරීම, සුද්ධෝදන පිය මහ රජතුමාට ධර්මය දේශනා කිරීම, රාහුල කුමරු පැවිදි කිරීම, යසෝදරාවෝ පැවිදිව රහත්වීම හා අමාමෑණි සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගෙන් සමුගෙන සෘද්ධි පෙළහර පාමින් පිරිනිවීම යනාදී වශයෙන් බුද්ධ චරිතය හා බැඳීපවතින වැදගත් අවස්ථා අන්තර්ගත කරමින් යසෝදරාවත කාව්‍ය රචනා කර ඇත.

ධර්ම රසය රමණීය ලෙස මැනවින් උද්දීපනය කෙරෙන යසෝදරාවත කාව්‍ය පැරැණි ජන සමාජයෙහි බොහෝ නිවැසියන් රාත්‍රී කාලයෙහි ගායනා කරන ලද රසවත් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජනතාව අතර ප්‍රචළිත විය. එක් අයකු ගායනා කරන විට ගෙදර සියලු දෙනාම ඉතා සන්සුන් ව අසා සිටිමින් රස විඳීම අපේ අතීත ජනයාගේ සිරිත විය. දියුණු යැයි කියා ගන්නා වර්තමාන සමාජ පවුල් සංස්ථාව තුළ වෙන් වෙන් ව හුදකලා වෙමින් විද්යුත් උපාංග ජීවිතය කර ගත් අරුත්සුන් නීරස ජීවිත ඔවුන් තුළ පැවතුණේ නැත. කාව්‍යයම කතාන්තරයන්හි අන්තර්ගත බොහෝ ජීවන අත්දැකීම් තම තමන්ගේ ජීවිතවලට උකහා ගනිමින් පවුල් ජීවිත අර්ථවත් ව මෙන් ම සාර්ථක ව ද පවත්වාගෙන යාමට මෙවැනි ධර්ම සාහිත්‍යාංග බොහෝ සේ ඉවහල් විය. කාන්තාවකගේ මාතෘත්වය සහ සෙනෙහෙබර ස්වාමි දියණියකගේ වගකීම් අමතක නොකර කටයුතු කිරීමේ අගය යසෝදරාවත කාව්‍ය තුළින් ප්‍රකාශ කර ඇත.

අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සිදු කළ අප්‍රමාණ වීර්යයත්, බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලැබූ උතුම් අවස්ථාවත් දක්වා ඇත. සුමේධ තාපස තුමන් දීපංකර බුදුරජාණන් වහන්සේ අතින් මල් අට මිටක් පුජා ලැබූ බව සඳහන් කර ඇත්තේ බෝසතාණන් වහන්සේ කෙරෙහි අප සිත් තුළ මහත් ශ්‍රද්ධාවක්, භක්තියක්,ගෞරවයක් ඇතිවන ආකාරයට ය.

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේධ නම් තපසුව බෝසත් එදිනා
කඳුරුලියේ වැඩ සිටි මහතා එදිනා
මේ මහතා මතු බුදු වෙයි වදාරනා

සිරි හස්තෙන් මල් පූජා කළ තැනදී
දෙසිතක් නැතිව නියමයි එක සිත් පැහැදී
දෝත පුරා වැඳ පිදු රඹගම පුරදී
නියත විවරණේ ලැබුණේ එතැන්හි දී

වෙස්සන්තර රජතුමා ලෙසින් දරුවන් දන් දෙමින් සාමාන්‍ය ලෝකයේ සමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි තරම් දාන පාරමිතාව පූරණය කළ අප මහා බෝසතාණෝ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසුව තුසිත දිව්‍ය ලෝකයෙහි ඉපදීම, බෝසතාණන් වහන්සේ පිළිබඳව ධර්ම ගෞරවයක් ජනිත වන ආකාරයට විස්තර කරයි. ඒ වගේම සම්මා සම්බුද්ධත්වය සඳහා මිනිස් ලොව ඉපදීමට කල් බලා වැඩ සිටිය බෝසත් දෙවිඳුන්ට දෙව් සැප සම්පත් අතහැර බුදුවීම සඳහා සුදුසු කාලය පැමිණ ඇති බව දෙවිවරු බෝසතාණන් වහන්සේට සිදුකළ ආරාධනය ද කවියා මෙසේ ප්‍රකාශ කර ඇත.

කාලේ බුදු වෙන්ඩ සරිඋනිය මහතු නේ
ආලේ ඉතින් ඇරලා යමු සුවාමි නේ
කාලේ බලා වැඩසිටි බෝසත් එදි නේ
සීලේ ගුණේ බැලුවොත් උපදින්නට අ නේ

දීපේ දේසේ උපදින කුල කොතන බලා
කෝපේ නොවී මව්පිය කව්ද විමසලා
රූපේ කව්ද සරණෙට මට සිතා බලා
දීපේ උතුම් දඹදිව දිවසින් දැකලා

මේ ආකාරයෙන් කාලය,දේශය, දීපය, කුලය, මව්පියන් යන පස්මහ බැලුම් විමසා බලා දඹදිව මහාමයා දේවියගේ කුස ඉපදීමට සුදුසු බව දැක සුද්ධෝදන පියාණන් වහන්සේ හා පන්සියයක පමණ කිරි මෑණිවරුන්ගේ ආරක්ෂාව, රැකවරණය මැද ආත්ම ගණනාවක සිට පාද පරිචාරිකාව ලෙස තමා හා එක්ව පැමිණෙන යසෝදරා අගමෙහෙසිය දැක දඹදිව ඉපදීමට සුදුසු කාලය පැමිණ ඇති බැවින් එය තීරණය කළ යුතු බව විස්තර කරයි.

අනතුරුව මහාමායා දේවිය දුටු සිහින විස්තර කරන කවියා දේවිය දනක් පමණ සුවඳ මල් අතුරන ලද යහනෙහි සැතපුණ බව ප්‍රකාශ කරයි. එම සිහින තුළ දෙනෝ දහක් අඟනෝ දේවියට මල් නෙළීමෙහි යෙදී සිටි බවත්, අනෝතප්ත විල මැද යහනක් පනවා එහි හිඳුවා කන්‍යාලියන් විසින් පැන් නෑවීම සිදු කළ අයුරුත් අනෝතප්ත විල සිහිනෙන් දුටු ආකාරයත් විස්තර කරයි. ශ්වේත වර්ණවත් වූ ඇත් පැටවකු පැමිණ සුදු හොඩින් මායා දේවියගේ කුස පිරිමැදී සිහින පිළිබඳ තොරතුරු දේවිය විසින් සුද්ධෝදන මහ රජතුමාට සැලකර සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිහින පලාපල පිළිබඳ රජු බමුණු පඬිවරුන්ගෙන් විමසා සිටී.

මෙතුන් ලොවට නායක පුන්සඳ ලෙසට
උතුන් බෝසතෙක් උපදිය තුන් ලොවට

තුන් ලොවක් සනහාලන, තුන් ලොවක් ආලෝකවත් කරන පුන්සඳක් වන් තුන්ලොවට ම නායක වන උතුම් බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳ සිහිනයක් බවට පඩිවරුන් විසින් විග්‍රහ කරයි.

අනතුරුව මහා මායා දේවිය කුමාරෝත්පත්තිය සඳහා දෙව්දහ නුවර තම මව්පියන් කරා යාමට පිටත්ව යයි. අතරමඟ හමුවන මලින් සුවඳවත් වූ, බමරුන්ගෙන් සමනලුන්ගෙන් පිරී ඉතිරී ගිය සුන්දර ලුම්බිණි සල් උයනේ මදක් විවේක ගත් ඕ තොමෝ සල් අත්තක් අල්ලාගත් බවත්, ඒ අවස්ථාවේ සල් ගස් වටකොට වටතිර ඇඳි බවට බුද්ධ චරිතයෙහි සඳහන් කතාව විස්තර කර ඇත්තේ මෙසේ ය.

කල් දැනුණේ දසකඩ මස පිරුණු තැනේ
රැල් පුලුනේ බරකුත් බඩට නොදැනුණේ
මල් පවනේ එන ලෙස සොඳ සිසිල් දැනේ
සල් උයනේ දී ව ද කුමරු බිහි උනේ

යනුවෙන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙහි අසිරිමත් බව ගෞරවාන්විත ව සිහිපත් කිරීමට යසෝදරාවත කවියා පෙළඹී ඇති අයුරු අතිශයින් ආස්වාදජනක ය. එම පරිසරයේ පැවැති සුන්දරත්වය සිහිපත් කිරීමට ද ඔහු අමතක නොකරයි.

සජීවී චිත්ත රූප මැවීමට තරම් කවියා පොහොසත් වෙයි. මෙම දේශීය පැරැණි සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමේ වැදගත්කම වර්තමාන සමාජය බොහෝ සේ වටහා ගත යුතු ය. අප ජීවිත්වුණේ කොතැන ද? කුමන පරිසරයක ද? අද අප ගමන් කරන්නේ කෙබඳු දිශාවකට ද? මානසික සුව සහනය සොයා අපේ පැරැණ්නන් ගිය මඟ අප යා යුතු නොවේ ද?