Print this Article


වචනය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි පරිහරණය පරිස්සමෙන්

වචනය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි පරිහරණය පරිස්සමෙන්

" ‍බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දේවදත්ත තෙරුන් මහා පව්කාරයකු බව දේශනා කරන සේක. ඔහු නියත වශයෙන් ම අපායට යන කෙනෙක් ලෙසත්, ඔහු අපායෙන් ගලවා ගන්නට බුදුවරු දාහක් ආවත් නොහැකි බවටත් ප්‍රකාශ කරති. "

මජ්ඣිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් අභයරාජ කුමාරයාට දේශනා කරනු ලැබූ අගනා සූත්‍රයකි. අභයරාජ කුමාරයා බිම්බිසාර රජුගේ පුත්‍රයකු වුව ද, නිගණ්ඨනාථපුත්තගේ අනුගාමිකයකු විය.

බුදුන් දවස සිටි බොහෝ අන්‍යාගමික ශාස්තෘවරුන්ට බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමේ වුවමනාවක් පැවතිණි. එහෙත් ඒ සඳහා බියක් දැක්වූයේ ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් වේ යැයි යන බියෙනි. නිගන්ඨනාථපුත්‍ර ශාස්තෘවරයා ද එම ගණයෙහි ලා ම සැලකිය හැක්කේ මෙම සූත්‍ර දේශනාවට අදාළ පසුබිම විමසා බැලීමෙනි.

නිගණ්ඨනාථපුත්ත ශාස්තෘවරයා දිනක් අභයරාජ කුමාරයාට යෝජනාවක් කළේ ය.

“රාජ කුමාරයාණනි, ඔබ බුදුරජාණන් වහන්සේ සමග වාද කොට ජය ගතහොත් ඔබගේ කීර්තිය දඹදිව පුරා පැතිරී යනු ඇත. එබැවින් ගොස් බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරාජය කරන්න. ඒ සඳහා වන උපදේශය මම ලබා දෙන්නෙමි”‍

යනුවෙනි. එනම්, ඔබ උන්වහන්සේ වෙත ගොස්,

“බුදුන් වහන්ස, ඔබ වහන්සේ අන්‍යයන්ගේ හිත් රිදෙන, අප්‍රිය අමනාප වදන් පවසන්නේ ද?

යනුවෙන් ප්‍රශ්න කළ යුතු ය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මම එසේ කෙනෙක් නොවේ යැයි පවසන්නේ නම්, ඔබ නැවතත්,මෙසේ විමසන්න

. “‍බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ විසින් දේවදත්ත තෙරුන් මහා පව්කාරයකු බව දේශනා කරන සේක. ඔහු නියත වශයෙන් ම අපායට යන කෙනෙක් ලෙසත්, ඔහු අපායෙන් ගලවා ගන්නට බුදුවරු දාහක් ආවත් නොහැකි බවටත් ප්‍රකාශ කරති. එයින් දෙව්දත් තෙරුන්ගේ හිත රිදෙන්නේ නැද්ද? එය අප්‍රිය අමනාප කතාවක් නොවන්නේ ද?” යනුවෙනි.

යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට

“‍ඔව්, මම අන් අයගේ හිත් රිදවන, අප්‍රිය හා අමනාප දේ පවසමි”‍

යැයි පිළිතුරු දුනහොත්, එවිට

“එසේ නම් බුදුරජාණන් වහන්සේ සහ සාමාන්‍ය පුද්ගලයන් අතර වෙනසක් නෑ නේද?”

යනුවෙන් විමසන්න. මේ අයුරින් අභයරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේගෙන් විමසිය යුතු පැනයන් පිළිබඳ නිගන්ඨනාථපුත්ත ශාස්තෘවරයා ඉගැන්වී ය.

බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්න ඇසූ කල ගිලගන්නටත් බැරි, වමාරන්නටත් බැරි යමක් උගුරේ හිරවුණා සේ කටඋත්තර නැතිවේවි යනුවෙන් ද කල්පනා කළේ ය.

අභයරාජ කුමාරයා එදින සවස ම බුදුන් හමුවට පැමිණියේ සෘජුවම උන් වහන්සේගෙන් ප්‍රශ්න නොකොට පසුදින දානය සඳහා ආරාධනා කළේ ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අභයරාජ කුමරුගේ මන්දිරයට පසු දින දානය සඳහා වැඩම කළහ. දන් වළඳා අවසන් වූ පසු අභයරාජ කුමාරයා බුදුන් වහන්සේගෙන් ඉහත පරිදි

“ඔබ වහන්සේ අනුන්ගේ හිත් රිදවන, අප්‍රිය හා අමනාප දෑ පවසන්නේ දැයි විමසී ය. එය එකවර පිළිතුරු දිය නොහැකි මෙන් ම විස්තර වශයෙන් පිළිතුරු ලබා දිය යුතු වූවක් බවට බුදුන් වහන්සේ සඳහන් කළහ.අභයරාජ කුමරුගේ මුවින්

“‍නිගණ්ඨනාථපුත්‍ර ඉවරයි, නිගණ්ඨනාථපුත්‍ර විනාසයි”‍ යන වදන පිටවිය.

කෙසේ නම් මේ තුළින් නිඝණ්ඨනාථපුත්‍ර විනාශ වන්නේදැ,යි බුදු හිමියෝ විමසූහ.

අභයරාජ කුමාරයා තමන් වාදයට පැමිණි කාරණා මෙන් ම නිගන්ඨනාථපුත්‍ර ශාස්තෘවරයා විසින් තමන්ට ඉගැන්වූ සියල්ල හෙළි කළේ ය.

මේ මොහොතේ දී අපූරු සිදුවීමක් විය. අභයරාජ කුමාරයාගේ පුත්‍රයා පැමිණ ඔහුගේ උකුල මත හිඳගත්තේ ය. එම අවස්ථාව මනාව උපයෝගී කර ගත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ පැනයට පිළිතුරු ලබා දීමට පටන් ගත්හ. “රාජ කුමාරයාණෙනි, ඔබගේ දරුවා උගුරේ ගල් කැටයක් හිර කර ගත හොත් ඔබ කුමක් කරන්නේ ද?” බුදුන් වහන්සේ විසින් විමසූ පැනයට හෙතෙමේ

“බුදුන් වහන්ස, මම දරුවා පැත්තකට හරවා උගුරට ඇඟිල්ල දමා, ඇඟිල්ල නවා කෙසේ හෝ ගල්කැටය ඉවතට ගන්නෙමි”‍. යි පැවසී ය.

එවිට බුදුහිමියෝ රාජ කුමරුගෙන්

“එවිට දරුවාට රිදෙන්නෙ නැද්ද? දරුවා එයට අකමැති නැද්ද? උගුරෙන් ලේ ගලන්නේ නැද්ද? දරුවා අඬන්නේ නැද්ද?” යනුවෙන් විමසූහ. එවිට කුමාරයා

“බුදුන් වහන්ස, දරුවා අකමැති වුවත්, ඇඬුවත්, ලේ ගැලු‍වත් කෙසේ හෝ ඒ ගල් කැටය එළියට ගත යුතු ය”‍

යනුවෙන් පිළිතුරු දුන්නේ ය. එසේ කිරීමට හේතුව කිමදැයි බුදුරජාණන් වහන්සේ විමසූහ. දරුවා කෙරෙහි ඇති ආදරය කරුණාව නිසා බව ඔහු පැවසී ය.

එයම උපමා කොට ගත් බුදුරජාණන් වහන්සේ, ඇතැම්විට වචන භාවිත කිරීමේ දී අන් අයගේ සිත් රිදුණත්, ඔවුන්ගේ යහපත පිණිස වචන භාවිතයෙහි උපයෝගීතාවය දැක්වූහ. ඒ අනුව ලොව පවතින සත්‍යයන් හයක් අතුරින් දෙකක් පමණක් උන්වහන්සේ භාවිතයට ගන්නා බව දැක්වූහ. සයාකාර වූ එකී සත්‍යයන් මෙසේ ය.

යම් වචනය ක් සිදු නොවන්නක් වුවත් (මාළුවකු අහසෙහි පියෑඹුවේ යැයි දැක්වුවහොත් එය සිදුනොවන්නකි. එවැනි ප්‍රකාශ ‘අභූත‘ වන අතර, එය ‘භූත‘ වනුයේ කුරුල්ලකු අහසෙහි පියෑඹුවේ යැයි දැක්වීමෙනි) සත්‍ය නොවූ, අවැඩ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේ ද, අමනාප වේ ද, බුදුරජාණන් වහන්සේ එබඳු වචනය නොකියති.

යම් වචනයක් සිදු වූ (භූත) සත්‍ය වූ, අවැඩ ගෙන දෙන්නක් යැයි දනියි ද, ඒ වචනය ද අනුන්ට අප්‍රිය අමනාප වේ ද, බුදුරජාණන් වහන්සේ එබඳු වචනය ද නොකියති.

යම් වචනයක් වූ දෙයක්ය (භූත) , සත්‍යයක් ය, අර්ථ පිණිස පවතින්නක් යැයි දනියි ද, ඒ වචනය ද අනුන්ට අප්‍රිය අමනාප වේ ද, බුදුරජාණන් වහන්සේ ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙති.

යම් වචනයක් නොවූ දෙයක් ය (අභූත) , අසත්‍යයක් ය, අවැඩ ගෙන දෙන්නක් යැයි දනියි ද, ඒ වචනය ද අනුන්ට ප්‍රිය මනාප වේ ද, බුදුරජාණන් වහන්සේ එබඳු වචනය ද නොකියති.

යම් වචනයක් වූ දෙයක් ය (භූත) , සත්‍යයක් ය, අවැඩ ගෙන දෙන්නක් යැයි දනියි ද, ඒ වචනය අනුන්ට ප්‍රිය මනාප වේ ද, බුදුරජාණන් වහන්සේ එබඳු වචන ද නොකියති.

තථාගතයන් වහන්සේ, යම් වචනයක් වනාහී වූ දෙයක් ය (භූත) , සත්‍යයක් ය, වැඩ ගෙන දෙන්නක් යැයි දනියි ද, ඒ වචනය ද අනුන්ට ප්‍රිය මනාප වේ ද, ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙති.

කෙටියෙන් ම දක්වන්නේ නම් කොතරම් සත්‍යයක් වූ ව ද, එහි වටිනාකම පවතිනුයේ එය අන් අයට ප්‍රිය හෝ මනාප වීම තුළ නොව එම සත්‍යයෙන් පුද්ගලයකුට සිදුවන්නා වූ යහපත මතයි. ප්‍රියමනාප වචන තුළින් වංචා සහගත ලෙස කටයුතු කිරීමේ හැකියාව ද පවතී. යමකුට යහපත සැලසීම පිණිස ප්‍රිය හෝ මනාප වචන නොව ඇතැම් විට අප්‍රිය හා අමනාප වචන ද භාවිත කිරීමට සිදුවේ. අවසානයේ දී එම වචනයෙන් සිදු වන්නේ යහපතක් නම්, එය අන් අයට අප්‍රිය හා අමනාප වුව ද ගැටලුවක් නොවේ. චේතනාවේ පාරිශුද්ධත්වය සහ ප්‍රායෝගික ව ලබන ප්‍රතිඵලයෙහි සුවිශේෂීතාවය ම ප්‍රධාන වන බව ඉන් ගම්‍යමාන වේ.

තව කෙනකුට යහපත සිදුවන්නා වූ වචනයක් වුව ද, සුදුසු අවස්ථාවේ දී ප්‍රකාශ කිරීමෙහි ප්‍රායෝගික උපයෝගීතාවය ද පැහැදිලි වනුයේ ඉහත දැක්වූ සය ආකාර වචන භාවිතය තුළ බුදුරජාණන් වහන්සේ විසින් භාවිත කරනු ලබන ආකාර දෙකක් වූ වචන භාවිතය කල් දැන ප්‍රකාශ කරන වගට (කාලඤ්ඤූ) දැක්වීමෙනි. බුදුන් වහන්සේ සතු ව පැවති අප්‍රමාණ කරුණාව පදනම් කොටගෙන සසර සත්වයාට යහපත සැලසීම එකම අරමුණ වූ බැවින් වචනයෙහි ඉලක්කය සැමවිට ම යහපත කේන්ද්‍ර වූවකි. ඒ අනුව, යම් වචනයක් පැවසීමේ දී එහි ඵල විපාක පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් තමාට හෝ පොදුවේ සමාජයට සිදුවන යහපත හෝ අයහපත පිළිබඳ ව වඩාත් පරීක්ෂාකාරීවීම කෙරෙහි සියල්ලෝ උත්සුක වේවා !