Print this Article


වරදක දී දරුවන්ට දඬුවම් කිරීම හරිද වැරැදි ද?

වරදක දී දරුවන්ට දඬුවම් කිරීම හරිද වැරැදි ද?

අපගේ දරුවන් අනුකරණශීලීන් වන්නේ, නිර්මාණශීලීන් නො වන්නේ මෙම බියසුළු ගතිය පදනම් කරගෙන ය. කෙතරම් උගත්කම් ලැබුවත් අපට බොහෝ විට නිර්මාණශීලීන් නැත. ව්‍යවසායකයින් නැත. විද්‍යාඥයින් නැත. අලුතින් හිතන අය නැත. කුලියට වැඩ කරන නිවට බියසුළු සේවක පිරිසක් ඇත.

එක්තරා පියෙක් තම දරුවාට පාඩම් වැඩ කරන ලෙස දැන්වූ ව ද එය නොකළ නිසා දඬුවම් කළේ ය. පහර වැරැදී හිසට වැදීම නිසා දරුවා මරණයට පත් විය. පියා පහර දුන්නේ සත්භාවයෙනි. එම නිසා ම මේ සිදුවීම සාධාරණය කිරීම උදෙසා ඇතැම් අය ධර්මය සමඟ ගළපා ගන්නට උත්සාහ දරනු පෙනේ.

කර්මය තුළ දී, චේතනාව කර්මය වන බවත්, (චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා) චේතනාව යහපත් වුවොත් එය යහපත් ක්‍රියාවක් වන නිසා මෙය සාධාරණී කරණය කිරීමට පෙළඹේ. මෙහි දී ප්‍රාණඝාත අකුසලයකට සම්පූර්ණ විය යුතු සතකු වීම, සතකු බව දැන ගැනීම, මැරීමේ චේතනාව, මැරීම සඳහා උපක්‍රම භාවිතය ආදී කාරණාවන්ගෙන් මැරීමේ චේතනාව නොවූ බව ඔවුහු කියති. මෙය සාවද්‍ය කාරණයකි. යම් කර්මයක් සිදු වුවහොත් ඊට අදාළ ප්‍රති විපාකයක් වෙයි. අපගේ පින්තූරයක් ගත් විට අප වගේ වන්නා සේ කළ කර්මයෙහි ප්‍රති විපාකය ද ඒ හා සමාන වෙයි. ප්‍රති විපාක දෙකකි. ඒ ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්ධි විපාකයි. ප්‍රතිසන්ධි විපාක යනු ඊළඟ භවයක උපතයි. සමහර විටක ඉහත සිදුවීමේ දී චේතනාව නොමැති විය හැක. එනමුත් ප්‍රවෘත්ති විපාක ලැබෙයි. චක්ඛුපාල තෙරුන් සක්මන් භාවනා කරද්දි නොදැනුවත් ව මෙරු මැරෙති. උන්වහන්සේ රහත් වූ නිසා ප්‍රතිසන්ධි විපාකයක් නොවිණි. එනමුත් ප්‍රවෘත්ති විපාක ලැබිණි. මහා කපි ජාතකයෙහි වලෙන් ගොඩ ආ මිනිසා තමා ගොඩ ගත් වඳුරා මරා මස් කන්නට ඌට ගලකින් ගැසී ය. කුසගින්න නිසා කළ දෙයකි. එහෙත් මේ මිනිසා මැරෙනා තුරු කුෂ්ඨ රෝගයකින් පෙළුණි. මේ තමා කළ අපරාධයෙහි කර්ම ශක්තිය සංකේතවත් කරන අවස්ථාවකි.

දරුවාගේ මරණය හා ඔහු ගේ මරණය පියා අතින් සිදුවීම භව සංසාර කර්ම ශක්තියක් බව මෙම සිදුවීම සාධාරණය කරන පුද්ගලයෝ මතයක් ඉදිරිපත් කරති. මෙයත් සාවද්‍ය ප්‍රකාශයකි. කර්මය ඒ අයුරින් ම සිදුවීමට ඉඩ හැරීම බුදු දහම නොව බුදු දහම සිදු කරනුයේ මෙම කර්ම ශක්තිය වෙනස් කිරීමයි.

කර්මයට එසේ දිගට ම ක්‍රියාත්මක වීමට ඉඩ හැරියොත් කිසිවකුට කිසිදා නිවන් දැකිය නොහැක. මිනිස් ආත්ම භවයක් ලැබ ගති සම්පත්තිය උරුම කර ගැනීම, බුද්ධෝත්පත්ති කාලයක උපත ලබා කාල සම්පත්තිය උරුම කර ගැනීම, අංග සම්පූර්ණ මිනිස් ආත්ම භවයක් ලැබ උපධි සම්පත්තිය ලැබීම, යහපත, අයහපත අවබෝධ කර ගත හැකි ලෙස බුද්ධිමත් වීම තුළ පයෝග සම්පත්තිය ලැබීම කර්මය වෙනස් කර ගත හැකි ශක්තීන් ය. සියල්ල කර්මයට යටත් කරයි නම් දරුවන්ට ඉගෙනුම ලැබීමට උනන්දු කරවිය යුතු නැත. මන්ද කර්මය තුළින් ඔහුගේ අනාගතය තීරණය කරනු ඇත.

ලාංකීය සමාජය බෞද්ධ සමාජයකි. එසේ වුවත් ඒ බෞද්ධ ප්‍රතිපදාව අප තුළ නැත. දරුවන්ට, සිසුන්ට දඬුවම් කළ යුතු ය. ඒ තුළින් ම දරුවන් සුමඟට යන බව අප සමාජයෙහි වන මිථ්‍යාවකි. මෙය බුදු දහම නොව බමුණු දහමයි. කකාර කකාර හදන හොද්ද රස වන්නා සේ තල තලා හදන දරුවා යහපත් වන බව කියයි. මේ බමුණු මතය වේ. ආදරය කිරීම බොහෝ දෝෂ ඇති බවත්, දඩුවම් කිරීම බොහෝ ඵල ගෙන දෙන බවත්, ඒ නිසා දරුවන් හා සිසුන් ආදරයෙන් නොහැදිය යුතු බවත් දඬුවමෙන් හැදිය යුතු බවත් බමුණෝ කියති.

( “ ලාලනෙ බහවෝ දෝෂ: තාඩනෙ බහවෝ ඵලං , තස්මාත් දාරස්ස ශිෂ්‍යයස්‍ය - තාඩයේත් මා ලාලයේත්.”) මෙය කොතෙක් වව්‍යාප්ත වී ඇති දැයි කිවහොත් අධ්‍යාපනය හා ඈදුන තවත් වචනයකි වේවැල, “වේවැල් කෝටු නාරං සියඹලා අතු - කිතුල් පොල් ඉරටු වල් කහබිලිය අතු - මෙවැනි ඉපල් මගේ දෑතට නොපෑ යුතු - පමා නොවී එමි අකුරට මෙයින් මතු” අපේ පැරැන්නෝ කීවේ එසේ ය.

අතපය කඩලා හරි මට ළමයා හදලා දෙන්න යැයි සමහර මව්පියෝ කියති. මෙම මතවාදය තුළ සිටින අප සමාජය මව්පියන්ට, ගුරුවරුන්ට, දරුවන්ට හා සිසුන්ට දඬුවම් කිරීමට අයිතියක් ඇතැයි ප්‍රකාශ කරයි. එහෙත් ඒ තුළින් ඔවුන් නිර්මාණය කරනුයේ පෞරුෂ හීන දරුවන් බව නොතේරීම කරුමයකි. අද මව්පියන්ට, ගුරුවරුන්ට බිය ව යම් යම් කටයුතු කරන දරුවා හෙට දවසේ දී මහ සමාජයට පැමිණි විට වැඩ කරනුයේ බිය නිසා ය.තම සේවා ස්ථානයේ නිලධාරීන්ට බිය ය. දේශපාලකයන්ට බිය ය. ඔහු වැඩ කරනුයේ බියට මිස නිවැරැදි ව නොවේ. මෙවන් බියසුළු සමාජයක් බිහිවීම කවර අර්ථයක් ද?

අපගේ දරුවන් අනුකරණශීලීන් වන්නේ, නිර්මාණශීලීන් නො වන්නේ මෙම බියසුළු ගතිය පදනම් කරගෙන ය. කෙතරම් උගත්කම් ලැබුවත් අපට බොහෝ විට නිර්මාණශීලීන් නැත. ව්‍යවසායකයින් නැත. විද්‍යාඥයින් නැත. අලුතින් හිතන අය නැත. කුලියට වැඩ කරන නිවට බියසුළු සේවක පිරිසක් ඇත. පෞරුෂය බිද දමා හදන දරුවා රෝගියෙකි. මේ අයුරින් රටක් දියුණු කළ නොහැක.

ලංකාව බෞද්ධ රටකි. බහුතරය බෞද්ධ ය. එහෙත් අවාසනාවන්ත සිද්ධිය නම් බුදු දහම ඔවුන් තුළ නොමැත. ලාංකිකයා තුළ ආදරය නැත. පාරේ දී රියැදුරන් අතරින් වරදක් වූ විට සමාව ගැනීමක් නැත. මානය ඇත. අනෙක් රියැදුරා අනේ ඔහුට වැරදුනා යැයි නොසිතයි. ඔහුට දෝෂාරෝපනය කරයි. වෛරය ඇත. සැමියා බිරිඳ අමතන්නේ, බිරිඳ සැමියා අමතන්නේ ආදර වදනින් නොවේ. “ ඕයි ” “තමුසේ” ආදි වදන් ය. මව්පියෝ දරුවන්ටත්, දරුවන් මව්පියන්ටත්, ගුරුවරු සිසුන්ටත්, සිසුන් ගුරුවරුන්ටත් මේ ආදි වශයෙන් සමාජයේ බොහෝ අය තුළ ආදරය නැත.

දරුවන්ට අධ්‍යාපනය දීම තුළ ඇත්තේ මව්පියන්ට තමන්ට ළඟා වීමට නොහැකි වූ ඉලක්කයට දරුවන් යොමු කිරීමයි. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් දරුවන් තුළින් ඉටු කර ගැනීමේ දී එය ඉටුනොවන අවස්ථාවක දී රාගය, ද්වේෂය, මෝහය, මානය, මදය වැනි නරක සිතුවිලි පහළ වෙයි. දරුවන් අධ්‍යාපනයට යොමු නොවූ විට දරුවන් කෙරෙහි වෛරය, කෝපය මතු වන්නේ මේ කරුණ මතයි. අභ්‍යන්තරය තුළ යහපත නම් පිට වන්නේත් යහපතයි. අභ්‍යන්තරය තුළ ඇත්තේ කුණු නම් පිටවන්නේ කුණු ය. මේ නිසා අප කළ යුත්තේ මේ අභ්‍යන්තරය යහපත් කර ගැනීමයි.

ගසක් මල් ඵල හට ගැන්වීම බලහත්කාරයෙන් කළ නොහැක. එසේ වුවත් එම ගසට ජලය, බෙහෙත් පොහොර ලබා දෙමින් හොඳීන් සාත්තු කරයි නම්, ගස හොඳීන් වැඩෙයි. ගස හොඳීන් වැඩුණු කල මල් ඵල හට ගනියි. මව්පියන්, ගුරුවරුන් දරුවන් වෙනුවෙන් අනුගමනය කළ යුත්තේත් මෙම ක්‍රම වේදයයි. දෙමාපියන් දරුවන්ට ආහාරපාන ලබා දෙමින් දරුවන් පෝෂණය කළ යුතුයි. ආරක්ෂා කළ යුතුයි. ගුරුවරුන් දරුවන්ට ඉගැන්විය යුතු නැත. ඉගෙන ගැනීමට මඟ පෙන්වීම, පෙළඹවීම කළ යුතු ය. ආරක්ෂා කළ යුතු ය. මේ අයුරින් වූ විට දරුවන් නිසි වයසේ දී ඉගෙනීම සිදු කරයි. උගන්වද්දී බිහි වන්නේ අනුකරණශීලියෙකි. වහලෙකි. ඉගෙනුමට පෙළඹවීම තුළ ඉගෙන ගන්නා සිසුවා අලුතින් හිතයි. නිදහස් ව හිතයි. නිර්මාණශීලී ව හිතයි. දියුණු වන රටකට ඇවැසි එවන් වූ අයයි.

දක්ෂ අශ්ව දමනය කරන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සංවාදයක් කේසි සූත්‍රයෙහි වෙයි. කේසී යනු අසුන් දමනය කරන්නෙකි. බුදුරදුන් ඔහුගෙන් අසුන් දමනය කරන අයුරු විමසයි. ඔහුගේ පිළිතුර වූයේ රළු අයුරින්, මෘදු අයුරින්, රළු මුදු දෙයාකාරයෙන් යන ක්‍රම යොදයි. එසේ දමනය නොවන්නෙක් වෙතාත් තම කීර්තිය උදෙසා එම අශ්වයා මරා දමයි.

බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරනුයේත් එසේ කටයුතු කරන බවයි. රළු අයුරින් දමනය කරයි. කය වචන සිත යන තිදොරින් සිදු කරන වැරැදි කියයි. එහි විපාක වශයෙන් අපායගාමී ව විඳීන පීඩාව කියයි. ඒ රළු ලෙස දමනය කිරීමකි. කය වචන සිත යන තිදොරින් කරන යහපත කියයි. එහි විපාක වශයෙන් විඳීන ස්වර්ග මෝක්ෂ සම්පත් කියයි. මේ දෙ අයුරම කියයි. ඒ ක්‍රම තුනින් ම දමනය නොවෙයි නම් ඔහුට අවවාද කිරීමෙන් වැළකෙයි. එය මරා දැමීමයි. බුදු රජාණන් වහන්සේට දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කිරීමේ උතුම් ගුණය පැවතුණි. ඒ සඳහා උන්වහන්සේ තුළ පැවති ආයුධ නම් කරුණාව, දයාව, මෛත්‍රිය, ප්‍රඥාව යන ගුණයන් ය. උන් වහන්සේ ඒ තුළින් රජුන්, සොරුන්, මං පහරන්නන්, මිනීමරුවන් පමණක් නොව, යකුන්, බඹුන්, දෙවියන් වැනි අමනුෂ්‍යයන් මෙන් ම සතුන් ද දමනය කළහ. දෙමාපියන් හා ගුරුවරුන් සිසුන් හික්මවද්දී මේ ගුණවලින් හික්මවීම යෝග්‍යම ක්‍රමවේදය වේ.

අපේ දරුවන්ට දඬුවම් නොකරමු. ආදරයෙන් , කරුණාවෙන් , දයාවෙන් රැක බලා ගනිමු. නිවට බියසුළු රෝගි දරුවන් නොව උසස් පෞරුෂයෙන් යුතු දරුවන් හදමු.