Print this Article


පිඬු සිඟා වඩින භික්ෂුන් වහන්සේ ගිහියාට නිධානයකි

පිඬු සිඟා වඩින භික්ෂුන් වහන්සේ ගිහියාට නිධානයකි

ජීවිකාවන් අතර පහත් ම යැපීම් ක්‍රමය සිඟාකෑම යි. දෑත දෙපා තිබිය දී රැකියාවක් කොට තමා ම යමක් උපයා සපයා නොගැනීම හා අන්‍යයන් මත යැපීම පිළිකුල් සහගත ය. එහෙත් සසුන් වන් කුල පුත්‍රයන්ට ඒ කාරණය එලෙසින් ම ගැලපිය නොහැක. භික්ෂුවගේ ආහාරය පිණ්ඩපාත භෝජනය යි. රජ සැප අතහැර දමා පැවිදිව උතුම් බුදු පදවිය ලැබූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පවා ගෙන් ගෙට පිඬුසිඟා දිවි වැටුම සිදුකොට වදාරමින් පිණ්ඩපාත චර්යාවේ ඇති පූජනීය බව පෙන්වා වදාළහ.

පිඬුසිඟා ලද ආහාරයෙන් උදරය පුරවා ගැනීම හීන ක්‍රියාවක් වූව ද භික්ෂූන් සඳහා එවන් ප්‍රතිපදාවක් අනුදැන වදාළ බුදුරදුන් එමගින් ආරක්ෂා කරන ලද්දේ ගිහි පැවිදි උභය පාර්ශවය ම ධර්ම මාර්ගයේ පිහිටුවා ලීම යි. පරප්‍රතිබද්ධ ජීවිතයක් තමාට ඇති බව භික්ෂුව විසින් නිතර සිහි කළ යුතු ය. තමා පොරවන චීවරය, වළඳන ආහාරය, වැඩසිටින කුටිසේනාසනය හා පරිහරණය කරනු ලබන බෙහෙත් පිරිකර ගිහි ජනතාව විසින් පූජා කරනු ලබන්නේ ලෞකික ලෝකෝත්තර සැනසීම ලැබීමේ අපේක්ෂාවෙනි. ඒ කරුණු මෙනෙහි කරන පැවිද්දා ගිහි ප්‍රජාවගේ එකී බලාපොරොත්තු ඉටු කර දීම වෙනුවෙන් කටයුතු කළ යුතු ය. එනම් සීලාදී පිළිවෙත් ධර්මයන්හි මනාව පිහිටමින් සමථ විදසුන් භාවනාවේ යෙදී වාසය කළ යුතු ය.

පිඬුසිඟා ජීවත් වූව ද පැවිද්දා සිඟමන් යදින යාචකයකු මෙන් අසරණයෙක් නොවේ. උසස් චාරිත්‍ර වාරිත්‍ර විධි සමුදායයක් ඇති බ්‍රහ්මවිහාරාධී ගුණයන්ගේ නවාතැනකි. සමාන්‍ය යාචකයකු යමක් ඉල්ලා ගැනීම පිණිස මුණගැසෙන සියලු දෙනාට ම අතපාමින් බැගෑපත් වේ. එහෙත් පිණ්ඩචාරික භික්ෂුව කිසිවකු ඉදිරියේ බැගෑපත් නොවන අතර, හමුවන සියල්ලන් වෙත සිව්පසය සඳහා නො එළඹේ. වචනයෙන් හෝ ඉරියව්වකින් පවා කිසිවක් නො ඉල්ලමින් “උද්දිස්ස අරියා තිට්ඨන්ති“ යනුවෙන් වදාළ ආකාරයෙන් සුදුසු නිවෙස් දොරකඩට පැමිණ නිහඬ ව සුලු වේලාවක් කල් යවා යමක් ලැබුණේ ද, නොලැබුණේ ද මෛත්‍රියෙන් පිටව යයි. භික්ෂූන්ගේ පිඬු සිඟමන භාවනාවක් වන අතර, එය ගිහි ජනතාව කෙරෙහි සිදුකරනු ලබන උදාරතර මෙහෙවරක් ද වේ.

භික්ෂුවගේ යැපීම් ක්‍රමය කෙතරම් අහිංසක වුව ද තමා කෙරහිත්, සසුන් පිළිවෙත කෙරෙහිත් ගෞරවයක් නොමැති ගිහියන් වෙත ගොස් බැගෑපත් විය යුතු නොවේ. අංගුත්තර නිකායේ කුල සූත්‍රයට අනුව පැවිද්දකු විසින් යම් කුලයකට එළැඹීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් දැක්වේ. භික්ෂුවක් ඉදිරියේ යම් ගිහියෙක් තමා වාඩිවී සිටින ආසනයෙන් නොනැඟිටියි නම් එවැනි පිරිසක් වෙත සිව්පස පිණිස නොයා යුතු බව බුදුරජාණන් වහන්සේ එහි දී පෙන්වා වදාළහ. තමාට වඩා සීලාදී ගුණයෙන් උසස් වූවන් ඉදිරියේ හුනස්නෙන් නැඟිටීම ප්‍රාථමික ආචාර ධර්මයකි. එබඳු ගුණයක් හෝ නොමැති කුලයක් වෙත භික්ෂුව යම් හේතුවකින් එළැඹියේ නම් නැවත එහි නොයා යුතු ය. පැවිද්දකු දුටු විගස ගෞරවනීය ආකාරයෙන් යුතුව තමා හුන් ආසනයෙන් නැගිට ඉඩ දේ නම් එවැනි පිරිසක් වෙත එළැඹීම යෝග්‍ය වේ.

ඕනෑවට එපාවට නොව පසඟ පිහිටුවා සාදර ගෞරවයෙන් පැවිද්දන්ට වන්දනා කිරීම ආර්ය චාරිත්‍රයකි. යමකු කෙරෙහි ඒ ගුණය නොවේ නම් එවැන්නකු හෝ එවැනි කුලයක් වෙත නොයා යුතු අතර පැවිද්දාට නිසි ගෞරවය දී වැඳුම් පිදුම් කරන්නන් වෙත පමණක් පිඬුසිඟා යා යුතු ය.

තම නිවසේ ඇති වටිනා ආසනයක් මත සුදු වස්ත්‍ර එලා ඉතා ඕනෑකමින් යුතුව පැවිද්දාට අසුන් ගැන්වීමට සැලැස්වීම සැදැහැති ගිහියාගේ ලක්ෂණයකි. එහෙත් එසේ නො කරන ගිහි ගෙවල් වෙත පිඬුසිඟා යාම අවශ්‍ය නොවේ. පැවිද්දන් හෑල්ලුකොට සලකන ගිහියන් වෙත බුදු පසේ බුදු මහරහත් උතුමෝ නොවඩිති. සම්බුදු කරුණාව ලැබීම පිණිස පෙර කළ පින් ඇතිව සිටින, එහෙත් පාප මිත්‍ර ඇසුර නිසා නොමඟ ගිය අසරණයන් බේරා ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේලා වැඩම කරන අතර පුරාකෘත පින්බලයක් නොමැති උදවිය වෙත නො වඩිති.

ඇති දේ සැඟවීම හා පැවිද්දන් රැවටීම ද හීන ධර්මයකි. යම් ගිහියකු කෙරෙහි එකී දුර්ගුණ වේ නම් ඔහු වෙත නොයා යුතු වේ. දායකයාගේ වත් පොහොසත්කම අනුව ඔහුගේ අතහැරීම වෙනස් වේ. බොහෝ ධනය ඇති පුද්ගලයෙක් ඉතා සොච්චමක් පරිත්‍යාග කොට ඒ පිළිබඳ උදම් අනයි නම්, ඔහු දාන පාරමිතාව ගැන හරිහැටි නොදනී. තමාගේ ශක්ති ප්‍රමාණය අනුව හැකි උපරිමයකින් සිව්පස පූජා කරන ගිහි ප්‍රජාව වෙත එළැඹෙන පැවිද්දා අරියවංස ප්‍රතිපදාව අනුව පිළිපදියි නම් දායක ග්‍රාහක යන උභය පාර්ශවයට ම යහපතක් සැලසේ.

ප්‍රණීත දේ සඟවා අප්‍රණීත දේ හෝ, ඉවතලන දේ හෝ දෙන්නා වූ ගිහියන් ද දුරින් ම දුරු කළ යුතු ය. පිඬුසිඟා වඩින භික්ෂුව යනු සැප කැමති ගිහියාට අක්ෂය නිධානයකි. පැහැදුණු සිතින් පැවිද්දකු දෙස බැලීම පවා අපමණ පින් වැඩෙන ක්‍රියාවක් වේ. එවැන්නකු වෙත තමා සතු ප්‍රණීතම ආහාරපානාදිය ලබා දීම මඟින් රැස්වන පුණ්‍යස්කන්ධය මෙතෙකැයි කිව නොහැක.

යමක් පූජා කිරීමේ දී කිසිදු ගෞරවයක් නොමැති ව, ගණන් ගැනීමක් හෝ තැකීමක් නො කරයි නම් එවැනි ගිහියන් ද වර්ජනය කළ යුතු ය. දන් හැන්දක් බෙදීමේ දී එය සිදුකරන ආකාරයෙන් ම ගිහියාගේ ශ්‍රද්ධාදී ස්වභාවයන් ගැන වැටහේ. යටහත් පහත් ව සාධු කියමින් අපගේ දන් පිළිගන්නා සඟරුවන සුවපත් වේවා යන අදහසින් යුතුව යම් උවසු - උවැසියන් දානාදී පූජාවන් සිදු කරයි නම්, ඔවුන් වෙත භික්ෂූන් වහන්සේලා එළැඹිය යුතු අතර මගහැර යාමක් කිසිසේත් ම නො කළ යුතු ය.

යම් ගිහියෙක් සුදුසු කල්හි දහම් ඇසීම පිණිස භික්ෂුවගේ සමීපයේ නො හිඳීයි නම් එවැනි ගිහියන් වෙත ද පැවිද්දා නොයා යුතු ය. ආමිසයෙන් භික්ෂුවට උවටැන් කරන ගිහියන් වෙත බුදුබණ කියා දීම පැවිද්දන්ගේ වගකීමක් වේ. එහෙත් දහම් ඇසීමට නො පැමිණෙන උදවිය ධර්ම ගෞරවයෙන් තොර වූවන් වන නිසා එවැන්නන් වෙත සිව්පස සඳහා යාම බුදුරජාණන් වහන්සේ විසින් තහනම් කොට වදාළහ.

දහම් ඇසීම පිණිස එළඹුණත් කන් යොමා ගරුසරු ඇතිව ශ්‍රවණය නොකරයි නම්, එවැනි ගිහියන් ද සැදැහැතියන් නොවේ. ආමිස දානයට ප්‍රත්‍යුපකාරයක් ලෙස ධර්ම දානය ලබා දීම භික්ෂුවගේ යුතුකමකි. එහෙත් දායකයා ධර්ම ශ්‍රවණය කොට භාෂිත ධර්මයේ අර්ථ රස විඳීමින් සතුටු නොවේ නම්, ධර්මකාමියෙක් නොවේ. ඔහුට තමා විසින් සිදු කළ යුතු යහපත ගැන නො වැටහේ. ධර්ම ගෞරවය ඇති ව ඇසූ ධර්මයෙහි අර්ථ රසය විඳීමට සමත් ගිහි පින්වතුන් වෙත පමණක් සිව්පසය සඳහා එළඹෙන පැවිද්දා නිසා කිසිවකුටත් අලාභයක් නොවේ.

ශක්තිමත් ගිහි පැවිදි සබඳතාවක් ඇති බව සාසන මාර්ගයෙහි දියුණුවකි. ප්‍රතිග්‍රාහක භික්ෂුව හා දායක ගිහියා අතර අන්‍යොන්‍ය අවබෝධයක් පැවතීමත් තම තම භූමිකාව හඳුනාගැනීමත් හේතුවෙන් සාසන බ්‍රහ්මචරියාව දිගු කලක් පවතිනු ඇත. ගිහියන්ගේ සහයෝගය නො ලබා සසුන් ප්‍රතිපදාව පැවැත්විය නොහැකිවාක් මෙන් පැවිද්දන්ගේ උපකාර නො ලබා ගිහි ප්‍රතිපදාවන් ද පැවැත්විය නොහැක. ගිහියා භික්ෂුවට ගරු නොකිරීම හා අවනත නොවීම නිසා උභය පාර්ශවයන් ම ඔවුනොවුන්ගෙන් ඈත් වී යයි.

භික්ෂුවකට තම නිවෙස් දොර වෙත පිඬුසිඟා වැඩීමට සිත් පහළ වන තරමට ගිහියාගේ හැසිරීම් සමුදාය සකසා ගත යුතු වන අතර ඉහත දැක් වූ කරුණු අනුව ගිහි ප්‍රජාව තම චරිතය දෙස විමසා ඉතා යහපත් ආකාරයෙන් භික්ෂූන්ට සැලකීම හා ගෞරව දැක්වීම ඉමහත් සමාජ මෙහෙවරක් ද වේ. තම තමා පුරනු ලබන යහගුණයන් කෙදිනක හෝ පාරමිතාවක් වී තමාට ම යහපත ගෙන දෙන බව සිත්හි තබා සංඝ රත්නය විෂයයෙහි ගෞරවයෙන් පිළිපැදීමට සියල්ලන් ම කාරුණික විය යුතු ය. එය තමා ම තමාගේ යහපත උදාකර ගැනීමක් වන අතර සාසන ප්‍රතිපදාවේ චිර ජීවනයට ද හේතු වේ.