Print this Article


දිනුමත් පැරදුමත් තීරණය කරන්නේ සිත යි

දිනුමත් පැරදුමත් තීරණය කරන්නේ සිත යි

සිත පුදුමාකාර යි. මොහොතක් මොහොතක් පාසා වෙනස් වනවා. විවිධ අරමුණු වෙත දිව යනවා. එහාට මෙහාට දුවනවා. දඟලනවා. කුඩා දරුවකු සේ සිත එක අරමුණක රඳවා තබා ගැනීම දුෂ්කර යි. ඒ නිසාම සිත චපල යි. නොයෙක් තැන්වලින් වැට කඩාගෙන කුඹුරට පැමිණ ගොයම් කන කුළු හරකකු වගේ සිත ආරක්ෂා කර ගැනීමත් අසීරු යි. ඇස්, කන්, නාසා දී ඉන්ද්‍රියන් මඟින් විවිධ දුෂ්චරිතයන්ට යොමුවන සිත එයින් වළක්වා ගැනීමත් අසීරු යි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක් කුල පුත්‍රයෙක් උන්වහන්සේගෙන් දහම් අසා පැහැදී සංඝරක්ඛිත නමින් පැවිදි වුණා. සංඝරක්ඛිත හිමි බොහෝ වීර්ය වන්ත යි. භාවනා වඩා රහත් බවට පත්වුණා. උන්වහන්සේගේ නැගණියට පුතෙක් සිටියා. සංඝරක්ඛිත රහතන් වහන්සේ වෙත පැමිණ ඔහු ද පැවිදි වුණා. බෑණනුවන් යන අර්ථයෙන් ‘භාගිනෙය්‍ය’ යන වචන ය ද මුලට යොදා ‘භාගිනෙය්‍ය සංඝරක්ඛිත’ යන නමින් වුණා. එක් වස් කාලයක මේ හිමියන් වස් වසන්නට ආසන්න ගමකට වැඩම කළා. වස් සමාදන් වන දවසේ පූජා වශයෙන් උන්වහන්සේට වැසි සළු දෙකක් ලැබුණා. එක් වැසි සළුවක් ප්‍රමාණයෙන් රියන් හතයි. අනෙක් වැසි සළුව රියන් අටයි. මම මෙයින් රියන් අටක් වූ වැසි සළුව මාගේ ගුරු හාමුදුරුවන්ට පූජා කරනවා යැයි භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවෝ සිතුවා. වස් අවසානයේ ගුරු හාමුදුරුවන් හමුවීමට පැමිණියා. ඒ වෙලාවේ උන්වහන්සේ විහාරයෙහි වැඩ සිටියේ නැහැ. පිණ්ඩපාතය සඳහා වැඩම කරලා. උන්වහන්සේ නැවැත වඩින තුරු ගෝල හාමුදුරුවෝ මලුපෙත් හැමද පිරිසිදු කළා. ආසනයක් පනවා පා දෝවනයට පැන් බඳුනක් ද පිළියෙල කළා. ගුරු හාමුදුරුවො පන්සලට වැඩම කළ පසු පා සිවුරු පිළිගෙන පා දෝවනය කළා. තමන් වහන්සේ ගෙන ආ වැසි සළුව පූජා කළා. ගුරු හාමුදුරුවො එය ප්‍රතික්ෂේප කළා. දෙවනුවත්, තෙවනුවත් එය පිළිගැන්වුවත් බාර ගත්තේ නැහැ. භාගිනෙය්‍ය සංඝරක්ඛිත හාමුදුරුවන්ට ඒ ගැන බොහොම දුකයි.

උන්වහන්සේ, අවන් පතින් ගුරු හාමුදුරුවන්ට පවන් සලන්නට පටන් ගත්තා. ඒ අතරේ මෙහෙම සිතුවා. “ගුරු හාමුදුරුවො මම පිරිනමන දේ බාර ගත්තෙ නැහැ. මා සමඟ අමනාපයෙන් වත් ද? එහෙම නම් මම ඉන්නේ නැහැ. සිවුරු හැර යනවා. ඒ ගිහින් මොනවද කරන්නෙ , ගිහි ජීවිතය බොහොම අසීරුයි. මම මේ වැසි සළුව විකුණනවා. ඒ මුදලින් එළු දෙනක් මිලට ගන්නවා. ඇය පැටවුන් බිහි කළා ම කිරි විකුණනවා. ඒවායින් මට ආදායමක් ලැබේවි. භාගින්‍යෙය හාමුදුරුවො තවමත් ගුරු හාමුදුරුවන්ට පවන් සලනවා . තවදුරටත් මෙහෙම හිතනවා. ඒ ආදායමෙන් මම ගෙයක් හදනවා. විවාහයකුත් කර ගන්නවා. ටික කාලයක් යන විට මට පුතෙකුත් ලැබෙයි. මගේ බිරිඳත් , පුතත් සමඟ කරත්තයෙන් ගුරු හිමියන් බැහැ දකින්නට යනවා. යන අතර මගදී දරුවා මගේ තුරුලට ගන්නට ඕනෑ. ඒත් මගේ බිරිඳ දරුවා ඇගේ උකුළෙහි ම තබාගෙන සිටිනවා. ටික දුරක් යනවා. බිරිඳගේ ඇකයෙන් ගිලිහුණු දරුවා බිමට වැටෙනවා. අනේ මගේ පුතා කරත්තයේ රෝදයට හසුවෙනවා. කෙවිට අරගෙන මගේ බිරිඳට පහර දෙනවා කියා දිගටම පහර දුන්නා. භාගිනෙය්‍ය සංඝරක්ඛිත හාමුදුරුවො තවමත් ඉන්නෙ ඒ සිතිවිල්ලෙ ම යි. ඒත් උන්වහන්සේගේ දෑත ක්‍රියාත්මකයි. අවන්පතින් ගුරු හාමුදුරුවන්ට පහර පිට පහර දෙනවා. ඒත් භාගිනෙය්‍ය හාමුදුරුවන්ට ඒ ගැන අවබෝධයක් නැහැ. සිරුර එහි තබා උන්වහන්සේ සිතින් බොහෝ දුර ගිහින්. කරත්තයට හසුවූ දරුවා ගැන තැවෙනවා. සංඝරක්ඛිත රහතන් වහන්සේ ගෝල හාමුදුරුවන්ගේ සිත නුවණින් දුටුවා. “භාගිනෙය්‍ය ඔබ බිරිඳට ගසන පහර මට වැදෙනවා” යනුවෙන් පැවසූවිට උන්වහන්සේට බොහෝ ලජ්ජා හිතුණා. එතැනින් දිවයන්නට සැරසුණා. ඒත් ඒ විහාරයෙහි අනෙක් තරුණ හිමිවරු එක්වී උන්වහන්සේ අල්ලාගෙන බුදුහිමියන් වෙත රැගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ සිත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව දේශනා කොට වදාළා

“දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං

යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති,

මොක්ඛන්තිමාරබන්ධනා”

සිත බොහෝ දුරට ගමන් කරනවා. සීමාවක් නැහැ. ඕනෑම තැනකට යනවා. තනිව ගමන් කරනවා. සිතට ශරීරයක් නැහැ. භෞතික ස්වරූපයක් නැහැ. ඒ නිසාම අල්ලන්නට බැහැ. හැඩයක් ,වර්ණයක් නැහැ. පඨවි, ආපෝ, තේජෝ , වායෝ යන සතර අංගයන්ගෙන් සෑදුණු ශරීරය නැමැති ගුහාවේ හදවත ඇසුරු කොට සිත පවතිනවා.

මඩ ගොහොරින්, කැළි කසළින් අපවිත්‍ර නොවූ නිල් දිය පිරි පියුමෙන් සුසැදි විලක් හරිම ප්‍රසන්න යි. නිල්වන් ජලය මතින් එහි පතුළ හොඳීන් පෙනෙනවා. බලන්නට ප්‍රියයි. එහෙත් මහ වැසි වැස්සේ නම් කුණු කසල සේ ම මඩ වතුර ද ගලාවිත් ඒ විල අපිරිසුදු වෙනවා. ජලය බොර පැහැ වෙනවා. අලංකාරය නැති වෙනවා. අපේ සිතත් ඒ වගෙයි. සිත අපිරිසුදු කරන කැළිකසල ගෙන එන මාර්ග පහක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය ඒ අංග පහයි. ඒවාට කැළි කසල හසුවුණොත් සිත අපිරිසුදු වෙනවා. දූෂ්‍ය වෙනවා. එයට කෙලෙස් සහගත සිතක් යැයි කියනවා. එවැනි සිත සසර දිගු කරනවා. එයට කළ යුත්තේ කුමක්ද? මෙසේ සිතන්න . නිල්දිය පිරුණු පොකුණ වටා ශක්තිමත් බැම්මක් බැන්දොත් අපිරිසුදු වතුර ගලා එන්නේ නැහැ. විල ආරක්ෂා වෙනවා. පිරිසුදු වතුර ආරක්ෂා වෙනවා. සිතත් ඒ වගෙයි. සිත අපවිත්‍ර කරන දේ රැගෙන එන අංග පහ එනම් ඇස, කන,නාසය, දිව, ශරීරය ආරක්ෂා කර ගන්නට ඕනෑ. එවිට නරක හැඟීම් ඇති වන්නේ නැහැ. සිත පවිත්‍ර වෙනවා. මහා ශක්තියක් ඇතිවෙනවා. අපගේ ජයග්‍රහණයත්, පරාජයත් රඳා පවතින්නේ ඒ මතයි.

මේ කතා පුවතෙහි වැදගත් කරුණක් පෙන්නුම් කරනවා. කවර මොහොතක කවර කාර්යයක නියැළෙන්නේ ද ඒගැන සිහිය පිහිටුවා ගත යුතු බවයි. පවන් සලමින් වෙනත් දෙයක් ගැන සිතනවා නම් එතැන සිහිය පිහිටුවා ගැනීමක් නැහැ.

භාගිනෙය්‍ය සංඝරක්ඛිත හාමුදුරුවෝ තම බිරිඳ ගැන මනඞකල්පිත සිතුවිලි මවා ගෙන ඇයට කෙවිටෙන් පහර දෙනවා යැයි සිතා සිය ආචාර්යයන් වහන්සේගේ හිසට පවන් පතින් පහර දුන්නේ ඒ නිසයි. සෑම කාර්යයක දී ම සිහිය හෙවත් සතිය ඉතාම වැදගත්, පාඩම් කරන දරුවෙක් එය සිහියෙන් නොකළේ නම් සිත බොහෝ දුර යන්නට පුළුවන්. වෙනත් දේ ඔලුවට එනවා. පොතේ වචන කියැවෙනවා. පේළි කියැවෙනවා. පාඩම කියවා අවසන් වෙනවා. ඒ වුණාට ඒ කිසිවක් මතකයේ නැහැ.

අවධානය ගිලිහුණු තැන කරන කාර්යය නිෂ්ඵලයි. බණ භාවනාවේ දී මෙන් ම ඔබ කරන සියලු කාර්යයන් හි දී පසුව ඔබට පසුතැවිල්ලක් ඇති නොවේ. ඒ අනුව ඔබේ ජීවන ගමන සාර්ථක වනු ඇත.