Print this Article


සතුටින් ජීවත්වීමට නිවැරැදි ව ලෝකය දකින්න

 සතුටින් ජීවත්වීමට නිවැරැදි ව ලෝකය දකින්න

පේමතෝ ජායතී සොකො – පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස –  නත්ථි සෝකෝ කුතෝ භයං

සමාජයේ ජීවත්වන බොහෝ අය විවිධ කරුණු මුල් කොට ශෝකයෙන් කල් ගෙවති. එසේත් නොවේ නම් බියෙන් පසු වෙති. මෙය දුප්පත් පොහොසත් ආදී භේදයන්ගෙන් තොර ව බොහෝ දුරට සිදුවන දෙයකි.

බුදුරදුන්ගේ ප්‍රධාන දායිකාව වූ විශාඛා උපාසිකා මාතාවට දත්තා නම් මිනිබිරියක් වූවා ය. විශාඛාවන්ගේ අවවාද නිරන්තරයෙන් ලබා ජීවත් වූ ඒ මිනිබිරිය බුදුරදුන්ටත්, සංඝයා වහන්සේටත් මහත් ගෞරවයෙන් හා සැදැහැ සිතින් ඇප උපස්ථාන කරමින් සිටිය දී හදිසියේ ම කලුරිය කළාය. එයින් ඇති වූ දුක් වේදනාව ඉවසා ගත නො හැකි වූ විශාඛාව හඬා වැලපෙමින් බුදුරදුන් වෙත ගොස් ඒ පුවත දැන්වූවා ය.

ඉහත සඳහන් කරුණ නිමිති කොට බුදුරදුන් දේශනා කොට වදාළ ගාථාව මෙහි ආරම්භයෙහි සඳහන් විය. ප්‍රෙ‍්‍මය හෙවත් ප්‍රිය භාවය හේතු කොට ගෙන ශෝකය හා බිය උපදින බවත්, ඒ ප්‍රිය භාවයෙන් යම් කෙනකුට මිදිය හැකි නම් බිය පමණක් නොව ශෝකය ද නැති කොට සතුටින් ජීවත් විය හැකි බවත් එයින් පැහැදිලි කොට දුන්හ.

එදා විශාඛාව දුක් වූයේ තම මිනිබිරිය නැති වීම නිසා ය. සියලු සම්පත් ඇතිව ජීවත් වූ කොසොල් රජතුමා දිනක් බුදුරදුන් වෙත කුඩා ළමයකු මෙන් අඬමින් පැමිණියේ අවුරුදු එකසිය විස්සක් ආයු විඳ මිය ගිය තම මිත්තනිය නැති වීමේ දුක ඉවසා ගැනීමට නො හැකි වීම නිසා ය. පටාචාරා තම මවුපියන් ඇතුළු දරුවන් නැති වීමෙන් බලවත් ලෙස දුක් වූවා ය. අනිත්ථිගන්ධ කුමාරයා නොකා, නොබී මහත්සේ දුක් වූයේ තම දෙ ඇසින් කිසි විටකත් නො දුටු තමා හා අතිනත ගැනීමට සිටි කාන්තාව නැති වීම නිසා ය.

වර්තමාන සමාජයෙහි රිය අනතුරු වැනි හදිසි විපත් නිසා හෝ රෝගාබාධයන් නිසා හෝ වයසට පත්වීම නිසා හෝ තමන්ගේ කෙනකු මිය ගිය කල්හි හෝ මහත් දුකට පත් වී සිටින අයට එදා බුදුරදුන් විශාඛාවන් සමඟ කළ සාකච්ඡාව සිහියට ගත හොත් තම වේදනාවන් බොහෝ දුරට තුනී කර ගත හැකි වෙයි.

විශාඛාවෝ සත් හැවිදිරි වියෙහි දී ම සෝවාන් භාවයට පත් වූ ආදර්ශ සම්පන්න ප්‍රබුද්ධ කාන්තාවකි. දත්තා නම් මිනිබිරිය නිමිති කොට අඬා වැළපුනු අවස්ථාවෙහි සැවැත් නුවර ජනගහණය කොපමණද?යි බුදුරදුන් ඇසූ පැනයට කෝටි සතක් පමණ යැයි ඇය පිළිතුරු දුන්නා ය. ඒ සැම දෙන මිනිබිරිය හා සමාන වන්නේ නම් කැමති ද?යි බුදුරදුන් ඇසු ප්‍රශ්නයට ඇගේ පිළිතුරු වූයේ තමා මහත් සේ සතුටු වන බවයි. මේ නුවර දිනකට කී දෙනෙක් කලුරිය කෙරෙත්ද?යි ඇසූ ප්‍රශ්නයට බොහෝ දෙනෙක් මිය යන බව ඇය සඳහන් කළා ය. විශාඛාවනි, එසේ වූ කල්හි මෙ නුවර වාසය කරන සෑම දෙනා ම දත්තා මිනිබිරිය හා සමාන වන නිසා ඔබට දිනපතා මේ අන්දමට අඬා වැළපෙමින් කල් ගත කිරීමට සිදු වන බව බුදුහු අවබෝධ කොට දුන්හ.

සසර ගමන ගැන සලකන විට නෑ නොවූ කෙනකු මේ තුන් ලොව නො මැති බව බුදු පියාණෝ වරක් පෙන්වා දුන්හ. මේ අනුව අපේ අය නැතිවීම ගැන කොපමණ බිය විය යුතුද? ශෝක කළ යුතුද? යන්න සිතා බලා ‘අපේය’ යි ගන්නා තද බැඳීමෙන් සිත මුදවා ගෙන කටයුතු කිරීම සැනසිලිදායක ජීවිතයකට මඟ බව සිතට ගන්න.