Print this Article


සම්බුදු පා පහසින් සුපූජනීයවත් වූ මහියංගණ රාජමහා විහාරය

සම්බුදු පා පහසින් සුපූජනීයවත් වූ මහියංගණ රාජමහා විහාරය

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ පින් බිමකි මහියංගණ රාජමහා විහාරය. සොළොස්මස්ථාන අතර මුල් තැනට පමිණෙන මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ මහවැලි ගඟබඩ පුරාණ බින්තැන්න ජනපදයට අයත් සීමාවේ යි. තැනිතලා බිම් පෙදෙස බිම්තැන්න හෙවත් බින්තැන්න ලෙස හඳුන්වා තිබෙනවා. මහී යනු පොළෝතලය යි. අංගන යනු තැනිතලාව යි. මධ්‍යම කඳුකරයෙන් නැඟෙනහිර දෙස තැනිතලා බිමට පාලියෙන් මහියංගනය ලෙස ව්‍යවහාර කර තිබෙනවා. මහියංගණය, මියුගුණ ලෙස ද හැඳීන්වෙනවා.


විහාරාධිපති
උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි

බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමෙන් පසු මතු කාලයේ සම්බුදු සසුන බබළන ලක්දිවින් යක්ෂ ගෝත්‍රිකයන් බැහැර කිරීමට කටයුතු කරනවා. එදා මනෝරම්‍ය ගංතෙර යොදුන් තුනක් දිගු වූ, යොදුනක් පුළුල් වූ මහා නාග වන උයනෙහි රාත්‍රී කාලයේ යක්ෂයන් එක් රැස් වී සිටියා. තථාගතයන් වහන්සේ එම භූමියට වැඩම කළා. මහියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ අහසෙහි වැඩ හිඳීමින් යක්ෂයන් බිය වන අන්දමට වර්ෂා, වාත අන්ධකාර මවා පා යක්ෂයන් බිය වද්දා ගිරි දිවයිනට පළවා හැරියා. මේ බව මහාවංසයේ සඳහන් වෙනවා. තවත් පිරිසක් පවසන්නේ රැස්වීමක් හෝ ප්‍රීති උත්සවයක් ලෙස යි. ඇතැම් වියතුන්ගේ මතය නම් සම්බුද්ධත්වයට පත්, නව අරහාදී බුදු ගුණයන්ගෙන් සපිරි බුදුරජාණන් වහන්සේ යක්ෂයන් බිය වැද්දීම්, පළවා හැරීම් සිදු කළා යැයි පැවසීම මහාවංස කතුවරයාගේ අතිශයෝක්ති කථනයක් බවයි.

යක්ෂ දමනයෙන් පසු බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි දේවතාවුන් අතර සිටි සෝවාන් වූ සුමන සමන් දෙවිඳුන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද නීලවර්ණ කෙස් අත්ලක් සුමන සමන් දෙවිදුන්ට පිරිනැමුවා. සුමන සමන් දිව්‍ය රාජයා ස්වර්ණමය කරඬුවක කේශධාතුන් වහන්සේ වඩා හිදුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් සත් රියන් උසැති මහියංගන දාගැබ තැනවූවා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවෙහි සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරභූ මහ රහතන් වහන්සේ දැල්වෙන දර සෑයෙන් බුදුරදුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට වැඩම කළා. එම ධාතුන් වහන්සේ මහියංගණ දාගැබෙහි නිධන් කොට මේදෝවර්ණ පාෂාණයෙන් දොළොස් රියන් උසට දාගැබ විශාල කොට බැඳවූවා. එම සෑ රදුන් වට කොට තිස් රියන් උස් චෛත්‍යයක් කරවන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමාගේ සහෝදර උද්ධචූලාභ කුමරු බවයි පැවසෙන්නේ.

සතුරන් මැඩ ත්‍රි සිංහලය එක්සේසත් කිරීම පිණිස දුටුගැමුණු රජතුමා සේනා පිරිවරා මාගම සිට අනුරාධපුරයට පැමිණියා. ඒ යන ගමනේ දී මහවැලි ගඟෙන් එතෙර ව පිහිටි රටට ඇතුළු ව මහියංගණයේ ඡත්‍ර නම් එළාර රජුගේ සෙනෙවියාගේ බලය බිඳ දමූවා. අසූ රියන් උසැති ව මුල් සෑය වට කොට කංචුක සෑයක් ලෙස මහියංගණ දාගැබ පිළිසකර කරවූයේ ඉන් පසුවයි.

වෝහාරිකතිස්ස රජතුමා මියුගුණ සෑයෙහි කටුකොහොල් අරවා ඡත්‍ර කර්මාන්තාදිය කරවා පෙරහර පැවැත්වූ බව ද ඉතිහාසයේ සඳහන්. ධාතුසේන රජතුමා, දෙවන සේන රජතුමා සහ හතරවන කාශ්‍යප රජතුමා මහියංගණ විහාරයේ අභිවෘද්ධියට කටයුතු කළේ ආදායම් සහිත ගම්වර පුදමින්. පොළොන්නරු යුගයේ මහා විජයබාහු රජතුමා පිළිසකර කළ මහියංගන සෑ රදුන්ගේ ධාතු ගර්භය විසිවන සියවසේ ප්‍රතිසංස්කරණවලදී පුරාවිද්‍යාඥයන්ට හඳුනා ගැනීමට හැකි වුණා. කෝට්ටේ යුගයේ සයවැනි පැරකුම්බා රජතුමා, සෙංකඩගල නගරය පාලන මධ්‍යස්ථානය කොට ගත් වීරවික්‍රම රජතුමා සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහියංගණ සෑයෙහි විවිධ පිළිසකර කිරීම් සහ පුදපූජා පැවැත් වූ අන්දම සඳහන් වෙනවා.

ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩමවූ පසු පැන නැගි අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ අතුරින් පඨමක චෛත්‍යස්ථානයේ පිහිට වූ බෝධීන් වහන්සේ ලෙස මහියංගණයේ පිහිටි පෞරාණික බෝධීන් වහන්සේ ජනප්‍රවාදගත ව පවතිනවා. සිංහල බෝධි වංශයේ සදහන් වන්නේ අෂ්ටඵල රුහ බෝධි හට ගැනීමෙන් පසු හට ගත් දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් මහියංගණයේ රෝපණය කර වූ බවයි.

මහියංගණයට නුදුරු ජනපදයක පාලකයා වූ සේලාභය කුමරුන් තම පුතු අනුරාධපුරයේ වෝහාරතිස්ස රජුගෙන් ආරක්ෂා කරනු වස් මියුගුණ වෙහෙරේ බෝ මලුවෙහි පිරිත් මණ්ඩපයෙහි දී පුත් කුමරුගේ මාමා වූ නන්ද හිමියන් වෙත භාර කරවුවා. එළු අත්තනගලු වංසයේ සදහන් වන්නේ සංඝයා වහන්සේලාගේ සහ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පත් වූ හෙයින් සංඝබෝධි හෙවත් සිරිසඟබෝ නම් ලද බවයි. බෝ මලුවේ ඇති සෙල්මුවා අසුන එදා සිරිසඟබෝ කුමරුන් තෙරුවනට බාර කළ අසුන ලෙස විශ්වාස කෙරෙනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සියම් රටින් වැඩම කොට මෙරට උපසම්පදාව පිහිට වූ උපාලි තෙරණුවන් ප්‍රමුඛ හිමිවරුන් මහියංගන මහ සෑය වන්දනා කිරීමට පැමිණ තිබෙනවා.

මහියංගණ රාජමහා විහාරයේ වැඩ සිටින්නේ අස්ගිරි මහා විහාර පරම්පරාවට අයත් මහා සංඝරත්නය යි. ඒ සඳහා විහාරාධිපති හිමි නමක පත් කිරීම සිදු කෙරෙන්නේ රාජුපස්ථානීය පරමධම්මසභා නම් වූ අස්ගිරි මහා විහාරයේ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව විසිනු යි. වර්ෂ 1848 පමණ අවධියේ සිට මේ දක්වා ඉඳවලුගොඩ ධම්මපාල නාහිමි, යටවත්තේ චන්දජෝති මහ නාහිමි, අඹගස්වැවේ රතනපාල ධම්මපාල මහ නාහිමි, ගුන්නෑපාන සරණංකර මහ නාහිමි, මුල්ලේගම ගුණරතන මහ නාහිමි, උඩුවාවල රේවත නාහිමි, යටවත්තේ ධම්මරතන මහ නාහිමි, උඩුගම රතනපාල මහ නාහිමි, පලිපාන චන්දානන්ද මහ නාහිමි, ගලගම අත්ථදස්සි මහ නාහිමි යන මහ තෙරවරුන් විසින් හෙබවීමෙන් පසු වර්තමානයේ විහාරාධිපති ධුරය දරන්නේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය ධුරන්ධර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ යි.

බුදුරජාණන් වහන්සේ දඹදිවින් පිටතට වැඩි ප්‍රථම අවස්ථාව මහියංගණයට වැඩමවීම යි. එසේ ම දෙවියකු විසින් මනු ලොව ඉදි කළ ප්‍රථම චෛත්‍යය මහියංගණ සෑරදුන් වහන්සේ යි. රහතන් වහන්සේ නමක් බැඳ වූ එකම සෑරදුන් වහන්සේ ද මහියංගණ සෑයයි. ඓතිහාසික මූලාශ්‍රවල කංචුක සෑයක් පිළිබඳ විස්තර වන ප්‍රථම සෑය ද මෙම සෑරදුන් වහන්සේ යි. විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන තැන වූ සහ පිළිසකර කළ එකම සෑය ද මෙම සෑරදුන් වහන්සේ යි. මෙවන් අනූන වැදගත්කම්වලින් හෙබි මහියංගණ සෑ රදුන් වහන්සේ මිහිපිට මහානීය පුදබිමක් ලෙස බෞද්ධ ජනතාව අතර වන්දනීයත්වයට පත්වනවා.