උත්තරීතර පතිදමක ගුණ වරුණ තිළිණ කළ මාහැඟි ජන කාව්‍යය
යශෝදරාවත
බුදුන් වහන්සේගේ අතීත භවයන් විවරණය කෙරෙන බෝධිසත්ව කතා, බුදුගුණ නිරූපණය කෙරෙන කතා
සහ බුද්ධ චරිතය ඔස්සේ ගොඩ නැඟුණු සාහිත්‍යයක් ලෝකයේ බුදු දහම ඇති සෑම රටක ම දක්නට
ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සන්දේශ සහ හටන් කවි හැරුණු කොට ඉතිරි සියලු සාහිත්‍යාංග බුදු
සමයෙන් පෝෂණය වූ බව කිව හැකි යි. අප ජීවත් වන සමාජයේ පවතින අර්බුද, දුබලකම්,
දුර්ගුණ නිරූපණය කර ඒ අනුව මනුෂ්‍ය ජීවිතය සකස් කිරීම සාහිත්‍යයෙන් සිදුවෙනවා.
විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයේ අරමුණ මිනිසාට යහමඟ පෙන්වීම යි.
අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, සිරිත් මල්දම,
බුදුගුණ අලංකාරය, ගුත්තිල කාව්‍ය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, පන්සිය පණස් ජාතක පොත
ආදී උපදේශාත්මක බෞද්ධ සාහිත්‍ය බිහි වුණේ සමාජීය අවශ්‍යතා පදනම් කරගෙන යි . තම
තමන්ගේ චරිතවල ඇති අඩුපාඩු සකසාගෙන කුසලයට නැඹුරු විය හැකි මෙම කෘති ලාංකිකයන් තම
ජීවිතය යහමඟට ගැනීම සඳහා පරිහරණය කළා. ලජ්ජා බිය ඇති ව, ශික්ෂණය ඇතිකර ගැනීම බෞද්ධ
සාහිත්‍යයෙන් ඉටු වූ මෙහෙය යි.
මහනුවර යුගයේ ලියැවුණු කෘතියක් බවට බොහෝ දෙනා විශ්වාස කරන යශෝදරාවත කාව්‍ය බොහෝ සේ
වටිනා කෘතියක් ලෙස හඳුනාගත හැකියි. එම කෘතියෙහි සඳහන් ව පවතින පති භක්තියෙහි ඇති
වටිනාකම සමස්ත කාන්තා පරපුරට ම ආදර්ශවත් බවක් එක් කරයි. යශෝදරා දේවියගේ චරිතයේ
වැදගත් අවස්ථා ඒකරාශී කොට ධර්ම ගෞරවය ගොඩනැඟෙන පරිදි සංවේදී බව ආරක්ෂා කර ගනිමින්
රචනා කර ඇත. සම්මා සම්බුද්ධත්වය තරම් මිනිසත්බව දියුණු කර ගත් කිසිදු පදවියක් ඇත්තේ
නැත. අධ්‍යාත්මික ව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා කරන ලද මහා
පරිත්‍යාගවල, පුහුණු කිරීම්වල, අත්දැකීම්වල මහා දැනුම් සම්භාරයක ප්‍රතිපලය පරම
පූජනීය වූ සම්මා සම්බුද්ධත්වය යි.
උත්තරීතර බුද්ධත්වය ලබන උතුමකුට සංසාරය පුරාවට ඒ වෙනුවෙන් ධෛර්යය දෙමින් ළඟින් සිට
අපමණ දුක සැප බෙදා ගනිමින් ස්ත්‍රියක සිටියේ නම්, ඒ එකම කාන්තා රත්නය යශෝදරාව යි.
බුදුබව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත
විවරණ ලබා ගත් දිනයේ සිට සංසාරය පුරා උප උපන් හැම ආත්මයක දී ම ඒ උතුම් කාර්යභාරය
සඳහා ම කැප වූ එකම කාන්තා රත්නය යි. පාරමී දම් පුරණ උතුමන් වෙනුවෙන් සහකාරිය වන්නට
සසර පුරා කැප වන්නට යශෝදරාවෝ පාරමී පුරා තිබෙන ආකාරය ජාතක කතා තුළින් පැහැදිලි වේ.
ඕ තොමෝ ඒ උතුම් කාර්යභාරය ඉෂ්ට කරන්නට යෙදුණේ මනුෂ්‍ය ආත්ම භාවයක උප්පත්තිය ලැබූ
කාලයේ පමණක් නොව, බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මවල උප්පත්තිය ලැබූ භවයන්හි ද
යශෝදරාවෝ එම ආත්මයේ ම ඉපිද එම ජීවිතයට ධෛර්යය ලබා දුන් අයුරු සඳකිඳුරු ජාතකයෙන්,
කලන්දක ජාතකයෙන් දැක ගත හැකියි.
කලන්දක ජාතකයේ දී ලෙහෙනියක ව ඉපදී දරුවන් සොයන්නට මුහුද ඉසින්නට බෝසත් ලේනා උත්සාහ
කළ අවස්ථාවේ ලේනිය වී ඇය ධෛර්ය ලබාදුන්නී ය. බෝසතාණන් වහන්සේ ලෙහෙනකු ලෙසත්,
යශෝදරාවෝ ලෙහෙනියක ලෙසත් ඉපදෙමින් එම ආත්මයේ දී බෝසතාණන් වහන්සේට ධෛර්යය දුන්
ආකාරය, වීර්ය වඩපු ආකාරය කලන්දක ජාතකය පුරාම දැකගන්නට පුළුවන.
උන්නෙමි අපි ඉපිද ලෙහෙනුන් කුලේ එදා
වැටුණේ ජලය මැද සමුදුරයේ බිළිඳා
දැනුණේ කරපු වීරිය ගොඩගන්නට එදා
හිමි රජුනේ මග ඇරියේ මන්ද මෙදා
සඳකිඳුරු ජාතකයේ දී ද අප මහ බෝසතාණන් වහන්සේ සඳ කිඳුරා ලෙසත්, යශෝදරාවෝ සඳ කිඳුරිය
ලෙසත් ජීවත් වූ ආත්මභාවයේ දී කිඳුරිය ලබා ගැනීම සඳහා දුෂ්ට රජකු සඳකිඳුරාට හී පහර
විදි අවස්ථාවේ දී කිඳුරිය බෝසත් කිඳුරා කන්දක් උඩට ගෙන ගොස් සත්‍යක්‍රියා කරමින්
සුවපත් කළා ය. වෙස්සන්තර ජාතකයෙහි සඳහන් ආකාරයට වනගත වන ගමනේ දී තනිවම වනගතවීමට ඉඩ
නොදී තවුස් ජීවිතයට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට මන්ද්‍රී දේවිය ද රජතුමා
අතනොහැර ම කැළයට ගොස් බෝසතාණන් වහන්සේට අවශ්‍ය පලවැල රැගෙනවිත් පෝෂණය කරමින් අවශ්‍ය
පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබා දීමට පසුපසින් ම පැමිණියා ය. යශෝදරාවෝ අතීත භවයන්හි
ගත කළ ජීවිතය පිළිබඳ විස්තර ජාතක කතා පොතේ අප්‍රමාණ ජාතක කතා ප්‍රමාණයක සඳහන් වේ.
එවැනි සුවිශේෂී ශ්‍රේෂ්ඨ චරිතයක් බෝසතාණන් වහන්සේට යශෝදරාව ලෙසින් හමුවෙයි.
සිද්ධාර්ථ කුමරා අවුරුදු දහතුනක කාලයක් යශෝදරාව සමඟ යුග ජීවිතය ගෙවන කාලය පුරාවට ඇය
ද සිදුහත් බෝසතාණන් වහන්සේ ගේ ගමනට අවශ්‍ය පසුබිම නිර්මාණය කළා ය. ඇය කිසිවිටෙකවත්
සිදුහත් කුමරා ගිහි ගෙය තුළ රඳවා තබා ගැනීමට උපක්‍රම යෙදුවේ නැත. සිදුහත් කුමරා
අභිනිෂ්ක්‍රමණය කළ අවස්ථාවන් වැළැක්වීමට අවශ්‍ය උපක්‍රම සංවිධානය කළේ නැත. ඒ වගේ ම
සිදුහත් කුමරා යන ගමන්බිමන් සොයා බලමින් මංපෙත් අවහිර කළේ නැත. සිද්ධාර්ථ කුමරා
සුවිශේෂී උතුම් පුද්ගලයකු බව අවබෝධයෙන් යුග ජීවිතය තුළදී පවා යශෝදරාවගේ හැසිරීම
තුළින් දක්නට ලැබුණ ලක්ෂණ විය.
සිද්ධාර්ථ කුමරා තුළ මහා පුරුෂ ලක්ෂණ තිබුණ බවත්, එම සියල්ල ම හොඳීන් නිරීක්ෂණය කළ
එකම කාන්තා රත්නය යශෝදරාව යි. මේ ලෝකයේ අසහාය මනුෂ්‍යයකු බවත්, අසහාය පුරුෂයකු
බවත්, යශෝදරාවෝ දැන සිටි කාරණය යි. එබඳු උතුම් මිනිසකු ගිහි දිවියේ තබා ගැනීමට
කවරාකාරයක හෝ ප්‍රයත්නයක යෙදුණ බවට යශෝදරාවන්ගේ චරිත කතා ප්‍රවෘත්තීන්හි කිසිදු
ස්ථානයක හමුවන්නේ නැත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෙස බුද්ධත්වය ලබා මහා මාලිගාවට
වැඩම කළ අවස්ථාවේ සියලු සිහිපත් කිරීම් කරනු ලැබුවේ තමන්ගේ ගමනට යශෝදරාවන්ගෙන්
ලැබුණ ධෛර්යය හා කැපවීමයි. මේ ලෝකයේ ස්වාමිපුරුෂයකුට භාර්යාවක විසින් ලබා දුන්
ධෛර්යය සහයෝගය පමණක් නොවෙයි, මේ ලෝකයේ උතුම් මහා ශ්‍රේෂ්ඨ උතුමකු නිර්මාණය කිරීමට
කාන්තාවක විසින් ලබා දුන් මහා වීර්යයක් හැටියට එය සැලකිය හැකියි.
බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළාට පසුව ද, යශෝදරාවෝ ගත කළ ශ්‍රේෂ්ඨ උතුම් ජීවිතය
යශෝදරාවත කාව්‍යයෙහි උපදේශාත්මක ලෙස විග්‍රහ කර ඇත. යශෝදරාවෝ කිසි විටෙකවත් හඩා
වැටුණේ නැත. වර්තමාන අම්මා කෙනකු දරුවෙක් සමඟ තිනි වූ විට කෙතරම් අපහසුතාවයකට
පත්විය හැකි ද? ඒ අම්මා වෛර කරන්නේ නැද්ද? දරුවාට හිමිකම් ඉල්ලා යුක්තිය පසඳලීමට
අධිකරණය වෙත යන්නේ නැද්ද? වර්තමානයෙහි දරුවකු සමඟ තනි වූ අම්මා කෙනකු විසින්
සිදුකරනු ලබන කිසිවක් සිදුකිරීමට යශෝදරාවෝ පෙළඹුණේ නැත. ඇය එම ජීවිතයට මුහුණ දුන්නා
ය. සිදුහත් කුමරා කෙරෙහි තිබූ අප්‍රමාණ භක්තිය හා ගෞරවය නිසා ම කුමරා ගියේ කොහේ ද ?
කුමන ස්ථානයකට ගියා ද? කවුරුන් සමඟ ගියා ද? කෙසේ ගියා ද? යන කරුණු කාරණා පිළිබඳ
බොහොම ගෞරවයෙන් ආදරණීය ව ළෙන්ගතුව විමසා බැලීමට කාරුණික වෙයි.
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
කොමළ අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනකද
කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා
ඒ යශෝධරාව තුළ පැවැති අප්‍රමාණ භක්තිය යි. සිද්ධාර්ථ කුමාරයාණන් කුමන ආකාරයේ
ජීවිතයක් ගත කරනවා ද? යනුවෙන් ඇය විමසා බැලූ ආකාරය යි. මන්ද්‍රි දේවිය ලෙස සිටි
ආත්ම භවයෙහි දී දරුවන් සමඟ වනගත වූවා මෙන් මේ ආත්මයෙහිදීත් රාහුල කුමරා රැගෙන වනගත
වූ වා නම්, කළ හැකි හොඳම දෙය වුවත්, එසේ කළ නොහැකි වීම යශෝධරාවට තිබුණ එකම දුකයි.
එම නිසා සිද්ධාර්ථ කුමාරා කේශ කලාපය කපා දැමු පුවත දැනගත් යශෝධරාවෝ තමාගේ කේශ කලාපය
ද කපා දැමුවා ය. කසාවත පොරවාගත් බව දැනගත් ඇය ද කසාවත පොරවා ගත්තා ය. ඉතාම රළු
ආහාරයෙන් යැපෙන බව දැනගත් ඇය රාජ භෝජනයෙන් ඉවත් ව ඉතාම රළු ආහාරවලට හුරුපුරුදු වූවා
ය. ගල් පර්වත ගස් යට නිදන බවට ආරංචිවීමත් සමඟ ඈ සිරියහනෙන් බිමට බැස බිම නිදාගැනීමට
තරම් කටයුතු කිරීම තුළින් ස්වාමි දියණියක් ස්වාමිපුරුෂයාගේ ගමනට ධෛර්යය ලබාදුන්
ආකාරය කෙතරම් උත්තරීතර ද? යන වග යශෝධරා වත කාව්‍යයෙන් ගෞරවනීය ලෙස දක්වා ඇත.
මෙවැනි දේ කියවමින් රස විඳීනවා නම්, වර්තමාන කාන්තා පරපුර නොමඟ යන්නේ නැත.
ශාස්ත්‍රීය වශයෙන් පිරිහීමක් පැවැති මහනුවර යුගයේ දී කාන්තාවට පවුල් ජීවිතය යහපත්
ලෙස ගොඩනඟන්නට උපදෙස් දෙන්නට ජන කවියාට යශෝධරා චරිතය හැර වෙනත් මඟක් තිබුණේ නැත.
යශෝධරාවගේ චරිතය ජන කාව්‍යයක් ලෙස නිර්මාණය කරන්නට එය හේතුවක් වන්නට ඇත.
හේමමාලා රන්දුනු |