විහාර මහා දේවියට
දරුවෙක් පිළිසිඳ ගනියි
විහාර මහා දේවිය මාලිගාවට යන ගමන නවතා ආපසු හැරී විහාරයට පැමිණියා ය. සාමණේරයන්
වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු ඉතා උසස් අන්දමින් සිදු කිරීමට ඇය උත්සුක වූවා ය.
සාමණේරයන් වහන්සේ අපවත් වී ටික කාලයක් ගත විණි. දරුවන් නැති දුකින් පෙළෙමින් සිටි
විහාර මහා දේවියට දරුවකු පිළිසිඳ ගත් ලකුණු දැනිණි. ඇය බොහෝ සතුටු වූවා ය. දරුවා
පිළිසිඳගෙන ටික කාලයක් ගතවුණි. විහාර මහා දේවියට පුදුමාකාරයේ දොළදුකක් ඇතිවිය.
ඒ, වෘෂභයකු පමණ වූ මී වදයක් ගෙනැවිත් එය රහතන් වහන්සේලා දොළොස් දහසකට පිළිගැන්වීමට
ය. ඉතිරි කොටස අලංකාර යහනක වැතිරී ඉහ ඉද්දර තබාගෙන තමන් විසින් අනුභව කරනු ලැබීම ය.
එය ඇයගේ පළමු ආශාව ය. (මීවදයේ ප්‍රමාණය ඉස්බක් පමණ යැයි ද ඇතැම් තැනෙක සඳහන් ය.)
තම දේවියගේ ආශාව සංසිඳවීමට රජතුමා වහා කටයුතු සූදානම් කළේ ය. මී වදයක් සොයා ගැනීමට
අණ බෙර යැවී ය.
මේ පිළිබඳ අපූරු ජනප්‍රවාදයක් ද වේ. ඒ අනුව, වෙරළාසන්න ජනපදයක ජිවත් වූ අන්ධ
මිනිසකුට ද මේ අණ බෙර හඬ ඇසුණි. ඔහු තම දරුවන්ට කතා කොට
"ළමයිනේ, අසවල් තැන තිබෙන මී ගසේ මල් පිපිණු හැටියේ ම මට කියන්නට ඕනෑ." පැවසුවේ ය.
වෙල් නියරවල දුව පනිමින් සෙල්ලම් කරමින් සිටි ළමයින්ට දිනක් මී ගසේ මල් පිපී
තිබෙනවා දකින්නට ලැබුණි. ඔවුහු වහා දිව ගොස් මේ පණිවිඩය පියාට පැවසූහ.
අන්ධ මිනිසා මී ගස අසලට ගියේ ය. දරුවන්ලවා ම ඒ මී ගසේ අත්තක අට්ටාලයක් බැඳගත්තේ ය.
අට්ටාලයට නැඟ ගත් හේ නිසොල්මනේ සිටියේ ය. මී මල් පැණි බොන්නට එන මී මැස්සන්ගේ කතා
බහට කන් දී ගෙන සිටියේ ය.
දිනක් මී ගසේ මල්වලින් රොන් ගන්නට පැමිණි කණ මී මැස්සියක සහ තවත් මී මැස්සියක් අතර
ආරවුලක් ඇති විය. මේ ආරවුලේ දී මී මැස්සියන් දෙන්නා එකිනෙකාට පුරාජේරු කියන්නට විය.
"නුඹ දන්නා තරම තමයි, අසවල් තැන උණ පඳුරේ පුරුක් නැති උස බටයක් තිබෙනවා. එහි මුල
සිට අග දක්වා ම මී වදයක් තිබෙනවා. මගේ දෑහින් ම දුටුවා".
ඒ ඇසූ අනෙක් මී මැස්සිය ද දෙවැනි නොවීය.
" එයත් මහ දෙයක් ද? වෙරළ අයිනේ ඔරු කඳක් තියෙනවා. රියන් සීයක් විතර ඇති. ඒ ඔරුකෙඳේ
ඉස්බක් තරම් මී වදයක් තියෙනවා මමත් දුටුවා."
මේ කතාව අසා සිටි අන්ධ මිනිසා දරුවන් ද සමඟ අර උණ පඳුර සොයා ගියේ ය. මී මැස්සිය කී
ලෙස ම එහි වූ උණ බටයේ මී වදයකි. ඔහු වහ වහා අනෙක් මී මැස්සිය කී ඔරු කඳ වෙත ගියේ ය.
එහි ද කී ලෙස ම මීවදයකි. අන්ධ මිනිසා මේ අපූරු පුවත වහාම රජතුමාට දැනුම් දුන්නේ ය.
ඒ අනුව දේවියගේ පළමු දොළ දුක සංසිඳවීමට රජතුමාට හැකි විය.
විහාර මහා දේවියට තවත් ආශාවක් වූයේ ය. එකල අනුරාධපුරය පාලනය කළ එළාර රජුගේ විසි මහා
යෝධයන්ගෙන් ප්‍රධානියා වූයේ දීඝජන්තු ය. ඔහුගේ හිස ගසා, එම හිසත් සමඟ ම එම හිස ගැසූ
කඩුව ගෙනවුත් එය සෝදා ගත් වතුර දීඝජන්තුගේ කඳීන් වෙන් වූ හිස මත දෙපා තබාගෙන පානය
කිරීමට ය.
දේවියට ඇති වූ තෙවැනි ආශාව එළාර රජුගේ මඟුල් පොකුණෙහි පිපුණු පස්පියුම් මල් දමක් කර
ගෙල පළඳීන්නට ය.
විහාර මහා දේවියට ඇති වූ මේ දොළ දුක්වල අර්ථය කුමක් ද කියා නිමිති දන්නා අයගෙන්
රජතුමා විසින් විමසන ලදී. විහාර මහා දේවියගේ දොළදුක සංසිඳ වුයේ නම්, දේවියට ලැබෙන
පුත්‍රයා සතුරු ද්‍රවිඩයන් විනාශ කර ලංකාව එක්සේසත් කර, සම්බුද්ධ ශාසනය ද බබළවනවා
යැයි ඔවුහු පැවසූහ. එය රජතුමාට සතුට ට කරුණක් විය.
විහාර මහා දේවියගේ පළමු ආශාව සංසිඳ විය. කාවන්තිස්ස රජතුමා දේවියගේ දෙවන හා තෙවන
ආශාවන් සංසිඳවීමේ වගකීම ජ්‍යෙෂ්ඨතම සෙනෙවියා වූ වේළුසුමන යෝධයාට පැවරුවේ ය.
රුහුණෙන් පිටිවහල් කළ වරදකරුවකු ලෙස වෙස්වළා ගත් වේළුසුමන පිහිටි රට එනම්
අනුරාධපුරයට ගොස් එළාර රජතුමා හමුවිය. ‘ "රජතුමනි, ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමේ
වරදට කාවන්තිස්ස රජතුමා විසින් මා රුහුණු රටින් නෙරපා දමනු ලැබුවා."
ඔහු රජු හමුවේ කීවේ ය.
ඔහුගේ අහිංසක ලීලාව දුටු එළාර රජු ද, ඔහු කියන්නේ ඇත්තක් යැයි සිතීය. ඔහු කෙරෙහි
විශ්වාශයෙන් රාජකීය අශ්ව ගාලෙහි සේවයට ද එක් කර ගත්තේ ය. වේළුසුමන අශ්ව ගාලෙහි වූ
වේගවත් ම අශ්වයා හඳුනා ගන්නේ ප්‍රධාන අස්ගොව්වාත් සමඟ මිත්‍ර වීමෙනි. ඒ අතරම දැනගත
යුතු සියලු රහස් දැන ගන්නට ද ඔහු අමතක නො කළේ ය.
සුදුසු අවස්ථාවක් එළඹුණි. එළාර රජුගේ මඟුල් පොකුණේ නෙළුම් මල් නෙළා ගත් වේළුසුමන,
දීඝජන්තු යෝධයාගේ අශ්වයාට සම උස ඇති වේගයෙන් දුවන්නට හැකි තරුණ අශ්වයකු පිට නැඟුණේ
ය. එළාර රජතුමාගේ මාලිගය ඉදිරියට ගියේ ය.
“මම තමයි කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා, පුළුවන්නම් මා අල්ලා සිර කර පල්ලා“
යැයි අභියෝග කළේ ය. එකෙණෙහි ම පවනට බඳු වේගයෙන් අශ්වයා පන්නවා අතරමඟ මහ වනයක සැඟවී
ගත්තේ ය. වේළුසුමන ලුහුබැඳ පැමිණියේ ඔහු බලාපොරොත්තුවෙන් සිටි දීඝජන්තු යෝධයා ම ය.
වේළුසුමන දීඝජන්තු එන පෙරමඟ සැඟවී සිට සිය කඩුව ඔහුගේ ගෙල හරහා දිගු කළේ ය. ඒ
අවස්ථාවේ දී වේගයෙන් අශ්වයා පන්නාගෙන ආ දීඝජන්තුගේ හිස කැපී අවාසනාවන්ත ලෙසින් බිම
පතිත විය. වේළුසුමන යෝධයා එම හිස ද සිය කඩුවෙහි ම අමුණාගෙන රුහුණු රට බලා අසු
මෙහෙයවී ය.
දස මසක් ඇවෑමෙන් විහාර මහ දේවිය කුළුඳුලේ පින්වත් කුමාරයෙක් බිහි කළා ය. කුමාරයාට
නම් තබන දිනයේ තමන්ගේ පියතුමා ගේ නම වූ “අභය“ කොටසත්, මාගම තමන්ගේ නායකත්වයේ පැවතීම
සංකේතවත් කිරීම උදෙසා “ගාමිණී“ යන්නත් එකතු කොට කුමාරයාට “ගාමණී අභය“ නමින් නම්
තැබිය. එහෙත් මේ කුමරා ප්‍රසිද්ධ වන්නේ “දුටුගැමුණු“ යන නාමයෙනි.
නම් තැබූ දිනයෙන් වසරකට පමණ පසු දේවියට තවත් පුතෙක් ලැබිණ. ඒ කුමාරයා ගැබ් ගත්
අවස්ථාවේ දී ද දේවියට දොළදුකක් ඇති විය. ඒ, හොඳීන් මල් පිපුණු සපු ගසක් සමීපයෙහි
අලංකාර යහනක වැතිරී මල් සුවඳ විඳීමට ය. කාවන්තිස්ස රජතුමා ඒ ආශාවත් සැපිරීය. විහාර
මහා දේවියට දෙවැනි වර ලැබුණු පුත් කුමරුට නම් තැබූවේ “තිස්ස“ නමිනි. එහෙත් කුමරු
ප්‍රසිද්ධ වූයේ “සද්ධාතිස්ස“ යන නමිනි.
දීපා පෙරේරා |