Print this Article


දුසිරිතෙන් ඈත් වනවා නම් ජීවිතය සාර්ථක කර ගන්න එය ම ආශිර්වාදයක් වෙනවා

දුසිරිතෙන් ඈත් වනවා නම් ජීවිතය සාර්ථක කර ගන්න එය ම ආශිර්වාදයක් වෙනවා

ලජ්ජා භය කියන දේ නිවැරැදි ව අ‌පේ ජීවිතවලට ගළපා ගන්න ඕනෑ. ත්‍රී රෝද රථයක් පාරට දාලා රැකියාව පටන් ගන්නා තරුණයා පවට ලජ්ජා භය ඇති කර ගෙන, සාධාරණ ව, ආගමට ලැදි ව කටයුතු කළොත් ඔහුට පුළුවන් දියුණුව කරා යන්න.

හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම අප හැමෝගෙම බලාපොරොත්තුවයි. ඒත් හැමෝටම ඒ තැනට යා නොහැකියි. ඒ නිසා ම අනිසි ක්‍රම මඟින් මුදල් උපයන්නට ඇතැම් අය උත්සාහ කරනවා. ඒ නිසා ම ජීවිතය විනාශ කර ගන්නා අවස්ථා ද බොහොමයි. බුදු දහම අගය කරන්නේ දැහැමි ධනෝපායනය යි. ආර්ථික වශයෙන් දියුණුවන ආකාරය බුදුදහමේ පැහැදිලි ව පහදා දී තිබෙනවා. ධෛර්යය , කැපවීම, නො පසුබට උත්සාහය වේ නම්, දියුණුව වෙත යන්නට පුලුවන්. ඇතැම් විට අසාර්ථක වන අවස්ථා තිබෙනවා. එහි දී ත් ධෛර්යයෙන් නැවත නැඟී සිටින්නට ඕනෑ. එවැනි සාර්ථක බෞද්ධ ව්‍යාපාරිකයෙක් අපට හමුවුණා. ඒ, ඇඟලුම් ව්‍යාපාරයක් ඉතා සුළුවෙන් ආරම්භ කොට, මේ වනවිට ව්‍යාපාර ලෝකයේ සාර්ථක නමක් දිනා ගත් බෞද්ධ ව්‍යාපාරිකයකු වූ දේශබන්ධු, වණික්පති කේ.ආර්.ජී. විජේසුන්දර මහතා . මේ, ඔහු ආ ගමන් මඟ පිළිබඳ කළ සාකච්ඡාවක්.

ගෙවුණු ළමා වියේ මිහිරි මතක වැඩියෙන් දැනෙන්නේ වැඩිහිටියෙක් වුණාම. අද ජීවිතය සාර්ථක කර ගන්න එදා ලැබුණු අත්දැකීම් මොන වගේ ද?

මම ඉපදුණේ මහනුවර ඉතා පිටිසර පිහිටි මාපාමඬුල්ල කියන ගමේ. 1954 වර්ෂයේ. බොහෝ ම ලස්සන ඒ ගමට තිබුණේ වැලි පාරක් විතරයි. හැම ගෙදරක ම වහලය පිදුරුවලින් ආවරණය කරලා තිබුණා මට මතකයි. ගමේ හැම දෙයකට ම මුල් වුණේ පන්සල. ගමේ ජීවත් වුණේ පවුල් කීපයක් වුණත් ඒ හැමෝම හරිම සමඟියෙන් හිටියා. පන්සල ඇසුරේ, ගහකොළ සෙවණේ , සතා සීපාවා අතරේ තමයි මගේ බාල කාලය ගෙවී ගියේ.

මගේ පියා ගමනා ගමන මණ්ඩලයේ රියදුරෙක්. අම්මා ගෘහණියක්. මගේ පියා එඩිතර චරිතයක් වුවත් අම්මා ඉතා ගුණගරුක නිහතමානී තැනැත්තියක්. අම්මාගේ නම ගුණවතී. මගේ මවගේ තාත්තා ඉතාමත් හොඳ දානපතියෙක්. ඒ ආභාෂය මගේ අම්මටත්, අම්මගෙන් මටත් ආ එකක් කියා මට හිතෙනවා. කුඩා කාලයේ පටන් ම අපේ මව්පියෝ ආගම දහමට අප ව ළං කළා. මට අකුරු කියවූයේ මාලගම්මන චන්දජෝති හාමුදුරුවෝ. උන්වහන්සේගේ ඇසුර මගේ ජීවිතයට ශක්තියක් වුණා. අපි හැමෝම ශ්‍රී දේවානන්ද දහම් පාසලටයි ගියේ. පාසල් අවසන් වී ගෙදර ආ පසු නැවත අපි පන්සලට ගොස් පන්සල් පොත් කියවනවා. එයින් ලැබුණ දැනුම අදටත් ප්‍රයෝජන යි.

ඔබ අධ්‍යාපනය ලැබූවෙත් මාපාමඬුල්ල ගමේ ම ද?


කේ. ආර්. ජී. විජේසුන්දර සී/ස විජය සමූහ ව්‍යාපාර ( පුද්ගලික) සමාගම අනුබද්ධිත, CIB ගාමන්ට් සහ CIB ෂොපින් සෙන්ටර් ශාඛා ජාලයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ

නැහැ. අපේ ගමට අල්ලපු ගම නුගවෙල. මම නුගවෙල මධ්‍ය විදුහලේ පළමු පන්තියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. මගේ ජීවිතයට බොහෝ ආදර්ශ ලැබුණේ පාසලෙන්. ඒ ලැබුණ පන්නරය මගේ ජීවිතය ශක්තිමත් කළා. මගේ පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙක්. මම අට වැනියා. අපි නව දෙනාට ම මව්පියන් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. මා ඇඟළුම් ව්‍යාපාරයට යොමු වුණත්, සහෝදර සහෝදරියන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා ලබා මේ වනවිට ඉතා ඉහළ තනතුරු දරමින් රටට සේවය කරනවා. මම උසස්පෙළ අවසන් කරන කාලයේ මගේ වැඩිමල් සොහොයුරා වැඩිදුර අධ්‍යාපනයට කොළඹට ආවත් ඔහු පදික වේදිකාවේ ඇඳුම් වෙළඳාමක් ආරම්භ කර තිබුණා. ඉගෙනීම අවසන් කර සිටි මම 1970 අයියාගේ ව්‍යාපාරයට සම්බන්ධවීමට කොළඹට ආවා. එතැන් සිට අති දුෂ්කර ව ආ ගමන් මඟක් තමා මට තිබෙන්නේ.

සළුපිළි ලොව ශ්‍රී ලාංකීය අභිමානය CIB කියා ඔබ‌ගේ ව්‍යාපාරය හඳුන්වන්නේ ඇයි?

ඉතාමත් අභිමානවත් ගමනක් ආ නිසා ම යි මම ඒ තේමාව යොදා ගත්තේ. අපට කුඩා කාලයේ පාසල් යාමට නිල ඇඳුමක් තිබුණේ නැහැ. කැමැති ඇඳුමක් ඇඳගෙන අප පාසල් ගියා. එවැනි පරිසරයක ජීවත් වූ මම 2018, 2019, 2020, 2021 වර්ෂ සඳහා ස්ලිම් නීල්සන් ජනතා සම්මානවලින් පිදුම් ලැබුවා. ළමා කාලයත් සමඟ බලද්දී අද මා සිටින තැන ගැන මට තිබෙන්නේ අභිමානයක්. සාධාරණ මිලකට අපි රෙදිපිළි සපයනවා. එය අභිමානයට හේතුවක්. අභිමානය කියන වචනය යොදන්නට උරුමයක් තිබෙනවා කියා මට හිතෙනවා. දුප්පතාගේ දුක දන්නා මම දේශීය සංස්කෘතියක් යටතේ දේශීය ආර්ථිකයක් දියුණු කිරීමේ වටිනාකම හඳුනාගෙනයි ඉන්නේ. බිම් මට්ටමේ සිට ලැබුණ අත්දැකීම් නිසා හැම දෙයක් ම සාධාරණ ව ඉටු කරන්න මම උත්සාහ කරනවා. ඇඳුම තුළින් අභිමානවත් බවක් පෙන්විය හැකියි. මම මේ ව්‍යාපාරය පටන් ගෙන වසර තිස් ගණනක් වෙනවා. එතැනින් පසු ඛ්ධ්ඕ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කළා. රටට ගැළපෙන ඇඳුම් මෙරට දී ම නිෂ්පාදනය කළා. ඒ නිසයි CIB ආයතන බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත ව ගියේ. ඒ ඒ පළාත්වල අපේ ආයතන ඉදිවෙද්දී ඒ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට අප රැකියා ලබා දෙනවා. අප සළුපිළි ලොව වෙනසක් කළා කියන අභිමානය මා තුළ තිබෙනවා.

ඔබගේ ව්‍යාපාරයට බුදුදහම තුළින් ලැබෙන අවවාද , අනුශාසනා සම්බන්ධ කර ගන්නේ කෙසේද? සේවක පිරිස් හා ඔබ අතර තිබෙන්නේ මොනවගේ සම්බන්ධතාවක් ද?

මට ගමේ විහාරයෙන් ලැබුණු ආභාෂය කොළඹ දී ලැබුණේ මහරගම ධර්මායතනය තුළින්. අපවත් වී වදාළ මඩිහේ මහා නාහිමියන්ගේ ඇසුර මගේ ජීවිතය වෙනස් මඟකට යොමු කළා. මිනිසා නොහදා රට හදන්න බැහැ කියන උන්වහන්සේගේ පණිවිඩය යි මම ක්‍රියාත්මක කරන්නේ. පොඩි කඩ කාමරයක සේවකයන් තුන් දෙනකුගෙන් ආරම්භ කළ ඒ ව්‍යාපාරය තුළ මේ වනවිට තුන් දහසකට අධික කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ සියලු ම දෙනා ව්‍යක්තයි. විනීතයි. විශාරදයි. මහා නාහිමිය‌න්ගේ සංකල්පය යි මා මෙහිදී උපයෝගි කර ගත්තේ. ඉතාම පොඩි තැනින් පටන් ගෙන, ඉතා ම ඉහළ තනතුරුවලට අද අපේ ආයතනයේ නිලධාරීන් පැමිණ සිටිනවා. අප ආයතයේ සියලු දෙනා පංච දුෂ්චරිතයෙන් තොරයි. පන්සිල් සුරකින පිරිසක්. දුම්වැටි, මත්ද්‍රව්‍ය, බොරුව, කේළම, වැරැදි කාමය ආදී සියල්ල ම ආයතය තුළ තහනම්. අපේ සෑම ශාඛාවක් ම විවෘත කිරීමට පෙර පන්සිල් සමාදන් වෙලා, දෙවියන්ට මව්පියන්ට පින් අනුමෝදන් කරලයි වැඩ පටන් ගන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැළපෙන වාණිජ සංස්කෘතියකට ළඟා වූ ආයතනයක් ලෙසයි මට දැනෙන්නේ. එයයි ධර්මපාලතුමාගේ චින්තන ය. නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ පිරිසක් නිසා අපි ඒ වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කරමින් ඉන්නේ. එදා සිට මේ වන තුරු මම ධර්මායතනයේ සිල් සමාදන් වෙනවා. අපේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ මව්පියන් විටින් විට දඹදිව වන්දනා කිරීමේ වැඩසටහනක් ද අපි ක්‍රියාත්මක කළා. සෑම දෙයක් ම ආගමට මුල්තැන දෙමින් සිදු කරන්නේ.

කොරෝනා වෛරසය ලෝකය ම අර්බුදයකට ඇද දමුවා. මේ වසංගතය හමුවේ සේවක සේවිකාවනුත් රැක ගෙන එයට සාර්ථක ව මුහුණ දෙන්නට හැකි වුණා ද?

මෙවැනි වසංගතයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය යි. අපට ඒ සම්බන්ධයෙන් කළයුතු දේ ගැන අත්දැකීමක් තිබුණේ නැහැ. ඒත් ව්‍යාපාර ජීවිතයේ අවුරුදු 47 ක අත්දැකීම නිසා එයට සාර්ථක ව මුහුණ දුන්නා. සේවක පිරිස රැක ගනිමින් අප වගකීමෙන් කටයුතු කළා. ව්‍යාපාරය රැක ගැනීම කළ යුතු ව තිබුණා.

එය අභියෝගයක්. පළමු කොවිඩ් රැල්ලේ දී රට වැහුවා. එහි දී අප සේවක පිරිස රැක ගත්තා. මානව සම්පත් අංශය සියලු සේවකයන් ගැන සොයා බැලුවා. සේවකයන් වෙනුවෙන් කොවිඩ් මධ්‍යස්ථානයක් පටන් ගෙන අපේ සේවකයන් රැක ගත්තා. ඒ වගේ ම රෝග උවදුරෙන් පීඩාවට පත් විහාරස්ථාන , රෝගයට පත් වන අය සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සහ ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදී උපකාර ලැබිය යුතු සියලුම දෙනා සොයමින් ගොස් ඔවුන්ට අවශ්‍ය සියලු දේ සපයා දුන්නා.

ඒ වගේ ම අපේ ශාඛා තිබෙන පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් සමඟ එක්ව පවුල් 100 තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර මල්ලක්, එළවළු මල්ලක් ආදිය ලබා දුන්නා. එලෙස ම ලංකාවේ බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන ඇඳුම් ඇතුළු උපකරණ ලබා දීමට කටයුතු කළා.

අද තරුණ පරපුරේ සමහර කොටසක් වේගයෙන් දුෂ්චරිතයට ඇදෙමින් සිටිනවා. වේගයෙන් මුදල් ඉපයීම ඔවුන්ගේ අරමුණ යි. මේ අයට දෙන්නේ මොන වගේ අවවාදයක් ද?

තමන්ගේ හැකියාව, දක්ෂතාවය තමන් නිවැරැදි ව හඳුනා ගන්න ඕනෑ. සියලු දෙනාට ම වෛද්‍යවරු හෝ ඉංජිනේරුවන් වෙන්න බැහැ. අපේ රටට හොඳ නිෂ්පාදකයෝ අවශ්‍ය යි. මගේ ජීවිතයේ මම කොළඹට එනවිට පෑනක් සහ පොතක් පමණයි තිබුණේ. එහෙත් මම අද ඉහළ ම ස්ථානයක ඉන්නවා. ඒ මගේ කුසලතාවය මම හඳුනාගත් නිසයි. මගේ පවුලේ අය එක් එක් අංශ තෝරා ගනිද්දී මම ඇඟළුම් ව්‍යාපාරය තෝරා ගත්තා. මම මහ පාරේ, පොළවල් ගානේ ගිහින් රෙදි විකුණුවා. මම ඒකට ලජ්ජා වුණේ නැහැ. අද සමහර තරුණ දරුවො හරි දේ කරන්න ලජ්ජයි. ඒත් වැරැද්දට ලජ්ජාවක් නෑ. ලජ්ජා භය කියන දේ නිවැරැදි ව අ‌පේ ජීවිතවලට ගළපා ගන්න ඕනෑ. ත්‍රී රෝද රථයක් පාරට දාලා රැකියාව පටන් ගන්නා තරුණයා පවට ලජ්ජා භය ඇති කර ගෙන, සාධාරණ ව, ආගමට ලැදි ව කටයුතු කළොත් ඔහුට පුළුවන් දියුණුව කරා යන්න. මගේ තරුණ කාලේ නුගේගොඩ පදික වේදිකාවේ වෙළෙදාම් කළ බොහෝ තරුණයන් සවසට මත්පැන් පානය කළා. ඔවුන් උපයන දේ ඉතිරි කර ගත්තේ නැහැ. මම හිතන්නේ ජීවිතවලට ඉලක්කයක් තිබෙන්න ඕනේ. එයට කාලයක් ගතවේවි. පියවරෙන් පියවර ඉදිරියට යන්න. මෙහි දී අරපිරිමැස්ම ප්‍රධාන වෙනවා වගේ ම උත්සාහයත් අවශ්‍ය වෙනවා. අද බොහෝ තරුණයන් එක දෙයක් පටන් ගෙන ටික කාලයකින් එය අතහැර දමා තව දෙයකට යොමු වෙනවා. එය සාර්ථක බවේ ලක්ෂණයක් නොවෙයි. තමන් කරන දේ විශ්වාසයෙන් නිවැරැදි ව , උත්සාහයෙන්, වීර්යයෙන්, සිහියෙන්, කැප කිරීම මත කළයුතු දෙයක්. දැන් නිදිමත යි, බඩගිනියි, පිපාස යි, මහන්සි යි, සීතල යි, රස්නේ වැඩියි සිතමින් කාලය අපතේ නො හැර දුක, සැප සම සේ විඳ දරා ගෙන ආරම්භ කරන දේ හරියට කරන්න ඕනෑ. සාර්ථක මිනිසුන් ගිය මඟ සොයන්න ඕනෑ. ඒ ජීවිත තමන්ට ගළපා ගන්න උත්සහ කරන්න ඕනෑ.

හැමෝට ම වෘත්තිකයෙක් වන්නත් බැහැ. ව්‍යවසායකයෙක් වෙන්නත් බැහැ. තමන් කරන දේ තේරුම් ගෙන අවතීර්ණ විය යුතු වෙනවා. මට කොළඹ බිම් අඟලක්වත් තිබුණේ නැහැ. ඒත් මට අද බොහෝ දේ උරුමයි. අක්කර 18 ක් බෞද්ධ මධ්‍යස්ථානවලට පූජා කර තිබෙනවා. දියුණු වීමේ දී අවංකබව, නිහතමානීකම, කළගුණ සැලකීම අවශ්‍ය යි. වංක, කපටි පුද්ගලයා ඉක්මණින් පිරිහෙනවා. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව මගේ ජීවිතයට බද්ධ වෙලා තිබෙන්නේ. සතරසංග්‍රහ වස්තු මම ජීවිතයට ගලපාගෙන තිබෙන්නේ. බොළඳ, බාල වගේ ම රළු චරිතවලට වැඩි දුරක් යන්න බැහැ. කවදා හෝ අප මේ සියල්ල අතහැර යා යුතු වෙනවා. එදාට තමා ගැන තමාට ලස්සන මතකයක් තිබෙනවා නම් ඔහු මෙලොව වගේ ම පරලොවත් දිනුවා වෙනවා.

රන් බඳනෙහි කෙසර
තෙල් අඩු නොවී පවතින මෙන්
උතුමන් හද සපිරි
කුළුණු මෙත් අඩු නොවී පවතී

(රන් භාජනයක දැමූ සිංහ තෙල් අඩු නොවී පවතින්නාක් මෙන් සත්පුරුෂයන්ගේ හදවත තුළ පිරී පවතින කරුණා මෛත්‍රී ගුණ ද අඩු නොවී පවතින්නේ ය. ලෝකෝපකාරය)