Print this Article


උදාර චරිතයක හිමිකාරිනියක් වන්නට විශාඛා චරිතය කියවන්න

උදාර චරිතයක හිමිකාරිනියක් වන්නට විශාඛා චරිතය කියවන්න

පිඬුසිඟා වඩින භික්ෂු නමකට කිසිවක් නොදී නුදුටුවා සේ ආහාර බුදීමෙහි යෙදී සිටි සිය මාමණ්ඩිය “පුරාණයක් කනවා“ යයි කරන ලද ප්‍රකාශය ඇසීමෙන් දැඩි සේ කෝපාවිෂ්ට විය.

බුද්ධකාලීන සමාජයේ වාසය කළ කුල කාන්තාවක වූ විශාඛාවගේ පරමාදර්ශී චරිත ලක්ෂණ වර්තමාන සමාජයට යහපත් මඟ පෙන්වීමක් ලබා ගත හැකි සිද්ධි රාශියකින් සමන්විත වේ. සත්හැවිරිදි වියෙහි දී විශාඛාව සෝවාන් තත්ත්වයට පැමිණි බව කියැවේ. “ඇගේ චරිතයට අනුකූල වන සේ බුදුරදුන් විසින් දෙසන ලද දහම් කතා අසා සෝතාපත්ති ඵලයෙහි පිහිට බව‘ ධම්මපදට්ඨ කතාවෙහි සඳහන් වේ.

පසළොස් හැවිරිදි වන විට විශාඛාව කේශ කල්‍යාණය, මාංශ කල්‍යාණය, දන්ත කල්‍යණය, ඡවි කල්‍යාණය සහ වය කල්‍යාණය යන අංග පහෙන් සම්පූර්ණ වූ පංච කල්‍යාණියක වූවා ය. ඇය රූපයෙන්, ධනයෙන්, ගුණයෙන් හා නැණයෙන් සමකාලින කාන්තාවන් අභිබවා යමින් බුද්ධ ශාසනයෙහි කීර්තිමත් චරිතයක් ලෙස අද දක්වා ජිවමාන වීම සඳහා සුදුසු වූ පෙර පින් මහිමයෙන් සන්නද්ධ වූ බව ද විශාඛා වස්තුවෙන් හෙළි කෙරේ.

තමා පිළිබඳ විශ්වාසය හා අභිමානය

පසළොස් හැවිරිදි වයසේ යෞවනික වූ විශාඛාව ඇගේ තාරුණ්‍යය මෙන් ම දෙමවුපියන් කෙරෙහි වූ කුල ගෞරවය ද සිහියේ තබාගෙන ක්‍රියා කිරීමට සමතියක් වූ වා ය. මීට අදාළ සිද්ධිය සංවාදමය ස්වරූපයක් ගනී. සිය යෙහෙළියන් සමඟ දිය නෑමට යන අතරමඟ දී පතිත වූ මහා වැස්සෙන් බේරීම සඳහා සිය යෙහෙළියන් සෙවණක් කරා දිව ගියත් විශාඛාව සුපුරුදු ගමනින් ම පියවර තබමින් එහි පැමිණියා ය.

අලසකම නිසාම ඈ සිය වස්ත්‍රාභරණ පිළිබඳ තැකීමක් නොකර ඒවා වැස්සෙන් තෙත් බරිත වීමට හැරියේ ඇයි දැයි අමුත්තන් විමසූ විට ඇගෙන් ලැබුණු පිළිතුරෙන් කරුණු දෙකක් විද්‍යාමාන වෙයි. එනම් යෞවනියකගේ හැදියාව හෙවත් චරිතවත් බව සහ බාහිර අලංකාරය හා එහි ඇගයුම පිළිබඳ වූ ඇගේ සුවිශේෂී තක්සේරුවයි. කාන්තාවක් සිය රූ සපුව පිළිබඳ සුපරික්ෂාකාරී විය යුතු ය. මන්ද එය ඇය සතු වටිනා දායදයක් බැවිනි. අපරික්ෂාකාරී ව දුව පැන යාමේ දී පා පැකිලී වැටීමෙන් ඈට අනතුරක් සිදුවිය හැකි ය. විකිණීමට ඇති භාණ්ඩයක් පළුදුවීමෙන් එය නොවටිනා භාණ්ඩයක් බවට හෑල්ලුවේ. දිවීම නිසා සිදුවිය හැකි අනතුරක් වළක්වා ගැනීම සඳහා සුපුරුදු පා ගමනින් ම සෙවණ කරා පියමැන්න බව ඇගේ පහදා දීමයි.

මෙයට තවත් කරුණක් ද ඇය එක් කළා ය. එනම්, කාන්තාවකට හිමි සමජ ගෞරවය පළුදු කිරීමට ඇය නොකැමති වූ බවයි. දිවීමෙන් හෙවත් කායික අසංවරයෙන් සමාජයේ අවමානයට පත්වන්නන් අතර කාන්තාව ද එක් අයෙකි.

“මැය පිරිමියකු මෙන් හැසිරෙනවා ය හෙවත් දුව පැන නටනවා ය“ යැයි සමාජය විසින් කාන්තාව ගර්හාවට ලක්කරනු ලැබීමෙන් වැළැකී සිටීමට ඈ උත්සාහගත් බවයි.

වර්තමාන යෞවනියට යෞවනත්වයේ අභිමානය පිළිබඳ මා හැඟි ආදර්ශයක් මෙම සිදුවීම ඇසුරින් ප්‍රකට කර පෙන්වයි. සමාජ සම්ප්‍රදායන් විසින් රැක දී ඇති කාන්තා ගරුත්වය නිසි අවබෝධයෙන් රැක ගැනීමට විශාඛාවගේ සෝවාන් නුවණ ඇය මෙහෙය වූ බව මේ අනුව සනාථ කළ හැකි ය.

තැනට ඔබින ලෙස හැසිරීම

විවාහ ප්‍රාප්ත වීමට බලාපොරොත්තු වන තරුණ දියණියක මෙන් ම විවාහයෙන් පසු සිටු බිරිඳක වශයෙන් ද විශාඛාව සිය වගකීම් ඉටුකිරීමේ දී මනා සංවිධාන ශක්තියක් ඈ සතු බව ප්‍රකට කළා ය. විවාහ මංගල උත්සවය සංවිධානය කිරීමේ දී සමාව අයැදිය යුතු කිසිදු ප්‍රමාද දෝෂයක් සිදු නොවිමට ඈ වගබලා ගනී. විවාහ මංගල උත්සවය සඳහා රාජරාජ මහාමාත්‍යවරුන්ගේ සිට ඇත්-අස් රිය ධාවකයින් දක්වා සියලු දෙනා ම සහභාගි වූ අතර ඉතා පහළ මට්ටමේ සේවකයින් පවා සතුටු වන ලෙස කටයුතු සංවිධානය කිරීමේ ශික්ෂණය ඇය සතු විය.

“අපි විශාඛාවගේ මංගල උත්සවයට ගොස් කිසිවක් නොලැබීමු. ඇතුන් අසුන් බලා ගැනීමෙහි ම යෙදී සිටියෙමු‘. වශයෙන් අවලාදයක් නැඟීමට ඇති ඉඩකඩ අහුරා දමා සියලු දෙනාගේ සතුටට හේතු වන ලෙස කටයුතු සංවිධානය කිරීම සඳහා වූ දක්ෂතාවය සහ සංයමය ඇගේ චරිතය තුළින් ප්‍රකට වේ.

විවාහයෙන් පසුව සිරිත් පරිදි නැදිමයිලනුවන්ගේ නිවසට පැමිණෙන විශාඛාව එම නගරයේ සියලු වැසියන් හා මිතුරු සබඳතාවන් ඇති කර ගැනීමට නිහතමානී වූවා ය. ඒ සඳහා ඇය විවාහ මංගල්‍යය වෙනුවෙන් ලැබුණු පුද පඬුරු නුවර වැසියන් සමඟ බෙදා හදා ගැනීමට සිතූ අතර එසේ තෑගි බෝග යැවීමේ දී ප්‍රියමනාප වචනවලින් ඇමතීමෙන් ඔවුන්ගේ සිත් දිනා ගැනීමට සමත් වූවා ය.

“මෙය මාගේ මෑණියන්ට ය, මෙය පියාණන්ට ය, මෙය සොහොයුරාට ය, මෙය නැගණියට ය, ආදී වශයෙන් නගරයේ සියලු දෙනා ඥාතීත්වයෙන් ඇමතීමෙන් ඇය සමානාත්මතා ගුණය වැනි උදාර චරිත ලක්ෂණ පිළිබිඹු කළා ය.

උපායශීලි බව හා තැනට සුදුසු නුවණ

බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු විශාඛාව විවාහප්‍රාප්ත වී පැමිණියේ නිගන්ඨ භක්තික පවුලක් වෙතටයි. මෙම සහවාසය උපායශීලී ව පවත්වා ගැනීමට පමණක් නොව, තීක්ෂණ බුද්ධිය මෙහෙයවා සිය මයිලණුවන් සහිත පවුලේ සාමාජිකයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු කරවා ගැනීමට ද ඇය සමතියක් වූවා ය. මේ පිළිබඳ පසුබිම් පුවත චමත්කාරජනක කතාවකි. පිඬුසිඟා වඩින භික්ෂු නමකට කිසිවක් නොදී නුදුටුවා සේ ආහාර බුදීමෙහි යෙදී සිටි සිය මාමණ්ඩිය “පුරාණයක් කනවා“ යයි කරන ලද ප්‍රකාශය ඇසීමෙන් දැඩි සේ කෝපාවිෂ්ට විය. ඒ පිළිබඳව කරුණු විමසීමේ දී ඇගේ පැහැදිලි කිරීම වූයේ “මගේ මාමණ්ඩිය දැන් කිසිදු පිනක් නොකරයි. අතීතයේ කරන ලද පින් නිසා ලැබුණු සම්පත් පමණක් අනුභව කරමින් සිටී“ යන්නයි. මෙම පැහැදිලි කිරීමෙන් කරුණු මනාව තේරුම් ගත් මයිලණුවන් ඇගේ පිරිපුන් බුද්ධි මහිමයට ගරු කිරීමක් වශයෙන් ඇය මවු තනතුරින් සම්මානනය කිරීමට පවා පෙළඹිණි. “මිගාරමතා“ නමින් ප්‍රකට වූ ඇය මිගාර සිටුතුමා විසින් සිය ලේලියට දැක්විය හැකි උසස් තනතුරින් පුදනු ලැබීමට සමත් වූවා ය.

විශාඛාවගේ තීක්ෂණ බුද්ධිය මෙන් ම උපායශීලී බව ද සෝවාන් චරිතයක උතුම් ගුණාංග විදහාපෑමට ප්‍රමාණවත් බවට මෙය කදිම නිදසුනකි.

මෙහි ඉතිරි කොටස වප් අව අටවක පෝදා 28 පත්‍රයේ පළවේ