Print this Article


චීවර මාසය ඇරඹෙන අසිරිමත් වප් පොහෝදා

චීවර මාසය ඇරඹෙන අසිරිමත් වප් පොහෝදා

"මේ අසිරිමත් සිදුවීම් මැද අප්‍රමාණ බුද්ධ ශ්‍රීයෙන් තථාගතයන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළහ. ඒ අසිරිය දුටු සියල්ලෝ ම මතු බුදු වන්නට ම ප්‍රාර්ථනා කළහ."

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. කඨින චීවර පොහොයෙන් ඇරඹෙන හෙයින් මේ මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක්ව ඇත. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කර ගත් අභිමත් දිනක දී හෝ, වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම හෝ සිදු කළ හැකි ය. එහෙත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයක් සිදු කළ හැකි වන්නේ එක් වසරක් තුළ, එක් තැනෙක දී, එක් වරක් පමණෙකි.

දේවාවරෝහණය

සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයන් ය. දසත පැතිරුණු සාධු නාදයන් ය. මේ අසිරිමත් සිදුවීම් මැද අප්‍රමාණ බුද්ධ ශ්‍රීයෙන් තථාගතයන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළහ. ඒ අසිරිය දුටු සියල්ලෝ ම මතු බුදු වන්නට ම ප්‍රාර්ථනා කළහ. දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙන් හා බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසඳුම් සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පොහොය දිනෙක ය.

දූත පිරිසක් දඹදිවට

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම් පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේ ත් වප් පොහොය දිනෙක ය. එම දුත චාරිකාවෙහි අරමුණ වූයේ සංඝමිත්තා මහරහත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම යි.

ථූපාරාම විනය සංගායනාව

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුලු මහ රහතන් වහන්සේලා සැට අට නමක් දහසක් භික්ෂූන් වහන්සේලා ද සමඟ ථූපාරාම විහාර මධ්‍යයට රැස්වූහ. එහිදී වප් පුර පසළොස්වක පොහෝ දා විනය සංගායනාව ආරම්භ කළ හ. මෙම ථූපාරාම විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සූදානම් කළේ දේවානම්පියතිස්ස මහ රජු ය.

වස්සාන සමය

දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට සෘතු තුනක් පැවතිණි. වසන්ත සෘතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක සෘතු සතරක් ලෙස ද දැක්වෙයි. වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටිති. සෑම වසරක ම ඇසළ පොහෝ දා සිට වප් පොහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්වසයෙනි. වප් පුර පසළොස්වක පොහෝ දා සිට ඇරඹෙන කඨින මහා පින්කම් සිදු කළ හැකි අවසාන දිනය වනුයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි.

පරම අවිහිංසාවාදය

බුද්ධ කාලීන දඹදිව සමාජ පරිසරය තුළ විවිධ ආගම් හා දර්ශනවාදයන් ඉගැන් වූ ආගමික නායකයින් විශාල සංඛ්‍යාවක් දැකගත හැකි විය. ඒ සියලු ඉගැන්වීම් කැටිකොට ගත් කල දෙ සැටක් මිත්‍යා දෘෂ්ටීන් පැවතිණ. එකී ආගමික නායකයින් අතර වඩාත් ප්‍රකට ව හා පිරිස් බලයක් සහිත ව සිටියේ ෂට් ශාස්තෘවරුන් ය. ඔවුන් අතර ද වඩාත් ම ඉදිරියෙන් සිටියේ නිගණ්ඨනාථපුත්තතුමා ය. ඔහු ගේ ප්‍රධාන ඉගැන්වීම වූයේ “පරම අවිහිංසාවාදය“යි.

ගහකොළ මත සේ ම තණකොළ මත ද ඒකීන්ද්‍රිය ප්‍රාණයක් ඇතැයි ඔහු ඉගැන්වී ය. ගස්වල අතු රිකිලි පවා කඩා දැමීම පාපයක් යැයි සැලකී ය. එසේ ම ජලය තුළ ද ක්ෂුද්‍ර ජීවීන් සිටින බව පහදා දුන් ඔහු වැසි ජලය හා තණ කොළ පයින් පෑගීම ද බලවත් පාපයක් සේ දුටුවේ ය. මෙම ඉගැන්වීම තුළ නිගණ්ඨනාථපුත්තතුමා ස්වකීය ශ්‍රාවකයන්ට හා අනුගාමිකයන්ට අධික වැසි සහිත වස්සාන සමය තුළ ගමන් බිමන් තහනම් කොට තිබිණ. මෙම පරම අවිහිංසාවාදී ඉගැන්වීම එකල දඹදිව වැසියන් ගේ සිත් තුළට තදින් ම කිඳා බැස තිබූ හෙයින් මෙකී ප්‍රතිපත්ති ඔවුහු දැඩි ව අනුගමනය කළහ.

වස්සානයේත් ධර්ම චාරිකා

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්හට දේශනා කර තිබුණේ ජීවිතයේ පරම සංසඳීම වූ නිවන සාක්ෂාත් කර ගැනීමට සේ ම අන් ජනතාවට ද එම මාර්ගය කියාදීම සඳහා අප්‍රමාදී ව ක්‍රියා කරන ලෙස යි. ප්‍රථම රහතන් වහන්සේලා සැට නම අරභයා දුන් ‘චරථ භික්ඛවෙ චාරිකං...‘ යනාදී එක් උදාහරණයකි. මෙම අවවාදය මැනවින් ක්‍රියාත්මක කළ භික්ෂුන් වහන්සේලා අව්ව, වැස්ස, රාත්‍රිය, දවාල සහ වෙහෙස මහන්සිය ගැන නොතැකූ අතර හේමන්තය ද, ගිම්හානය ද, වස්සානය ද යන කරුණු කෙරෙහි ද සැලකිල්ලක් නො දැක්වූහ. ඒ අනුව වස්සාන සමය තුළ දී භික්ෂූන් වහන්සේලා වැසි ජලය හා තණකොළ පාගමින් ගම්, නියම්ගම් හා නගර සිසාරා ධර්ම දූත චාරිකාවෙහි නිරත වූ හ. මෙම ක්‍රියාව පරම අවිහිංසාවාදී ප්‍රතිපත්තියකින් යුක්තව ජීවත් වූ ජනතාවක ගේ දැඩි විමතියකට හේතු වුණි.

මෙම කරුණු මත පිහිටා ඇතැම් හු භික්ෂූන් වහන්සේලාට අවමන් කළ හ. නින්දා කළ හ. දොස් කීහ. දිගින් දිගට ම මෙම බස් කන වැකීමත් සමගම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙය සැළකර සිටිය හ.

වස් එළඹීම

පසුව බුදුරජාණන් වහන්සේ මේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට මෙසේ දේශනා කළහ.

අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං

මහණෙනි, මම වස් එළඹෙන්නට අනු දනිමි. එකල්හි ‘කවදා වස් එළඹිය යුතු දැ‘යි විමසීමට භික්ෂුන් වහන්සේලාට සිත් වූ හෙයින් එය බුදුරදුන් වෙත සැළකර සිටියහ. එවිට බුදුරදුන් වදාළේ මෙසේ ය.

අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං

මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි.

දුෂ්කර ගමනක්

පාවා නුවර භික්ෂූන් වහන්සේලා තිස් නමක් සාකේත නුවර වස් වසා සැවැත්නුවර බලා වැඩම වීමේ දී බලවත් දුෂ්කරතාවකට පත් වූ හ. එනම් වැස්සෙන් තෙමී දියෙන් තෙත් ව ගිය සිවුරුවලින් යුතුව ගොහොරු මඩෙහි ගමන් ගැනීමට සිදුවීමයි. සැවැත් නුවර ජේතවනාරාමයට වැඩමවන විට උන්වහන්සේලා ක්ලාන්ත ස්වභාවයක් පෙන්නුම් කළහ.

කඨින චීවරය

මින් මතු සියලු ම භික්ෂූන් වහන්සේලාට මෙවන් දුෂ්කරතාවන් හි දී තරමක පහසුවක් ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ කඨින ස්තරණ විනය කර්මය මෙසේ අනුදැන වදාළහ.

අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං

භික්ඛූනං කඨිනං අත්ථරිතුං

මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි.

මෙතැන් සිට භික්ෂූන් වහන්සේලා ට අතිරේක චීවරයක් ලෙස කඨින චීවර පරිභෝග කිරීමට අවස්ථාව උදා වුණි. භික්ෂුන් වහන්සේලා සහ සැදැහැවත් ගිහි සමාජ අතර මනා සබැඳීයාවක් ඇති වූයේත්, ආරාමික දිවිපෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේත් වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙස යි.