Print this Article


සැරද සුනෙත්පති අභයතිස් මාහිමි

සැරද සුනෙත්පති අභයතිස් මාහිමි

ජීවිතයේ බල දශකයේ මධ්‍ය ලක්ෂය පසු කරමින් සිටින සුනෙත් මහදෙව් රාජමහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ ජන්ම දිනය, අප සුරත පන්හිඳ කරා යොමු කරවන්නේ නිරායාසයෙනි. ශ්‍රී ලාංකීය භික්‍ෂු අධ්‍යාපනයේ ඉන්ද්‍රඛීලය බඳු විදුදය මහ පිරිවෙනෙහි දී, බාල ළපටි හෙරණ වියෙහි සිට මේ දක්වා බැඳුණු මිත්‍ර සන්ථවය මුල සිට අගටත්, අග සිට මුලටත් මා මනස තුළ චිත්‍රණය වෙයි.

විද්‍යෝදය මහ පිරිවෙනෙහි ශිෂ්‍ය භික්‍ෂුවක වශයෙන් උන්වහන්සේ ගත කළ හෙරණ විය ද සංයත, දමිත, නිපුණතාවන්ගෙන් සුසැදි එකක් ම විය. නවීන පන්තියේ සිට විද්‍යෝදය පිරිවෙන් අවසානය දක්වා අනුපිළිවෙලින් පන්තියේ ප්‍රථමයා ලෙස විශිෂ්ට දස්කම් දක්වමින් සපැමිණි ගමන් මගෙහි දීප්තිය ප්‍රතීයමානනය වූයේ දක්‍ෂතම ශිෂ්‍යයා විසින් උරුමකම් කියනා ස්‍යාමරාජ ත්‍යාගයෙන් අභිසෙස් ලැබීමෙනි. එහි ම දිගුවක් ලෙසින් උසස් පෙළ විභාගය ඉහළ ම සාමාර්ථ හිමිකර ගනිමින් සමර්ථ ව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවේ සරසවිය තුළ සුපසන් විද්‍යාර්ථියකු ලෙසිනි. ශාස්ත්‍රපති උපාධියත්, දර්ශනපති උපාධියත්, අනුපිළිවෙලින් අත්පත් කර ගනිමින්, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (දර්ශනශූරී) උපාධිය දිනා ගත්තේ භද්‍ර යෞවනයේ සිටිය දී ම ය. උන්වහන්සේගේ ප්‍රථිබලසම්පන්න ශාස්ත්‍රෝන්නතිකාමීත්වය එමගින් මොනවට ප්‍රකට වෙයි.

ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීමත් සමග ම පැපිළියාන සුනේත්‍රා මහා දේවී රාජමහා පිරිවෙන් විහාරස්ථානයෙහි අධිපතීත්වය භාරගත් තරුණ යතිවරයාණන් ගුණ - නැණ බෙලෙන් අනූන ව සිටීම දායක කාරකාදීන්ගේ පුණ්‍ය මහිමයක් විය. ශාස්ත්‍රෝද්ග්‍රහණයේ චූඩාමාණික්‍යයක් බඳු වූ උන්වහන්සේ විහාරාධිපතීත්වයෙහි දී ශාසන භාරධාරී ගුණය ම ප්‍රකට කළහ. තත්කාලීන ව මඳක් පසු බා තිබූ සුනේත්‍රා මහා දේවී පිරිවෙන හසල ගුරු මඩුල්ලකින් ද, සුපේෂල ශික්‍ෂාකාමී ශිෂ්‍ය භික්‍ෂූන්ගෙන් ද, සිප් සතර හැදෑරීමෙහි සමත් ගිහි ශිෂ්‍යයන්ගෙන් ද පරිපූර්ණ වූයේ දිනිඳු දුටු නෙළුම් කැකුළක් විකසිත වන්නාක් මෙනි. මහල් පහකින් සමන්විත ශිෂ්‍ය නේවාසිකාගාරය, සම්මන්ත්‍රණ ශාලාව, පැපිළියාන මංසන්ධිය පමණක් නොව දුටු දුටු දනන් සිත් ශ්‍රද්ධාවෙන් ඔකඳ කරවන තේජවත් කුඹුක් දැව කැටයමින් ප්‍රභාවිත අභිනව සම්බුද්ධ මන්දිරය, ප්‍රතිසංස්කරණය වූ ධර්මශාලා මන්දිරය හා ආවාස ගෘහය, විහාරස්ථානය වටා ඉදි වූ ප්‍රාකාරය හා පිවිසුම් ද්වාරය ආදිය නෙත ගැටෙන කාගේත් ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ නිර්මාණයන් ය.

දිවයිනේ නොයෙක් දිශාවන්ගෙන් වැඩමවන ප්‍රථිබල සම්පන්න ව්‍යක්ත විශාරද යතිවරයන් වහන්සේලා පොහෝ දින සීලභාවනා පින්කම් මාලාව අර්ථවත් කරති. උපෝසථ දිනයන්හි ජනතා ආකර්ෂණය දිනා ගත් විද්‍යුත් මාධ්‍යයන් හරවත් පොහෝ දින පින්කම් මාලාවන් දිවයිනට ම සජීවී ව විකාශනය කරති. විහාරස්ථානයේ සිදු කරන දානමය පින්කම් ආදී කොට ඇති කුදු මහත් පින්කම් කටයුතු අසදෘශ වූ පින්කම් බවට මහා සංඝ රත්නය සාක්‍ෂි දරනු ඇත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසින් කටයුතු කළ අභයතිස්ස මාහිමියන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන්නේ ආත්මීය උරුමයන් ස්පර්ශ කිරීමක් වශයෙනි. එයට හේතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ සුනේත්‍රා මහා දේවී රාජමහා පිරිවෙන් විහාරස්ථානයට උරුම ව තිබූ භූමි භාගයක වීමයි. විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයත්, විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය භික්‍ෂූන් හා සිසු දරුවන් අතරත් උන්වහන්සේ සම්භාවනාවට පත්ව සිටින්නේ දැනුම නම් වූ දිය පාත්‍රයේ පතුල ස්පර්ශ කරමින් ගිලීගත් ඉඳීකටුවක් හා සමාන නිසා පමණක් නොව පියකුගේ බඳු දයාබර දෑත් ඔවුන් වෙත දායාද කරන බැවිනි. ඊට දිය හැකි පුංචි උදාහරණයක් වන්නේ දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාලීය දුවා දරුවන් වෙනුවෙන් උන්වහන්සේගේ තනි උත්සාහයෙන් ආරම්භ කළ කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය යි. එය වර්තමානයේ විශ්වවිද්‍යාලය තුළ පිළිගත් ව්‍යාපෘතියක් බවට පත් වූයේ උන්වහන්සේගේ ශ්‍රමය, ධනය හා කැපවීම සමග බැඳුණු හදවතේ තෙත් දියෙනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බරසාර බව ආරක්‍ෂා කර ගැනීම පිණිස උන්වහන්සේ කැප වන්නේ ඉහළ පාලනාධිකාරය සමග පවා සාකච්ඡා සම්මුතීන්හි ව්‍යුත්පන්න වෙමිනි. අධ්‍යාපනික වශයෙන් පමණක් නොව ජාතික හා ආගමික වශයෙන් ද ඉටු කරන කාර්ය භාරය සුවිශාල ය. රටට, ජාතියට හෝ ආගමට විපත්කාරී තත්ත්වයන් පැන නඟින විට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ ස්ථාවරය කවරක්දැයි සබුද්ධික ජනයා විමසිලිමත් වෙති.

හිසට වහළක් නැති අන්ත අසරණ පවුල් බොහොමයක් උන්වහන්සේගේ සරණ ලබා නිවසක හිමිකාරීත්වයේ අභිමානය භුක්ති විඳීති. දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන කිහිපයක් සංවර්ධනය වී ඇත. සිසු දරුවන් ශිෂ්‍යත්වයන් ලබන අතර ම, අනාගත මාතෘත්වය ඉසිලීමට සූදානම් වන ගැබිණි මව්වරු අනේකවිධ පහසුකම් ලබති. ආබාධිත තත්ත්වයන්ට පත් වූවෝ රෝද පුටු, කිහිලි කරු ආදිය ලැබ අභිනව ජීවිත ලබති.

මැදගොඩ හිමිපාණන් වෙත මා හදවත ගෞරවාන්විත වන ප්‍රභලම සාධකය වන්නේ බුද්ධ පුත්‍රයකු වශයෙන් උන්වහන්සේ සිදුකරන මව්පිය උවටැනයි. රාජ මහාමාත්‍යාදීන් මධ්‍යයේ ද උන්වහන්සේ හිස දරණ කිරුළ මව්පියන් ම ය. කළුරිය කළ සදාදරණීය මෑණියන් රෝගාතුර වූ අවස්ථාවේ සියතින් උවටැන් කරමින්, ඇතැම්විට එතුමිය ඇලුම් කරන ආහාර පාන පවා සියතින් ම සකසා දෙමින් දයාබර පුතකුගේ සෙනෙහස විදාරණය කර දක්වන ලදී. එතුමියගේ තදබල රෝගී තත්ත්වය මධ්‍යයේ සිය කාර්යය බහුල බව මනාව කළමනාකරණය කර ගනිමින් සූවිසි පැයේ ම කැපකිරීම් කළේ අපට ද එය එලෙසින් ම කොපිකර ගැනීමට ඉඩ හසර ලබා දෙමිනි. පරලෝ සැපත් මෑණියන්ගේ ගුණ කදම්භයට උපහාර දැක්වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානයක දාගැබක් ඉදිකරවීමෙනි. දයාබර ස්වාමි දියණියගේ වියෝවෙන් ස්නේහාතුර වූ පියාණන් සිය සෙවනැල්ල මෙන් සමීපයේ රඳවා ගනිමින් පුත්‍ර ස්නේහය දක්වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බුදු පුතකු විලසිනි.

ධර්මයටම ආශක්ත වූ නිසඟ දේශන කෞශල්‍යය මුළු මහත් දේශයක් ධර්මාධිගමයෙහි පිහිටුවීමට සමත් ය. මහාචාර්ය හිමියන්ගේ දේශනා කෞශල්‍යය විටෙක අප මවිත කරන්නකි. ගැඹුරු ධර්ම කරුණු තුළ කිමිදෙන උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්ම පිපාසය සිහිල් දිය දහරාවන්ගෙන් සනසවයි. කුදු මහත් ධර්ම විවරණයන් මනාව හසුරුවමින් අටුවා - ටීකා - සන්න - ගැටපද විවරණිකාවන් සහිත ව පෙළ දහමෙන් සුපෝෂිත වූ රසාලිප්ත ධර්ම ඖෂධයක් බවට එකී දේශනාවන් පත් කරයි. ධර්ම සාකච්ඡා සම්මන්ත්‍රණයන් සිදුකරන අවස්ථාවල දී විචාරක ප්‍රශ්නයෙන් ඉවත නොපැන එක එල්ලේ ම හරවත් වූත්, බුද්ධිමය ස්පර්ශයට සුදුසු වූත්, ඉතා සරලව කිවහොත් ඇඟට දැනෙන්නා වූත් විවරණයන් සපයන්නේ සුමට සුගම ලාලිත්‍යයෙනි.

පෙර විවරණිත සියල්ල හා සමග අභයතිස්ස හිමියන්ගේ කල්‍යාණ මිත්‍ර සන්ථවය අත්විඳී අයකුට කළ්‍යාණ මිත්‍රත්වයේ රූපකය උන්වහන්සේ ම ය. අතිශය කාර්ය බහුලත්වය මැද වුව ද මිත්‍රයන්ට, මිත්‍රත්වයේ දෑත් දිගු කරන්නේ “භික්‍ෂු සසුන පවතින්නේ සම්පූර්ණයෙන් කල්‍යාණ මිත්‍රත්වය මත යැයි” වදාළ බුදු වදනට වටිනාකමක් ලබා දෙමිනි. ඒ අපරිමිත ස්නේහය ගලා එන හදවත, හදවතින් ස්පර්ශ කරමින් ළබැඳී සුවය විඳීමට හුදෙක් මා පමණක් නොව ඒ ළබැඳී මිතුදමට සමීප සෑම දෙනෙක් ම පාරමී පුරන බව සක් සුදක් සේ දනිමි.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස මාහිමියනි, චිරං ජයතු !
ළදළු බෝ පතක් ලෙද සාධු සිත පතුරුවන
දම් අමා රැස් විදා ලෝ සතට සුව සදන
ආයු බෝ සෙත වඩා අජානය හයකු ලෙද
පිය නඟනු මැන සමිඳ
අරුත්බර දිවිය තුළ....