Print this Article


ලක්දිව සංඝරාජ පදවිය - 8: අමරපුර රාමඤ්ඤ දෙනිකායේ නායක පදවි

ලක්දිව සංඝරාජ පදවිය - 8:

අමරපුර රාමඤ්ඤ දෙනිකායේ නායක පදවි

අඹගස්වත්තේ සරණංකර හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා රාමඤ්ඤ දේශයට ගොස් උපසම්පදාව ලබා ලක්දිවට වැඩමවා 1864 වසරෙහි උපසම්පදා පිහිටුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිහිටුවන ලදි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ වටරක්ගොඩ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍යවර බෝවල ධම්මානන්ද හිමියන් සමීපයේ පැවිදි ව මහනුවර මල්වතු මහාවිහාරයේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයේ නිරත වූ වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස හිමිපාණෝ සංඝරාජ හිමියන්ගේ නිර්දේශය ද ලබමින් දකුණු ලක ප්‍රභූවරුන්ගේ අනුග්‍රහය ලබා තවත් සාමණේර හිමිවරුන් පස් නමක් සමග බුරුම රට අගනගරය වූ අමරපුරයට වැඩියහ.


අමරපුර නිකායේ ආදිකර්තෘ වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස මහා නාහිමි

එහිදී ඤාණාභිවංස ධම්මසේනාපති නම් බුරුම සංඝරාජ හිමියන් උපාධ්‍යාය කොට ගනිමින් ස්වර්ණගුහා සීමාවේ දී උපසම්පදාව ලැබූහ.

ඉන්පසු ලංකාවට පැමිණ 1803 වසරෙහි දී උපසම්පදා කිරීම් ආරම්භ කළහ. බුරුම රට අගනගරය වූ අමරපුරයේ උපසම්පදාව ලද බැවින් මෙම හිමිවරු අමරපුර සමාගම නමින් මුල් කාලයේ හඳුන්වන ලද අතර, පසු කලෙක අමරපුර නිකාය නමින් හැඳීන්විය.

කතලුවේ ගුණරතන හිමි, අත්තුඩාවේ ධම්මරක්ඛිත හිමි, බෝගහපිටියේ ධම්මජෝති හිමි, කපුගම ධම්මක්ඛන්ධ හිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රභූවරුන්ගේ අනුග්‍රහය මත ස්වකීය අනුගාමික සංඝයා වහන්සේ පිරිස් සමග වෙන වෙන ම බුරුමය සහ රාමඤ්ඤ දේශය වෙත ගොස් උපසම්පදාව ලබා ලක්දිවට පැමිණ වෙන වෙන ම උපසම්පදා කිරීම් කටයුතු ආරම්භ කළහ. සියම් නිකායෙන් අමරපුර නිකාය වෙන් වීමට බලපෑ හේතු කවරේ දැයි මූලාශ්‍රවල තොරතුරු හෙළි වන නමුත්, නායකත්වය ගත් හිමිවරුන් පස් නමක් සමග දූත පිරිස් බුරුමයේ ගොස් වෙන වෙන ම උපසම්පදාව ලබා ලක්දිවට වැඩම කොට වෙන වෙන ම උපසම්පදා කටයුතු සිදු කිරීමට හේතු කවරේද යන්න පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් මේ දක්වා සිදු කොට නොමැත. රාජානුග්‍රහය නොමැති ව ,ජීවිත අවදානම නොතකා ඉමහත් අන්තරායකර ගමනක් වූ බුරුමයේ යාමට කණ්ඩායම් පහක් ඉදිරිපත් වීම සැබැවින් ම විස්මයජනක සිදුවීම් වෙයි.


රාමඤ්ඤ නිකායේ ආදිකර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවරඤාණ මහාසාමි මහා නාහිමි

ලක්දිව අමරපුර සමාගම පිහිටවූ වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස මහ තෙරුන් වහන්සේ බුරුමයේ අමරපුර දී උපසම්පදාව ලබා සියරට පැමිණ යළිත් බුරුමයට ගොස් ලාංකික අමරපුර සංඝයා වහන්සේලාගේ නායකත්වය වැලිතර හිමියන්ට පවරන ලෙස දන්වන ලද බුරුම රජුගේ නිර්දේශ ලිපිය එඩ්වඩ් බාන්ස් ලංකාණ්ඩුකාරවරයාට ඉදිරිපත් කළ පසු ලක්දිව මුහුදුබඩ තොටමුණුවල සිටින මහබද්දේ භික්ෂූන් වහන්සේලාගේ නායක පදවිය පිරිනමා 1825 වසරෙහි දී අක්ත පත්‍රයක් පිරිනමා ඇත. මහබද්දේ පැවිදි, උපසම්පදා සහ උපැවිදි වීම් මුන්වහන්සේගේ අවසරය මත සිදු විය යුතු බව දක්වා ඇත. මෙකී නායක පදවියට අවනත වීමට කතලුවේ හිමියන්ගේ සහ අත්තුඩාවේ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර අකමැති වූ හෙයින් එම කණ්ඩායම් සඳහා මෙම නායක පදවිය බල නොපැවැත්වෙන බවට ආණ්ඩුකාරවරයා ලිපියක් නිකුත් කොට ඇත.

වැලිතර නාහිමිපාණන් වහන්සේ ප්‍රථමයෙන් ලක්දිව අමරපුර මහානිකාය පිහිටුවීමට මූලික වු ව ද එම හිමියන්ට ප්‍රථමයෙන් මෙරට ඉංග්‍රීසි ආණ්ඩුව මගින් අක්ත පත්‍රයක් පිරිනමා මහානායක පදවිය පුද කළේ කපුගම ධම්මක්ඛන්ධ මාහිමියන් වහන්සේ වෙත බව සඳහන් වෙයි. අමරපුර නිකායේ වෙනම සංඝ පරපුරක් ආරම්භ කිරීමට මුල් වූ කපුගම ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රථමයෙන් සියම් නිකායෙහි පැවිදි වී සිට පසුව සියම් නිකායෙන් ඉවත් ව උපසම්පදාපේක්ෂාවෙන් බුරුම රටට ගොස් උපසම්පදාව ලබා ලංකාවට වැඩමවා තම ශිෂ්‍ය පිරිස උපසම්පදාවෙහි පිහිටුවා එම සංඝ පිරිසෙහි නායකත්වයට පත් වූ හ. පසු කලෙක උපැවිදි වී ක්‍රිස්තියානි ආගම වැළඳගෙන ඉංග්‍රීසි ආණ්ඩුවේ තනතුරු දරා ඇත. උපැවිදි වී කිතු දහම වැළඳගත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙසින් මුන්වහන්සේ ඉතිහාස ගත වෙති. මුන්වහන්සේ ඇවෑමෙන් තත් ශිෂ්‍ය බෝපාගොඩ සිරි සුමන හිමියන් එම පරපුරෙහි නායකත්වයට පැමිණ ඇත.

පසු කලෙක බුරුම රට ශ්වේජින් නිකායික තෙරුන් වහන්සේලා ලක්දිවට වැඩම කරවීමෙන් පසු ඒ ඇසුරෙන් ශ්වේජින් නිකාය ලංකාවේ ද ආරම්භ කෙරුණි. මුල්කාලීන අමරපුර මහා නිකායේ එක් එක් ශාඛාවල නායක පදවි සුලභ නොවූ අතර, වස්කඩුවේ සුභූති හිමිපාණෝ එම නිකායේ කොළඹ පළාතේ සංඝ නායක පදවිය හෙබවූ බව සඳහන් ය.

පාර්ශ්ව රාශියකට බෙදී පැවතුණු අමරපුර මහානිකාය එක්සේසත් කිරීම පිණිස ඉතිහාසයේ කලින් කල විවිධ උත්සාහයන් ගෙන ඇත. පාර්ශ්ව තිස් ගණනකට බෙදී පැවතුණු අමරපුර නිකාය එක්සේසත් කිරීමේ එක් වැදගත් සංධිස්ථානයක් වශයෙන් පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් 1956 වසරේ එක්සත් අමරපුර සංඝසභාව පිහිටුවීම දැක්විය හැකි ය. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාව පිහිටුවා සියලු පාර්ශ්වයන්හි නායකත්වය සඳහා සභාපති හිමිනමක පත් කර ගැනීම ආරම්භ විය. වර්ෂ 1992 දී සභාපති පදවියට වඩා උසස් උත්තරීතර මහානායක පදවිය පිහිටුවන ලදි.

අඹගස්වත්තේ සරණංකර හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා රාමඤ්ඤ දේශයට ගොස් උපසම්පදාව ලබා ලක්දිවට වැඩමවා 1864 වසරෙහි උපසම්පදා පිහිටුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිහිටුවන ලදි. උපසම්පදාවෙන් පසු අඹගස්වත්තේ මාහිමියන් ඉන්දාසභවරඤාණ සාමි යනුවෙන් හඳුන්වන ලදී. රාමඤ්ඤ නිකාය කිසිදු බෙදීමකට පත් නොවී එක් මහානායක හිමි නමකගේ නායකත්වය යටතේ පවතී. නිකායේ විධිමත් පරිපාලන ව්‍යුහයක් පවතී. රාමඤ්ඤ නිකායික භික්ෂූන් වහන්සේ අතර මෑතක් වන තුරුම පළාත් නායක පදවි නොපැවතුණු අතර, වර්තමානයේ පළාත් නවය සඳහා සංඝ නායක හිමිවරු පත් කොට ඇත. රාමඤ්ඤ නිකායේ පාලන සංවිධානය පිළිබඳ මාතලේ සාසනතිලක අනුනාහිමියෝ මෙසේ දක්වති.

“රාමඤ්ඤ නිකායේ විහාර නායක, පළාත් නායක පදවි නැත. ඒ වෙනුවට ඇත්තේ දිසාපාලක පදවි යි. පාලන අංශයේ සියලු කටයුතු මෙහෙයවන්නේ කාරක සභාව මගිනි. භික්ෂූන් අතර ඇති වන නඩු හබ විනිශ්චය කිරීම පිණිස අධිකරණ නායක කෙනෙකු යටතේ ඇති අනුවිජ්ජික අධිකරණ අංශයක් ඇත. අග්ගානුවිජ්ජක, උපරිම අනුවිජ්ජක නමින් පොදු විනිස්චය මණ්ඩල දෙකකි. දිසාපාලක නමින් පළාතේ ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ නමකගේ යටතේ සෙසු සංඝයා සිටිති. බහු නායකවරුන් මෙහි නැත.එක ම මහානායක කෙනෙකු යටතේ සියලු භික්ෂූන් වහන්සේලා සංවිධානය වී සිටිති”.

නිකාය හා පාර්ශ්වයක් ම පාහේ ස්වකීය හිමිවරුන් වෙත විවිධ ප්‍රදේශ වෙනුවෙන් නායක පදවි පිරිනැමීමත්, සුදුසුකම් අනුව ගෞරව නාම සම්මුති පිරිනැමීමත් සිදු කරනු ලබයි.