ගුරු හාමුදුරුවන්ට
කමටහන් දුන්
ගෝල හාමුදුරුවෝ
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
රහතන් වහන්සේ බියෙන් තොරය යනු ලක්දිව මුල්බැස ගත් කරුණකි. රහත් වූ සෑම භික්‍ෂුවක් ම
බිය රහිත ව වැඩ සිටිය යුතු බව මෙයින් විශ්වාස කළා විය හැකි ය. රහතන් වහන්සේ නමක් ද
නැතහොත් පෘථග්ජන භික්‍ෂුවක දැයි හඳුනා ගැනීමට බිය පරීක්‍ෂා කර බැලීමක් පෙර ලක්දිව
භික්‍ෂූන් අතර පැවැති බව අටුවා කථාවලින් පෙනෙයි. මේ සඳහා සාධක අටුවා ග්‍රන්ථවල බහුල
ව දැක ගත හැකි ය.
එ වැනි කතා පුවතක් මජ්ජිමනිකායට්ඨකථාවේ දැක්වෙයි.
තලංගරවාසි ධම්මදින්න තෙරුන් වහන්සේ හුදකලා ජීවිතයට ප්‍රිය වූ තෙර කෙනෙකි.
උන්වහන්සේගේ ආචාර්ය උච්චවාලික මහා නාග තෙරුන් වහන්සේ උගත් සිල්වත් තෙර කෙනෙකි.
උන්වහන්සේ නිතර රහත් තෙර කෙනෙකු ලෙස පිළිවෙත් පුරමින් ජීවත් වූ හ. උන්වහන්සේට හැට
වයස් වුව ද තමන් වහන්සේ රහත් තෙර නමක් නොවන බව නො දැන සිටියහ. මේ මුළාවෙන් මුදවාලිය
යුතු බව සිතූ ධම්මදින්න තෙරුන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේ වැඩසිටි විහාරයට වැඩම
කොට හෙතෙම මඳ වේලාවක් සතුටු සාමීචියෙන් පසු වී “ඔබ වහන්සේ රහත් වූයේ කවදා ද?”යි
විමසී ය. හෙතෙම “හය අවුරුද්දකට කලින් යැයි පිළිතුරු දුන් විට “ඔබ වහන්සේට සමාධි
බලයක් ඇද්ද?” යයි විමසී ය. “එසේ යැයි පිළිතුරු දුන් හෙයින් එසේ නම් “ඔබ වහන්සේගේ
ඍද්ධි බලය යොදා භයංකර වේශයෙන් ඔබ වහන්සේ වෙත එන ඇතෙකු මවනු මැනැ”යි ධම්මදින්න
තෙරුණුවෝ ඉල්ලා සිටියහ. මහානාග ස්ථවිරයෝ තම ගෝලයා ඉදිරියෙහි දෙවැනි විය නොහැකි
හෙයින් ඇතකු මවාලුවත් තමා මැවූ ඇතා සොඬ මුවෙහි ලා ගෙන භයංකර ලෙස කුඤ්චනාද කරමින්,
තර්ජන ලීලාවෙන් තමා වෙත එනු දැක හුනස්නෙන් නැගිට දුවන්නට වෑයම් කළහ. එහෙත්
ධම්මදින්න තෙරුන් වහන්සේ ගුරු හිමියන්ගේ සිවුරු පොටින් අල්ලාගෙන “ස්වාමිනි, රහත්
කෙනෙක් නම් භය වන්නාහු ද?”යැයි ඇසූහ. ඉක්බිති මුළාවෙන් මිදුණු ගුරුහිමි තම ගෝල
හිමියන් ඉදිරියෙහි “මට පිහිට වෙනු මැනවැ”යි අයැද සිටියේ ය. ගුරු හිමියන්ගේ ආරාධනය
පිළිගත් ධම්මදින්න තෙරුන් වහන්සේ කමටහන් දුන්හ. මහානාග තෙරුන් වහන්සේ ද කමටහන් පුරා
රහත් වූහ. මෙය සිංහල විශුද්ධි මාර්ගයේ එන කථා පුවතකි.
තව ද ධම්මදින්න තෙරුන් වහන්සේ මෙම උපාය ම යොදා මහාදත්ත නම් තෙරුන් වහන්සේ නමක් රහත්
බවට පැමිණ වූ බව ද මජ්ක්‍ධිමනිකායට්ඨකථාවේ සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ
ලක්දිව අතීත භික්‍ෂූන්ගේ රහත් බව මැනීම සඳහා බිය උපයෝගී කර ගත් බවකි. මෙම කරුණ
තහවුරු කෙරෙන හාස්‍ය ජනක කථා පුවත් ද මජ්ක්‍ධිමනිකායට්ඨකථාවෙන් ම හමුවෙයි.
ක්‍රි.ව. 103-112 කාලයේ රජ පැමිණි චන්දමුඛතිස්ස මහ රජතුමා මහා විහාරයෙහි සංඝ නායක
ස්ථවිරයෝ සැබවින් ම රහත්ද? නැද්ද? යන වග පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂණයක් කළ බවක් සඳහන්
වෙයි. එවක මේ හිමියෝ මහලු වයසෙහි පසු වූයේ ඇස් පෙනුම ද ඉතා දුර්වල තත්ත්වයක වූ හ.
භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා පිඬුසිඟා බැහැර වැඩි පසු රජ තෙමේ හෙමින් හෙමින්
විහාරයට ගොස් තෙරුන් වහන්සේගේ පයට නාගයකු දෂ්ට කරන ලෙස කෙටුවේ ය. ගල් කණුවක් මෙන්
නො සැලී සිටි තෙරහු කවරෙක් දැයි කියා විමසූහ. මෙයින් උන්වහන්සේ රහත් තෙර නමක බව
හඳුනා ගනියි.
මෙ වැනි තවත් කථාපුවතක් මෙම අටුවාවෙහි වෙයි. එක්තරා පිණ්ඩපාතික භික්‍ෂුවක් තමන්
වහන්සේ රහත් යැයි සිතමින් මං මුළාවී සිටියාහු ය. එහෙත් තෙරුන් වහන්සේගේ රහත්බව
පිළිබඳ සැක පහළ කළ දීඝභාණක අභය නම් තෙරුන් වහන්සේ පිණ්ඩපාතික තෙරුන් වහන්සේගේ රහත්
බව පරීක්‍ෂා කිරීමට කල්පනා කළහ. දිනක් පිණ්ඩපාතික තෙරුන් කැලණි ගඟෙහි දිය නාමින්
සිටිය දී හොරෙන් දියෙන් කිමිදී ගොස් ස්ථවිරයන්වහන්සේගේ කකුල අල්ලන්නට කියා එක් තරුණ
භික්‍ෂුවක් යැවී ය. එසේ කළ කල්හි කිඹුලෙකැයි බියට පත් පිණ්ඩපාතික තෙරණුවෝ කෑ ගසන්නට
වූහ. එයින් උන්වහන්සේගේ පෘථග්ජන බව හෙළි වුණේ ය. බිය ගැන්විය නො හැකි පෘථග්ජන
භික්‍ෂූහු ද ඇතැම් විට හමු වෙති. එ වැනි අවස්ථාවල දී ඔවුන්ගේ අර්හත් භාවය පරීක්‍ෂා
කිරීමට රාගය සහ ආසාව උපදවන අරමුණු යොදා ගත් බවට තොරතුරු ද වාර්තා වෙයි. එ වැනි
පුවත් රැසක් ද මජ්ක්‍ධිමනිකායට්ඨකථාවෙහි වෙයි.
ක්‍රි. ව. 127-171 අතර කාලයෙහි රජ පැමිණි වසභ මහ රජතුමා එක්තරා භික්‍ෂුවකගේ රහත් බව
පරීක්‍ෂා කිරීමට අපූරු උපායක් යොදා ගත් බව කියවෙයි. රජතුමා එම භික්‍ෂුව දානයක් සඳහා
රජ මැඳුරට වැඩම කරවා උන්වහන්සේ සමීපයෙන් හිඳ මසන් අච්චාරුවක් (ඉතා රසවත් ආහාරයක්)
අනන්නට විය. එයින් භික්‍ෂුවගේ කටට කෙළ උනන්නට ගත් බැවින් උන්වහන්සේ රහත් කෙනකු නොවූ
බව සනාථ කර ගත්තේ ය. රහතන් වහන්සේට රස තෘෂ්ණාව නොමැතිවීම මෙයට හේතු විය.
දිනක් තලංගරවාසි ධම්මදින්න තෙරුන් වහන්සේ තමා රහත් යැයි මුළා වී සිටි සිතුල්පවු
වැසි භික්‍ෂුවකට එම භික්‍ෂුව විසින් ම මවන ලද මනහර ස්ත්‍රි රූපයක් දෙස බලා සිටින්නට
කියා එම භික්‍ෂුව විසින් පුරා සැට වසක් යටපත් කර සිටි කාමාශාවන් ඉස්මතු කොට තමා
රහත් නො වූ බව පෙන්වා දුන් බව ද, එය තේරුම් ගත් හෙතෙම තමන් වහන්සේ වෙතින් කමටහන්
ගෙන රහත් වූ බව ද සඳහන් වෙයි.
මෙම තොරතුරුවලින් තහවුරු වන්නේ රහතන් වහන්සේට බිය ඇති නොවන බව සහ රාග, ද්වේෂ, කාම,
කෝප උත්සන්න නොවන බව ය. |