Print this Article


පොතපත කියවීමේ අගය සේ ම සමාජය කියවීමේ වටිනාකම ද දරුවන්ට කියා දෙන්න

පොතපත කියවීමේ අගය සේ ම සමාජය කියවීමේ වටිනාකම ද දරුවන්ට කියා දෙන්න

"සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගී පද කිහිපය තුළින් ම ගුරුවරයා යනු කවුරු ද යන්න ඉතා හොඳීන් වටහා ගත හැකි ය. සමාජයේ සෑම තරාතිරමක කෙනෙක් ම නිර්මාණය කරනුයේ ගුරුවරයා විසිනි.

අප අමතක නො කළ යුත්තේ එම ගුරුවරයාට ද ජීවිතයක් ඇති බව ය. සමාජ ජීවිතයේ දී බොහෝ වරප්‍රසාද හිමිවන්නේ ගුරුවරයාගේ අප්‍රතිහත ධෛර්ය තුළිනි. ඇතැම්විට එවැනි ගුරුවරු තවමත් තමන්ගේ මූලික අවශ්‍යතා ටික හෝ ඉටු කර ගැනීමට බැරුව එහෙත් ලද දෙයින් තෘප්තිමත් ව කටයුතු කරනු දක්නට ලැබේ. එහෙත් තමා ඉගැන්වූ දරුවන් සැප පහසුකම් ලබා සමාජයේ වැජඹෙනවා දැකීම බොහෝ සෙයින් ප්‍රිය කරති. මව්පියන්ටත් වඩා ඇතැම් විට දරුවාගේ දියුණුවේ දී ගුරුවරයා සතුටු වේ. ඇතැම් ළඟම ඥාතීන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙද්දී තම ශිෂ්‍යයන්ගේ හපන්කම් තුළ ගුරුවරයා ලබන සතුට ගැන ඇතමකුට අවබෝධයක් නැත. අප සියල්ලන්ට ම ගුරුවරයාගේ ඒ වෙහෙස, මඟ පෙන්වීම, සතුට පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇතුවාට සැක නැත. ගුත්තිල ගුරුවරයකු ලෙස, මූසිලට ගුරුමුෂ්ටි නොමැති ව ශිල්පය ලබා දුන්නේ ය. වර්තමාන ගුරුවරයා ද එසේ ම ය. ඒ අතර ගුරුවෘත්තිය ට නොගැලපෙන හැසිරීම් ඇති ඉතා සුළුතරයක් සමාජය තුළ නැතුවා ම නොවේ. එය ගුරුවරයාට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකට ම පොදු වූවකි.

වෛද්‍යවරයකුට වැරදුණහොත් ලෙඩා මරණයට පත් වේ. එහෙත් ගුරුවරයකුට වැරදීම වරද සමාජගත වීමට හේතුවකි. ඇතැම් ක්ෂේත්‍රවලට විකල්ප ඇතිමුත් ගුරුවරයාට විකල්ප ඇත්තේ නැත. එය අප සියල්ලෝ ම ඉතා හොඳීන් තේරුම් ගත යුතු ය. ගුරුවරයාට වැරදීම හෝ ගුරුවරයාට වැරද්දවීම ඉතා පහසුවෙන් සිදු නොවන දෙයකි. අපේ සමාජවල “

"ගුරුන්ටත් අකුරු වරදී" යන පිරුළු පවා නිර්මාණය වී ඇත්තේ මේ නිසා වෙනි. දිසාපාමොක්ට වැරදීම මත අහිංසක අංගුලිමාල විය. එහි දී තථාගතයන් වහන්සේ තුන් ලොවට ම ගුරුවරයා වූ බැවින් අංගුලිමාල සසර ම නිවැරැදිකරුවකු කළහ. තිලෝගුරු බුදුරදුන් හා සමාන ව පෘතග්ජන ගුරුවරයා දෙස නො බැලීමට ශිෂ්‍යයන් සහ මව්පියන් වගබලා ගත යුතු වේ. ඒ මන්දයත් එම ගුරුවරයාට ද සමාජයේ අනෙක් මිනිසුන්ට මුහුණ පාන්න වන සියලු ජීවන ගැටලු සමාන ය. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් ගුරුවරයාගේ මානසිකත්වය නිරවුල්වීම ඉතා වැදගත් ය. එසේ නොමැති වුවහොත් මව්පියන් බලාපොරොත්තු වන ශික්ෂණය දරුවාගෙන් ගිලිහෙණු ඇත. දරුවකු බලා ගැනීමේ අමාරුකම වෙන කවර කලකටත් වඩා වර්තමානයේ දී මව්පියන්ට දැනෙමින් ඇත. මෙවන් පසුබිමක ප්‍රාථමික අංශයේ ගුරුවරියන් දරුවන් හතළිහක් පනහක් බලා ගැනීම කෙතරම් අසීරු ඇද්ද? එය බොහොම උපේක්ෂාවෙන් බැලිය යුතු ය.

ගුරුවරයා යනු පාසලක උගන්වන, උපකාරක පන්තියක ශිල්පය ලබා දෙන්නා පමණක් නොවේ. අපට ජීවිතයේ බොහෝ පාඩම් කියා දුන් සියල්ලෝ ම යම් විටෙක ගුරුවරු ය. ඕනෑම ක්ෂේත්‍රයක බොහෝ අත්දැකීම් සහිත අය ආධුනිකයන්ට එම ක්ෂේත්‍රය තුළ නිවැරැදි මඟ පෙන්වීමක් කරන්නේ නම්, තම අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගන්නේ නම් ඔවුන් අපට හමු වූ ගුරුවරයන් සේ සැලකීම අවශ්‍යය. එපමණක් නොව හොඳීන් හෝ නරකින් අපට බොහෝ පරිනතභාවයන් ලබාදුන් සියල්ලෝ ම ගුරුවරුන් සේ සැලකීම අවැඩක් නොවේ. මෙහි දී ජීවන අත්දැකීමක් දැක්වීම කාලෝචිත යැයි හැඟේ.

එක මවක් දානයක් ලබාදී තම දරුවන්ට ආශිර්වාද කොට මිය ගිය සැමියාට පින් අනුමෝදන් කළා ය. මෙය බලා සිටි ඒ මවගේ ලොකු පුතා අම්මාගෙන් ඇසුවේ "අම්මට, තාත්ත බොහෝ වධ හිංසා කළා. ඒ විතරක් නෙමෙයි, අප හැමෝට ම යුතුකම් කළේ නෑ. බීමත්කම නිසා ඔහු මිය ගියා. ඇයි අම්මේ ඒ තාත්තාට පින් දුන්නේ." යනුවෙනුයි. එහි දී මේ අම්මා ඉතා සිත් ගන්නා පිළිතුරක් ලබා දුන්නා.

"මම දුක ගැන බුදු දහමෙන් ඉගෙන ගෙන තිබුණා. ඒත් ඒ දුක මට අවබෝධ කරලා දුන්නේ ඔයාගේ තාත්තා. එහෙම බලනකොට ඔයාගේ තාත්තා මට ගුරුවරයෙක්. මම පින් දුන්නේ ඒ ගුරුවරයාටයි."

ගුරුවරයා යන්නට නව අරුතක් ලබා දෙන්නට මේ මව කටයුතු කිරීම ආස්වාදනීය යි.

තථාගතයන් වහන්සේට ද ගුරුවරයකු වූ හ. උන්වහන්සේ සත් සතිය තුළ දී ම ධර්මය ගුරු තනතුරේ තබා ගත්හ. එපමණක් නොව තමන්ගේ ඇවෑමෙන් ධර්මය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස ආනන්ද හිමියන්ට දේශනා කළහ. තිලමුට්ටි ජාතකයේ දී රජු අනාගතයෙහි සොරකු නොවීමට ගුරුවරයා දඬුවම් ලබා දුන්නේ ය. මුල් අවස්ථාවේ දී රජ කුමරුට නොවැටහුණ ගුරුවරයාගේ දඬුවම පසුව අවබෝධ විය. එපමණක් නොව සොරකම රජුට ඇවැඩ පිණිස හේතුවන බව පැවසුවේ ද ගුරුවරයා ය. එහෙයින් අපට හඳුනාගත හැක්කේ සෑම රජෙකුට ම ගුරුවරයකු වූ බවයි. ගුරු ඇසුර නො ලද ජීවිත බොහෝ හිස් ය. එමෙන් ම ගුරු ගෞරවය නැති හිත්වලට හෝ ඔවුනගේ දරුවනට ශිල්පය නොපිහිටයි. එය නොවෙනස් වූ සත්‍යයකි.

ගුරුවරයා යනු සමාජය වෙනස් කරන තීරණාත්මක සාධකය යි. අහිංසකලා, අංගුලිමාලලා කරනුයේ ද ගුරුවරයා විසිනි. ගුරු භූමිකාව තුළ පොතපතෙන් එහා සමාජය කියවන්නට හැකි දරුවන් නිර්මාණය කළ යුතු ය. එමෙන් ම නැණවතුන් කරන දරුවන් ගුණවතුන් කිරීම අවශ්‍යය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, උපාධිධාරීන් තනනුයේ ගුරුවරයා විසිනි. එහි දී බෙහෝ වංචා, මිනිස් ජිවිත විනාශ කරන සාහසික වෛද්‍යවරු බිහි නො කිරීමට වගබලා ගත යුතු ය. තම වෛද්‍ය දැනුම සමාජයේ ප්‍රගමනයට යොදා ගත හැකි වෛද්‍යවරු බිහි කළ යුතු ය. එසේ නොමැති වුවහොත් හිට්ලර්ගේ වද කඳවුරේ විෂ එන්නත් කොට මිනිසුන් ඝාතනය කළ වෛද්‍යවරු වැනි අය බිහිවිය හැකි ය. ඉංජිනේරුවරුන් ද එසේ ම ය. ඔවුනගේ දැනුම සමාජයේ දියුණුවට භාවිත කළ හැකි වීම අවශ්‍ය ය.ගුරුවරයා ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු ම ය. අධ්‍යාපනය යනු දැනුම කුසලතා සේ ම, ආකල්ප දියුණුවයි. ආකල්ප දියුණුව වෙනුවෙන් කාලච්ඡේදයක දී විනාඩි දහයක් හෝ වැය කිරීම ගුරුවරයා සතු කාර්යභාරයකි. මේ බව තේරුම් නො ගැනීම මත සමාජය නිසි මඟට ගැනීමට මහත් බාධාවකි.