Print this Article


පූජා පැවැත්වීමේ දී ගාථා කියන්න ම ඕනෑ ද?

පූජා පැවැත්වීමේ දී ගාථා කියන්න ම ඕනෑ ද?

"බෞද්ධයන් පුද - පූජා පවත්වන විට පැය ගණන් විවිධ ගාථා කියා බුදුන් වහන්සේට පූජා පවත් වන බවක් පෙනී යයි. එය විහිලුවක් ද? කොහෙත් ම නැත. එසේ විහිලුවක් කොට සලකා යමෙක් තවකෙනකු ගේ ශ්‍රද්ධාව උපහාසයට භාජනය කරයි ද, එය අනිටු ඵල විපාක දෙන්නකි. ලකුණ්ට භද්දිය මහ රහතන් වහන්සේ මිහිරි ව බණ දෙසන්නන් අතර අග්‍ර වුවත්, මිටි ව උපන්නේ සසර තුළ වෙන කෙනකු ශ්‍රද්ධාවෙන් සිදු කරන්න ගිය පින්කමක් සීමා කිරීමට යාමෙනි."

පූජා ක්‍රම දෙකකි. ආමිස සහ ප්‍රතිපත්ති වශයෙනි. ආමිස වැඩීමෙන් ම පමණක් නිර්වාණ අවබෝධය සිදු නො වන බව බුදුන් වහන්සේ පෙන්වා දි ඇත. එසේ ම ප්‍රතිපත්තිය ආමිසයට වඩා වර්ණනා කොට ඇත. එසේ නම් ආමිසය අවශ්‍ය ද? එය තීරණය කළ යුත්තේ තම තමන් ම ය. නිර්වාණය අවබෝධ කර ගන්නා පුද්ගලයන් සතර දෙනෙක්, ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සූත්‍ර ගණනාවක දී ම මුණ ගැසේ.

දුක සේ සෙමින් ධර්මය අවබෝධ කරන්නෝ , දුක සේ වහා ධර්මය අවබෝධ කරන්නෝ, සුව සේ සෙමින් ධර්මය අවබෝධ කරන්නෝ සහ සුව සේ වහා ධර්මය අවබෝධ කරන්නෝ ලෙසිනි.

සසර කළ ආමිස පූජාවන්ට අනුරූපී ව තමන් ගේ සසර ගමන සැපවත් වනවා සේ ම නිර්වාණාවබෝධය ද වහා සිද්ධ වේ. මෙනිසා ආමිසය පූරණය කළ යුතු ද, නැද්ද යන්න තම තම නැණ පමණින් දත යුතු ය. මෙම ගාථා භාවිතය ද ආමිස පූජාවකි.

සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව බුදු පිළිම වන්දනාව බුද්ධ කාලයේ ආරම්භ වූවකි. අටුවා පොත්වලත්, මහාවංසාදී වංසකථාවලත් සඳහන් වන ලෙස අනුරාධපුර යුගයේ බුදු පිළිම වන්දනය අතිශයින් තිබී ඇත. එමෙන් ම බුදුරජාණන් වහන්සේ වෙනුවට, උන්වහන්සේ නොමැති අවස්ථාවල දී වන්දනය සඳහා ඇසතු බෝධීන් වහන්සේ සුදුසු බව බුදුරජාණන් වහන්සේ ම පෙන්වා දුන්හ. මෙයින් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ ආමිසය නො සලකා හැරියේ නැති බව යි. බෞද්ධයකු යනු ආමිසය සේ ම, ප්‍රතිපත්තිය ද පූරණය කරන කෙනකු ය. මෙම උභයාංශය ම සමබර ව ගෙන යන්නකුට සසර ගමන සැපවත් ව සේ ම වහා නිර්වාණාවබෝධය සිද්ධ වන බව සිහි තබා ගත යුතු ය.

සත්‍ය වශයෙන් ම පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට පුද පූජා තිබීම ඵල සහිත ද? බුද්ධ පූජාව ගොඩක් බෙදන්න ඕනෑ නෑ. මොකෝ බුදු හාමුදුරුවෝ වළඳනව ද? යන ප්‍රශ්න හා තර්ක සමාජයේ පවත්නා හිස් ප්‍රලාප ගොඩකි. ‘තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමෙ චිත්තේ සමං ඵලං’ යන විමානවත්ථු පාඨයට අනුව, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ද, ධරමාන ව වැඩ සිටිය ද යහපත් සිතින් පුද - පූජා පැවැත්වීමෙන් සම වූ ආනිසංස ලැබෙන බව තේරුම් ගත යුතු ය. එය බුදුරජාණන් වහන්සේ වළඳනවා ද, නැද්ද යන්න නොව ‘මේ පූජා කරන්නේ ජීවමාන බුදුන් වහන්සේට ය’ යන සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සිතින් පූජා පැවැත් විය යුතු ය. යෝගට් කප් එකක් තරම් භාජනයකට ව්‍යංජන බත් සියල්ලමත්, කුඩා කප් එකකින් පැන් තියා පෙරේතගොටු සේ පූජා පැවැත් වීමෙන් ඔබ බලා පොරොත්තු වන පින කුමක් ද?

බෞද්ධයන් පුද - පූජා පවත්වන විට පැය ගණන් විවිධ ගාථා කියා බුදුන් වහන්සේට පූජා පවත් වන බවක් පෙනී යයි. එය විහිලුවක් ද? කොහෙත් ම නැත. එසේ විහිලුවක් කොට සලකා යමෙක් තවකෙනකු ගේ ශ්‍රද්ධාව උපහාසයට භාජනය කරයි ද, එය අනිටු ඵල විපාක දෙන්නකි. ලකුණ්ට භද්දිය මහ රහතන් වහන්සේ මිහිරි ව බණ දෙසන්නන් අතර අග්‍ර වුවත්, මිටි ව උපන්නේ සසර තුළ වෙන කෙනකු ශ්‍රද්ධාවෙන් සිදු කරන්න ගිය පින්කමක් සීමා කිරීමට යාමෙනි.

පූජා පවත්වන විට ගාථා අවශ්‍ය ම නැත. යමෙක් පූජාව ආසනය මත පූජා කිරීමේ අදහසින් තුබූ පමණින් ම ඔහුට එයින් අත්වන පින ලැබී අවසන් ය. එනිසා ගාථා කීමෙන් පලක් නැතැයි තීරණය කිරීමට ඉක්මන් නො විය යුතු ය. රේරුකානේ නායක ස්වාමීන් වහන්සේ ද පෙන්වා දෙන පරිද්දෙන් එයින් වෙන ම ආනිසංසයක් උදා වේ. එනම් ස්තූති පූජාව මඟින් ලැබෙන පින යි.

සාමඤ්ඤඵල සූත්‍ර අටුවාව උදාහරණ කොට පෙන්වා දෙන රේරුකානේ මහ නාහිමියෝ මහා සෑයක් නම් තෙවිටක් ප්‍රදක්‍ෂිණා කොට සතර තැනකත්, කුඩා සෑයක් නම් එසේ ද ප්‍රදක්‍ෂිණා කොට අට තැනකත් සිට වැඳීය යුතු ය. නමුත් ඒ කිසි තැනක ගාථා කී වගක් නො පෙනේ.

සේතව්‍ය නුවර වුසූ ඡත්ත නම් තරුණයා ගුරු පඬුරු ගෙන ඒම සඳහා උක්කට්ඨාවේ සිට සේතව්‍යයට යයි. අතර මඟ දී බුදුන් වහන්සේ හමු වී පුරුදු කරන ලද තෙරුවන් ගුණ ගාථා ද සිහියෙන් කියමින් යන්නේ සොරුන් ගේ හී පහරින් මැරී වැටෙයි. එවිට ම ඔහු දෙව් ලොව උපත ලබයි. සිහියෙන් ගාථා කීමේ ඵලය එය යි. මෙවන් කතා රැසක් පෙළ සාහිත්‍යයෙන් දත හැකි ය. මෙනිසා ගාථා කීම පල රහිත යැයි ඉවත දැමිය නො හැක.

ගාථා කියන්නෝ දෙ වර්ගයකි. අවබෝධයෙන් කියන්නෝ සහ අනවබෝධයෙන් කියන්නෝ වශයෙනි. තේරුමක් නො දැන ගිරා න්‍යායෙන් හෙවත් පුහුණු කරන ලද ගිරව් සේ රැය පහන් වන තුරු ගාථා කීව ද එය වනාහි ගඟට ඉනි කැපීමකි. ගාථාවක් කීමේ දී එය නිවැරැදි සේ ම, එහි අර්ථය අවබෝධයෙන් කිව යුතු ය. ලාංකේය බෞද්ධ සමාජය තුළ එවන් අවබෝධාත්මක ගාථා භාවිතයක් තියා පූජා පැවැත්වීමක් වුව දැක ගත නො හැකි තරම්ය. හුදු ශ්‍රද්ධාවන්තයෝ, කපටියෝ හැටියටත්, හුදු ප්‍රඥාවන්තයෝ මෝඩයෝ හැටියටත් මහාවග්ගපාළි අටුවාව පෙන්වා දෙන්නේ එහෙයිනි.

ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමබර ව පවත්වන්නා නියමාකාරයෙන් මේ පූජා කරන්නේ ජීවමාන බුදුන් වහන්සේට ය යන හැඟීම සහිත ව අවබෝධයෙන් ගාථා කියා පූජා පවත්වයි. (රේරුකානේ මහ නාහිමියන්ගේ ධර්ම විනිශ්චය කියවන්න.)

එසේ ම නූතනයේ බොහෝ දෙනා භාවිත කරන ගාථා නිවැරැදි නො වේ. අර්ථය සේ ම ව්‍යාකරණය ද වැරැදි ය. මෙම තත්ත්වය වෙනස් කළ යුතු ය. එහි ලා මාසික ව බෞද්ධයන් විසින් භාවිත කරන ලද සාවද්‍යය ගාථා අර්ථ සහිත ව නිවැරැදි කොට පෙන්වා දීමට අප තීරණය කෙළෙමු. තත් කටයුත්තේ පදනම වශයෙන් පූජා සහ ගාථා අවශ්‍ය ද යන්න මෙහි දක්වා ඇත.