Print this Article


නොහැකියාව ගැන නොකියවා කළ හැකි දෙය සොයා යන්න

නොහැකියාව ගැන නොකියවා කළ හැකි දෙය සොයා යන්න

" රැකියා විරහිත උපාධිධාරීන් ගේ සංගමයක් ලෝකයේ ම ඇත්තේ අපේ මේ පුංචි රටේ පමණි. යුද්ධයට අවශ්‍ය සන්නාහ සන්නද්ධයෙන් ඔවුන් සමන්විත ය. එහෙත් යුද්ධ නො කරති. යුද පිටියක් තනා දෙනතුරු බලා සිටිති."

දිනක් මා හොඳීන් හඳුනන තරුණයෙක් මට මුණගැසුණි. ඔහු උපාධිධරයෙකි.

" උපාධියත් අවසන් නේද? පුතා දැන් මොනවද කරන්නේ"මම ඔහුගෙන් විමසුවෙමි.

"නිකම් ඉන්නවා ස්වාමීන් වහන්ස"

ඒ, ඔහු ගේ පිළිතුර ය. උපාධිය සදහා රැකියාවක් ලැබෙන තුරු ඔහු කිසිවක් නොකොට හිඳීන්නේ ය. යම් කටයුත්තක් කරන්නට යැයි කීව ද ඔහුට බොහෝ පිළිතුරු තිබුණි. විටෙක එය තමන් ගේ උගත්කමට, නොගැළපෙන බව කියයි. යමක් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය නැති බව කියයි. ඔහු නැති දේ පිළිබඳව ම කියයි.

මේ අපේ සමාජයේ බොහෝ දෙනා ගේ හැටි ය. වෙනත් ලෙසකින් කියනවා නම් මේ, නිකම් සමාජයකි. නිකම් ආවා, නිකම් ගියා, නිකම් කිව්වා, නිකම් ඇහුවා, නිකම් බැලුවා ආදි වශයෙන් අප විසින් කරනු ලබන බොහෝ දේ , කතා කරන වචන, සිතන සිතුවිලි බොහෝමයක් “නිකම්”ය.

'න' කම් යන්න නිකම් වේ. කම් යනු ප්‍රතිඵලදායි කටයුත්තක නිරත වීමයි. න යනු නෑ යන අර්ථය යි. ප්‍රතිඵල දායි නොවන ක්‍රියාකාරකම්, වචන, සිතිවිලි නිකම් යන්නට අයත් වේ. මේ, ප්‍රගතිශීලි, ප්‍රබුද්ධ සමාජයක ශබ්ද කෝෂය තුළ නොතිබිය යුතු වචනයකි.

රැකියා විරහිත උපාධිධාරීන් ගේ සංගමයක් ලෝකයේ ම ඇත්තේ අපේ මේ පුංචි රටේ පමණි. යුද්ධයට අවශ්‍ය සන්නාහ සන්නද්ධයෙන් ඔවුන් සමන්විත ය. එහෙත් යුද්ධ නො කරති. යුද පිටියක් තනා දෙනතුරු බලා සිටිති.

බුදු දහම ලෞකික, පාර ලෞකික, ලොකෝත්තර අභිවෘද්ධිය සාධනය කරන දහමකි. ඒ දහම තුළ වූවෝ ප්‍රබුද්ධයෝ වෙති. ඒ සමාජය ප්‍රගතිශීලි සමාජයකි. බුදු දහම අපට කියන්නේ අතීතය පිළිබඳ ශෝක නොකරන්න. අනාගතය පිළිබඳ අසීමිත අපේක්ෂා නො තබන්න. වර්තමානය තුළ ජීවත් වන්න යනුවෙනි. වර්තමානය තුළ ජීවත් වෙනවා කියන්නේ මේ දැන් කළ යුතු, කළ හැකි දේ කළ යුතු බව යි. කළ හැකි දේ කළ නිසා උසස් දියුණුවක් ලද කෙනකු ගැන කියැවෙන කතා පුවතක් සද්ධර්ම රත්නාවලියෙහි සඳහන් වේ. ඒ, මට්ඨකුණ්ඩලී කතා වස්තුවයි. ධම්ම පදයෙහි යමක වර්ගයේ දෙවැනි ගාථාව විවරණය කරන්නට කියූ ධම්ම පදට්ඨ කථා වස්තුවෙහි දැක්වෙන අටුවා කථාව යි.

අදින්න පුබ්බක නම් වූ බමුණකු වෙයි. ඔහු නමට සරිලන සේ නුදුන් විරූ යන අර්ථයෙහි මසුරෙකි. තණ කොළයක් තෙලෙහි ගා එයින් බිඳුවකදු නුදුන් කෙනෙකි. ඔහුට පුත් කුමරෙක් වෙයි. මේ පුත් කුමරාට කුණ්ඩලාභරණයක් හදන මොහු ඒ සදහා රන් කරුවන් ගෙන ආවොත් බත්, වැටුප් දීම් ආදිය දෙන්නට වෙතැයි සිතා තමා ම ආභරණයක් තනයි. අකුරු නොදන්නා කෙනකුන් පත්වල හිරි හදින්නා සේ යැයි ධර්මසේන හිමියන් ඔහු ගේ ක්‍රියාව උපමාවකින් දක්වයි. විසිතුරු කැටයමින් තොර මට වූ කුණ්ඩලාබරණයක් සකසා ඔහු සවන පළඳවයි. මේ ආබරණය පැළඳී ඔහුට නමක් ද පටබැඳෙයි. ඒ මට්ඨකුණ්ඩලී යන නම යි. මට්ඨකුණ්ඩලී සොළොස් අවුරුදු වියෙහි දී පාණ්ඩු රෝගයෙන් පෙළෙයි. එම රෝගය හට ගැනීමෙන් ද ව්‍යංගයෙන් කියනුයේ දරුවාට පෝෂ්‍යදායි ආහාර නොදුන් බව යි. පාණ්ඩු රෝගයට බෙහෙත් කරද්දී ද ඔහු පෙර ක්‍රමය ම අනුගමනය කරයි. වෙදුන් ළගට ගොස් වෙනත් තොරතුරු කතා කරන අතරෙහි ම පාණ්ඩු රෝගයට කරන ප්‍රතිකාර ද අසයි. එසේ අසා වෙදුන් කියන කොළ, මල්, පොතු , මුල් තම්බා දරුවාට දෙයි. රෝගියකු පැමිණ ප්‍රතිකාර නො අසන නිසා වෙදුන් ද කියනුයේ කටට ආ වදන් ය. මේ ක්‍රමයෙන් දරුවා ගේ රෝගය උත්සන්න වෙයි. දරුවා ගේ මළ ගෙදරට පැමිණෙන අය ගෙයි ඇති වස්තුව දැක මෙ තරම් වස්තුව පැවති මොහු දරුවාට බෙහෙත් කොට සුව නොකළේ ය යන චෝදනාව කරති, යි සිතා දරුවා ගෙයි ඇතුළෙයි නොතබා පිටත තැනක හිඳුවයි.

මහා කරුණාවෙන් ලොව බලන බුදුරජාණන් වහන්සේ මේ කුමරු දුටුවහ. උන්වහන්සේ ආලෝක ධාරාවක් තුළින් තමන් වහන්සේ ගේ රූපය ඔහු ඉදිරියෙහි පෙනෙන්නට සලැස්වූහ. කුමරු ද ඉතා ප්‍රසන්න හැඟුමෙන් ඒ රුව බලා සතුටු විය.

ඒ අවස්ථාවේ දී ම මට්ටකුණ්ඩලී මිය ගොස් දිව්‍ය ලෝකයෙහි උපදින්නේ ය. ඔහු ගේ විමානය රන්වන් ය. දිව්‍යාංගනාවෝ දහසක් පිරිවරා සිටිති. යොදුනක් දිග, පළල, උස ඇති ගැල් හැටක දැමිය හැකි ආභරණ ඔහු සතු වේ. මේ සැප දකින මණ්ට්ඨකුණ්ලී දිව්‍ය පුත්‍රයා මිනිස් ලොව බැලුවේ ය. තමා මිය ගිය සොවින් තම පියා සොහොනට වී හඬන බව දුටුවේ ය.

මිනිස් වෙස් ගෙන සොහොනට පැමිණ, තමන් ද සොහොනෙහි කෙළවරකට වී හඬන්නට වන්නේ ය. ඒ දුටු අදින්න පුබ්බක එතැනට පැමිණියේ ය.

" දරුව, මා ගේ එකම පුතා මළ නිසා මම හඬන්නෙමි. නුඹ හඩන්නේ කුමක් නිසා ද ?"

යි ඇසුවේ ය. මිනිස් වෙස් ගත් දිව්‍ය පුත්‍රයා, තමන් සතු ව රන් මුවා රථයක් ඇති බවත්, ඊට රෝද දෙකක් ඉල්ලා හඬන බවත් පැවසී ය. තමා ගේ පුතා ගේ ම රුව ඇති මේ දරුවා ගැන ඇති වූ සෙනෙහසින් අදින්න පුබ්බක පවසන්නේ රනින්, මැණිකෙන්, දියමන්තියෙන්, රිදියෙන් යන ඕනෑම දෙයකින් රෝද සාදා දෙන බවයි. එහෙත් ඔහු ඉල්ලන්නේ එවැනි රෝද දෙකක් නොව, ඉර හඳ ය. එවිට අදින්න පුබ්බක කියනුයේ මොහු මහා මෝඩයකු බව ය. එවිට මිනිස් වෙස් ගත් දෙව් පුතු කියනුයේ, තමන් පෙනෙන්නට තිබෙන ඉර හඳ ඉල්ලන බවත්, ඔබ නොපෙනෙන කෙනෙක් ඉල්ලා හඩන බවත් ය. ඉදින්, අප දෙදෙනාගෙන් වඩා මෝඩ කවරෙක් ද යනුවෙන් ය. කෙසේ හෝ මෙම සංවාදයෙන් අනතුරුව දිව්‍ය පුත්‍රයා විසින් සියලු තොරතුරු අදින්න පුබ්බකට කියන ලදී. එහෙත් අදින්න පුබ්බකට මෙය අදහා ගත නොහැකි විය. ඔහු බුදුරදුන් ගෙන් ම ඒ ගැන විමසා දැන ගන්නට සිතුවේ ය.

කෙසේ වෙතත් අපි මෙම කථාවස්තුවෙහි දී අදින්නපුබ්බක ගේ මසුරුකම පිළිබද ව උපහාසයෙන් උගනිමු. ඒ පිළිබඳ ව අරුමයක් නැත. ඒ සාම්ප්‍රදායික දැක්ම යි. කෙනකු ගේ ගුණ නවසිය අනූනමයක් නොදකින මිනිසා එක වරද දකියි. එය මිනිස් ස්වභාවය යි. එසේ වුවත් මට්ඨකුණ්ඩලී පිළිබඳ ගුණය ගැන වැඩි අවදානයක් නොදක්වයි. නමුත් මෙම කථාවස්තුව නම් කර ඇත්තේ මට්ඨකුණ්ඩලී කථා වස්තුව ලෙස යි. මෙහි වටිනාම වස්තුව වන්නේ මට්ඨකුණ්ඩලී ගේ ක්‍රියාකාරිත්වය යි.

ඔහු උපතින් ම නො හැකියාව උරුම කර ගත්තෙකි. උපදින්නේ මසුරු පියකු උරුම කර ගෙන ය. ඔහුට පියකරු ආබරණ පමණක් නොව, පෝෂ්‍යදායි ආහාරත් නැත. අසනීප වූ විට ඊට නිසි ඖෂධ නො ලැබෙයි. එවන් දූර්වලතා තිබුණ ඔහුට දන් දෙන්න, සිල් රකින්න, බණ අහන්න, පින්කම් කරන්න අවස්ථාව නොතිබුණි. ඔහුට කළ හැකි වූ දෙය දැකීම හා හා සතුටු වීම පමණි. බුදු රදුන් ගේ ප්‍රතිරූපය දෙස බලා ඔහු ප්‍රසන්න සිතකින් සතුටු විය. එක් ක්ෂණයකින් ඔහු මරණයට පත් වෙයි. ජීවිතයට ම කළ යහපත් ක්‍රියාව ප්‍රසන්න සිතකින් සතුටින් සිනා වීමයි. ඒ නිසා ම ඔහු පරලොව ජීවිතයෙහි අභිවෘද්ධිය උරුම කර ගත්තෙක් විය. මෙයින් අපට දෙන මහා ආදර්ශයක් වෙයි. නො හැකියාව ගැන කෙඳීරිගාමින් සිටිනවා ට වඩා කළ හැකි අල්ප දෙයක් හෝ කරන්නේ නම්, ඒ තුළින් අප ගේ අභිවෘද්ධිය සාධනය කර ගත හැකි බව යි. එය ප්‍රසන්න සිතුවිල්ලක් විය හැකි ය. මිහිරි වදනක් විය හැකි ය. ප්‍රිය මනාප ක්‍රියාකාරකමක් විය හැකි ය. යමක් කරන්නට තිබෙන නොහැකියාව සම්බන්ධ ව පසු තැවිලි වෙමින් සිටිනවාට වඩා, අනාගතය පිළිබඳ ව අපූර්ව ප්‍රාර්ථනා කරමින් සිටිනවාට වඩා මේ මොහොතෙහි දී කළ යුතු දෙයක් වේ නම් එය කළ යුතු යි. එසේ කරන්නට හැකි නම් ඒ තුළින් දියුණුව උදාවෙයි. එය ප්‍රසන්න මනසක උපන්න යහපත් ක්‍රියාවක් නම්, ඒ තුළින් ලබන දියුණුව සංසාර ගමනේ අනන්තයට යයි. මේ ලොකේ දියුණුව ඇති කරයි. පරලොව දියුණුව ඇති කරයි. ලොකෝත්තර දියුණුව ඇති කරයි.

මෙය සාම්ප්‍රදායෙන් තොර ප්‍රබුද්ධ දැක්මයි. ප්‍රගතිශීලි දැක්මයි. සියල්ල ලැබෙන්නේ ප්‍රසන්න සිත තුළිනි. සියල්ලට මුල් වන්නේ සිතයි. සියල්ලට නායකත්වය ගන්නේ සිතයි. සියල්ල සිතට අයත්, සිතින් ම උපදින දේ යි. කෙනකු ගේ පරිහානිය හෝ දියුණුව තීරණය කරනුයේ සිත යි. දියුණුවේ පදනම සිත යි. එසේ නම්, පදනම ශක්තිමත් කර ගත යුතු යි. පදනම පිරිසුදු කර ගත යුතු යි. පදනම ලස්සන කර ගත යුතු යි. එසේ වූ විට එම පදනම මත ගොඩ නැඟෙන ජීවිතය ශක්තිමත් වෙයි. පිරිසුදු වෙයි. අලංකාර වෙයි. ලස්සන වෙයි. එම නිසා සියලු ක්‍රියාකාරකම්, සියලු වචන, සියලු සිතුවිලි ප්‍රසන්න සිතක උපදවමු. එසේ වූ කල එම දියුණුව තමා අත් නොහරින සෙවනැල්ලක් හා සමාන වෙයි. සෙවනැල්ල කිසිදා අප අත් නොහරී. සෙවනැල්ල ආලෝකය ඇති විට පෙනුණ ද, ආලෝකය නැති විට ද සිටියි. අප ගේ ජීවය නැති වුව ද අප්‍රාණික මෘත කලේබරය හා සිටියි. යළි උපදින විට ඒ උපත සමඟ ම සෙවනැල්ල ද උපදී. සෙවනැල්ල නැති වන්නේ අප නැති වූ දාටයි. අප නැති වන්නේ නිවන් දුටු දාටයි. එසේ නම් මේ සෙවනැල්ලේ උපමාව තුළින් ප්‍රකට කරනුයේ නිවන් දක්නා දවස දක්වා ප්‍රසන්න සිතින් කළ කී හා සිතු දෙයෙහි ප්‍රතිඵලය භූක්ති විඳීය හැකි බව යි.දියුණුව තමා තුළ වෙයි. එහෙත් එය දකින්නට සිත දියුණු කර නො තිබීම අවාසනාවකි.

එක් මිනිසකුට දියමන්ති ආකරයක හිමි කරුවකු වෙන්නට අවශ්‍ය විය. ඔහු තමා සන්තක සියලු දේපළ විකුණා දියමන්ති ගෙන එන්නට අප්‍රිකාවට යයි.

ඔහු තම මුදලින් යැපෙමින් දියමන්ති සෙව්ව ද ඔහුට දියමන්ති හිමි නොවිණි. වස්තුව විකුණා ගත් මුදල අවසන් ව ඔහු මහ මඟට වැටිණි. එහෙත් ඒ දේපළ මිළ දී ගත් අය දිනක් එම ඉඩමෙහි ඇති ගලක් දකියි. ඔහු එම ගල පිළිබඳ සොයා බලයි. එය දියමන්ති ඇති තැනක දක්නට ලැබෙන ගලකි. ඔහු එම ඉඩමෙහි දියමන්ති තිබේ දැයි සොයන්නට ඉඩම කණියි. ඔහුට දියමන්ති හමු වෙයි. අවසානයේ ඔහු විශාල දියමන්ති ආකරයක හිමි කරු වෙයි. අප තුළ, අප සිටින භූමිය තුළ අප ගේ දියුණුව පවතියි. කළ යුත්තේ වෙනස් ව සිතීමයි. එසේ සිතා කළ හැකි දේ කිරීම යි. ඒ සඳහා අනවශ්‍ය පෙරනිමිති කිව යුතු නැත. කේන්ද්‍රයෙන්, ග්‍රහ නක්ෂත්‍රවලින් දියුණුව සොයන්නේ, නොපෙනෙන දෙවියන් ගෙන් දියුණුව ඉල්ලන්නේ සිත නොදියුණු මිනිසුන් ය. යමක් කරන්නට පෙර කාලගෝල න්‍යාය ද නොගැළපේ. කාලගෝලයා ගඟට නොබැස ගං තීරයේ සිට ගඟෙහි ගැඹුර දකියි. එහෙත් ගඟට බැස්ස පසු ඔහු සැබෑ ම ගැඹුර දකියි. අපත් එසේ පෙර නිමිති පිළිබඳ දැඩි විශ්වාස නොමැති ව කළ හැකි දේ කළ යුතුයි.

දිවි මඟෙහි දියුණුවේ පදනම වූ සිත ශක්තිමත් කරමු. පෝෂණය කරමු. පිරිසුදු කරමු. අලංකාර කරමු. සිත වඩන සමථ විදර්ශනාදී වූ භාවනාවක නිරත වෙමු.