Print this Article


මරණය ජීවිතයක ආරම්භය සේ ම අවසානය ද නොවේ

මරණය ජීවිතයක ආරම්භය සේ ම අවසානය ද නොවේ

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ඡින්නෝ පි රුක්ඛෝ පුනරේව රූහති
ඒවම්පි තණ්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං
යම් සේ ගසක මුල උවදුරකට

නොපැමිණ ශක්තිමත් වූ කල, ඒ ගස කපා දැමූ නමුත් මුදුන් මුල උවදුරකින් තොරව තිබෙන තාක් කල්, ඒ ගස නැවත නැවතත් වැඩේ ද, එසේ ම තෘෂ්ණානුසය සිඳ බිඳ නොදමන තාක් කල් සත්ත්වයා නැවත නැවතත් මේ සසර ම උපදින්නේ ය. එසේ උපත ලබන සත්ත්වයා ගේ පුනර්භවය තීරණය කරනු ලබන්නේ ඔහු විසින් තිදොරින් සිදු කරනු ලැබූ කර්මයනට අනුකූලව යි. බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ දේශනා කළහ. "කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය" සත්ත්වයා යම් භවයක උපන් මොහොතේ සිට සම්මුති මරණයෙන් මිය යන තුරු ඇසිපිල්ලමක් ගසනවා වැනි සුළු කාලයක දී සිය දහස් වාරයක් ඉපිද ඉපිද මිය යන්නේ ය. මැරී මැරී ඉපදෙන්නේ ය. සංස්කාර ධර්මයන්ගේ ක්ෂණභංගුරත්වය කියන්නේ මෙම ස්වභාවයට යි. නාම රූප ධර්මයන්ගේ මේ ක්ෂණභංගුරත්වය (ඉපදීම හා විනාශ වී යාම) මොහොතෙක් මොහොතක් පාසා වහ වහා සිදුවන හෙයින්, එය ක්ෂණික මරණය නම් වන්නේ ය.

උපන් සියලු ම සත්ත්වයෝ මරණයට මුහුණ දෙති. මරණය යනු පඤ්චස්කන්ධයාගේ බිඳීයාම යි. ආයුෂය, උණුසුම සහ සිත ශරීරයෙන් බැහැර වීම යි. සත්ත්වයා ජීවත් වන්නේ මේ කාරණා තුන ඇතිවිට යි. එහෙයින් මරණය සියල්ලන්ට ම සාධාරණ වූ ධර්මතාවයකි. එයින් බේරීමට මොන ම උපක්‍රමයෙක් වත් නැත්තේ ය. බෞද්ධ දෘෂ්ඨිකෝණයට අනුව කෙනකුගේ චිත්ත සන්තතිය භෞතික ශරීරයෙන් වෙන් වෙනවාත් සමඟ ම මරණය සිදු වේ. එසේ ම එය යළිත් සම්බන්ධවීම තීරණය වන්නේ ඊළඟ ජීවිතයේ ස්වභාවය අනුව වේ. මරණය සත්ත්වයාගේ නව ජීවිතයක ආරම්භය සේ ම, අවසානය ද නොවේ. මරණයත් සමඟ ම තවත් තැනෙක උපත සිදු වන්නේ ය. එය තම තමන් විසින් රැස් කළ හොඳ නරක කර්මයන් අනුව ම සිදු වන්නකි. අන්තිම මොහොත වූ කලි අතිශයින් ම තීරණාත්මක අවස්ථාවකි. සතුට, ප්‍රීතිය, සැනසිල්ල මෙන් ම, බිය, සන්ත්‍රාසය මෙන් ම දුක් වේදනාවන් ද ගෙන දෙන අවස්ථාවකි. කායස්සභේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති - පින් දහම් කළ අය මරණින් මතු සුගතියෙහි උපදියි. සුත්තප්පබුද්ධෝ විය දේවලොකේ නිබ්බතති - නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපදියි. යථාභතං නික්බිත්තෝ එවං නිරයේ - පව් කළ අය හිසෙයි හෝ කයෙහි තිබී බහා තැබූ බරක් මෙන් නිරයෙහි උපදියි. මරණ මොහොතට මුහුණ දෙන තැනැත්තන් විසින් පෙර තමන් රැස් කළ කර්මයක්, කර්ම නිමිත්තක් හෝ ගතිනිමිත්තක් අනායාශයෙන් ම ඔවුන්ගේ මනසට එනු ඒකාන්ත ය. මෙම තීරණාත්මක අවස්ථාව මත මතු ජීවිතය පිළිබඳ අවසන් තීරණය සිදු වන්නේ ය. "කම්මවිපාකා භික්ඛවේ අචින්තෙය්‍යා. න චින්තිතබ්බෝ. යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස" මහණෙනි, කර්මවිපාකය නොසිතිය යුත්තකි. නොසිතිය යුතු ය. එය සිතන තැනැත්තා උමතුවටත් දුකටත් පැමිණේ යනු බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.

පුනරුත්පත්තිය හා පුනර්භවය යන වචන නිතර අපට ඇසෙන වචන දෙකකි. පුනරුත්පත්ති යන වචනයෙන් භවයෙන් භවයට යන නොමියෙන නොදිරන ආත්මයක් ගැන හැඟෙයි. බුදු දහමේ එබඳු ඉගැන්වීමක් ගැන අදහස් නොකරයි. පුනර්භව යන වචනය බොහෝ සූත්‍ර දේශනාවල (නත්ථිදානි පුනබ්භවෝ) යන යෙදුමෙන් පෙනේ. බුදුරජාණන් වහන්සේ සමඟ වාද විවාද කළ බොහෝ දෙනා මරණයෙන් පසු නැවත උපදින්නේ මේ සත්ත්වයා ම දැයි ප්‍රශ්න කළහ. මේ සත්ත්වයා ම යැයි කෙළින් පිළිතුරු දුන්නොත් භවයෙන් භවයට දිගින් දිගට නොනැසී පවතින ආත්මයක් ඇතැයි සිතා ශාස්වත දෘෂ්ඨියට පැමිණෙයි. වෙනත් සත්ත්වයකු යැයි ප්‍රකාශ කළොත් මේ සත්ත්වයා මේ භවයෙන් අවසාන යැයි සිතා උච්ඡේ ද දෘෂ්ඨියට වැටෙයි. මේ දෙකරුණ ම සැලකිල්ලට ගෙන මරණනින් මතු උපදින්නේ මේ සත්ත්වයාමත් නොවේ. අන් සත්ත්වයෙක් ද නොවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙයින් පැහැදිලි වන කාරණය නම් පුනර්භවය ලබන සත්ත්වයා අලුතින් ම හට ගන්නා බැවින් පැරැණි සත්ත්වයාමත් නොවන්නේ ය. එසේ ම පෙර සසර කළ කර්ම විපාක විඳුවන එක ම චිත්ත පරම්පරාවක් පවත්නා හෙයින් වෙනස් වූ අනෙක් සත්ත්වයෙක් ද නොවන්නේ ය.

අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති - සත්ත්වයාගේ සසර පැවැත්මේ අගක් මුලක් දැකිය නොහැකි ය. සත්ත්වයාගේ අගමුල සෙවීම මුළාවකි. සත්ත්වයාගේ සසර පැවැත්මට ප්‍රබල සාධකය වූ කර්ම රැස්කිරීම සිදු වන්නේ ද තෘෂ්ණාව නිසා ය. තෘෂ්ණාව සහමුලින් උදුරා දැමීම භවනිරෝධයට මුල් වේ.