Print this Article


සක් දෙවිඳු ගෙන් මලියදේව මහ තෙරුන් වහන්සේට ආරාමයක්

සක් දෙවිඳු ගෙන් මලියදේව මහ තෙරුන් වහන්සේට ආරාමයක්

" ස්වාමිනි, නුඹ වහන්සේ සත්‍යයක් ම ප්‍රකාශ කරන සේක. හෙට ඉර උදාවී පියවර නවයක් ගිය පසු ආරාම සොළොස ඉදි කොට ඔබ වහන්සේට පවරා දෙන්නෙමි. එතෙක් මෙහි වැඩ වාසය කළ මැනව”යි කීවේ ය."

මලියදේව මහ රහතන් වහන්සේට ශක්‍ර දෙවියන් විසින් මහ මැඳුරක් ඉදිකර දුන් බවට ප්‍රවාදයක් වෙයි. එම ප්‍රවාදය විවිධ ස්වරූපවලින් ගැමි ජනයා පවසති. මෙහි දැක්වෙන්නේ එයින් එක් ප්‍රවාදයකි. දඹදිව යෝනකාරාමයෙහි එක් අන්ධ ස්ත්‍රියක් පුතකු වැදුවා ය. ඔහුගේ පියා ද අන්ධයකි. දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත් ව මව්පියන් ද රැක බලා ගත්තේ ය. ක්‍රමයෙන් වයස්ගත වූ පියා මරණාසන්න විය. සිය පුතු කැඳවා,

“පින්වත් පුතණුවනි, ඔබ විසින් අපට කරනු ලබන උපකාර වෙනුවෙන් පෙරළා දිය යුතු කිසිවක් අප සතු ව නැත. අප ගේ ආශීර්වාදය ගන්න. අප මිය ගිය පසු උතුරු දිගට ඇති මාර්ගයේ ගමන් කරන්න. එහි දී ඔබට පැවිදි උතුමකු ගේ ආරාමයක් පිහිටි වනයක් හමුවනු ඇත. එහි රැඳෙමින් උන්වහන්සේට උපස්ථාන කරන්න. උන්වහන්සේ ගේඋපදෙස් පිළිපදින්න”

යනුවෙන් පැවසී ය. මව්පියන් මිය ගිය පසු ඔවුන් ගේ උපදෙස් අනුව ආරාමය වෙත ගොස් උන්වහන්සේට නමස්කාර කර සිටියේ ය. එවිට තෙරුන් වහන්සේ

“කුමන රටකින්, කුමක් පිණිස පැමිණියේ ද?”යි විමසා සිටියහ. එවිට එම තරුණයා මව්පියන් ගේ උපදෙස් අනුව පැමිණි බව කියා සිටියේ ය. එයින් පැහැදුණු තෙරුන් වහන්සේ ඔහු පැවිදි කරවා තමන් සමීපයෙහි නවතා ගත්හ. කලක් ගතවුණි. ඒ තෙරුන් වහන්සේ ද ක්‍රමයෙන් වයස ඉක්මවා ගොස් ලෙඩ ඇඳට වැටුණහ. දිනක් සාමණේර තෙරුන් වහන්සේ තමන් වහන්සේ සමීපයට කැඳවා

“පින්වත් සාමණේරය, මරණය සඳහා මගේ කාලය පැමිණ තිබේ. ඔබට දීමට මා සතු කිසිවක් නැත. එහෙත් තඹරන් පිළිම සතරක් සහ ස්වර්ණමය පිටවැසුම් සහිත ධර්ම පුස්තකයක් මා සතු වී ඇත. එය ගන්න”

යි කියා එදින රාත්‍රියෙහි තෙරුන් වහන්සේ අපවත් වූ හ. උන්වහන්සේ ගේ ආදාහන කෘත්‍යයෙන් පසු දිනෙක සතරවරම් දෙවි රජවරු දෙව් ලොවෙන් බැස අවුත්

“ඔබ වහන්සේ ගෞතම බුදුන් වහන්සේ ගේ විවරණ දීමෙන් මේ අනාගත කාලයෙහි උපන් සේක. මනාව අසනු ලැබේවා! මහා බෝධි මූලයෙන් තුදුස් රියන් උසැති වජ්‍රාසන මධ්‍යයෙහි බුදුන් වහන්සේ ගේ පාත්‍රා ධාතුව වැඩ සිටින රන් කරඬුවක් තැන්පත් කර ඇත. එය ලබා ගන්න” යි පවසමින් උන්වහන්සේට “මලියදේව තෙරුන් වහන්සේ” යන නාමය ද තබා දෙව්ලොවට ගියහ. දෙවිවරුන් ගේ මඟ පෙන්වීම අනුව මලියදේව තෙරුන් වහන්සේ එතැනට වැඩම කොට මහත් වූ උනන්දුවෙන් බොහෝ කලක් ආයාචනා කර සිටි කල්හි ස්වර්ණමය කරඬුව උන්වහන්සේ ගේ දෝතට වැඩම කළේ ය. ඉක්බිති තෙරුන් වහන්සේ තඹරන් පිළිම සතර ද, රන් බණ පොත ද, ස්වර්ණමය කරඬුව ද රැගෙන ඍද්ධියෙන් අහසට පැන නැඟී ලංකාවේ වැලිගොඩපිටියට වැඩියහ. පිළිම සතර ද, රන් බණපොත ද එහි වැල්ලෙහි සඟවා තබා රන් කරඬුව පමණක් ගෙන පිඬු පිණිස හැසුරුණහ. එහෙත් කිසිවකු වෙතින් හෝ පිණ්ඩපාතය නො ලැබුණේ ය. එබැවින් රජ මාලිගාව දෙසට වැඩියහ. රජතුමා එය දැක අමාත්‍යවරයකු යවා රජ මාලිගාවට වැඩමවා උන්වහන්සේ ගේ දැහැමි බව දැක මහත් සේ ප්‍රසාදයට පැමිණියේ ය. සිහසුනෙහි හිඳුවා රාජ භෝජන වැළඳවීය. තෙරුන් වහන්සේ වළඳා අවසන් වූ කල්හි රජු මෙසේ විමසා සිටියේ ය.

“ස්වාමිනි, ඔබ වහන්සේ කොහි සිට වැඩිසේක් ද?”

එවිට තෙරුන් වහන්සේ, තමන් වහන්සේ දඹදිව යෝනකාරාමයෙහි සිට වැඩම කළ බවත්, රජ තෙමේ ආරාමයක් කරවා එය සුදුසු ලෙස තමන් වහන්සේට පවරාදීම් සිදු කරන්නේ නම්, එයට රිසි බවත් පිළිතුරු ලෙස ප්‍රකාශ කළහ.

එකල්හි රජතුමා තෙරුන් වහන්සේට වන්දනා කරමින්, තමන් දැනට වැව් දෙකක් ඉදිකරමින් සිටින නිසා වහා ආරාමයක් ඉදිකිරීමට නො හැකි බවත්, එම කර්මාන්ත දෙකෙහි කටයුතු අවසන් වූ විගස ආරාමයක් සකසා දෙන බවත්, එතෙක් රාජ මාලිගයෙහි වැඩ සිටින ලෙසත් සිහිපත් කරමින් ආරාධනා කළේ ය. එයට අකැමැති වූ තෙරුන් වහන්සේ අහසට පැන නැඟී දිගට ඇදී යන කසාවන් හුයක් සේ රජුගේ දෘෂ්ටි පථයට දිස් වෙමින් ශක්‍ර භවනයට වැඩම කර ශක්‍ර දෙවියන් අමතා

“දඹදිව යෝනකාරාමයෙහි සිට මම මෙහි පැමිණියෙමි. මට ලක්දිව තලවතුපිටියෙන් ආරාම සොළොසක් පිරිනැමීමට තොපට බුදුන් වහන්සේ විසින් නො අනුදැන වදාරණ ලද්දෙහි ද?”යි විමසා සිටි කල්හි ශක්‍ර දෙවියන් පිළිතුරු දෙමින්

“ස්වාමිනි, නුඹ වහන්සේ සත්‍යයක් ම ප්‍රකාශ කරන සේක. හෙට ඉර උදාවී පියවර නවයක් ගිය පසු ආරාම සොළොස ඉදි කොට ඔබ වහන්සේට පවරා දෙන්නෙමි. එතෙක් මෙහි වැඩ වාසය කළ මැනව”යි කීවේ ය. ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සහ මාතලී දිව්‍ය පුත්‍රයා වහා කැඳවා මිහින්තලයට ගොස් ගල්කණු එකසිය හැටක් තලවතුපිටියට රැගෙන යන ලෙස අණ කළේ ය. ඔවුන් නික්ම ගිය පසු ශක්‍ර දේවේන්ද්‍රයා සොළොස් ආරාමය පිහිටන මිහි මත භූමියට සුවඳ සුනු සහ මල් වැස්සක් වැස්සවී ය. යළි ඒ මත තල තෙල් තවරන ලද වැලි, බොරළු හා මැටි වැස්සක් වැස්සවී ය. මේ වේලෙහි මාතලී සහ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයෝ ගල්කණු තලවතුපිටියට ගෙන ආ හ. ශක්‍ර දේවේන්ද්‍රයා සත් රුවන් ආදී වූ වැසි වැස්ස වූ භූමිය මැන සොළොස් භාගයකට සීමා බෙදා එහි ආරාම සොළොසක් තැනවී ය. ආරාම සියල්ල සකසා අවසන් වූ කල්හි ශක්‍ර දෙවි සහ මලියදේව මහ රහතන් වහන්සේ ශක්‍ර භවනයෙන් නික්මී තලවතුපිටියට ගොඩ බැස්සහ. අනතුරු ව ශක්‍ර දේවේන්ද්‍රයා ආරාම සියල්ල තෙරුන් වහන්සේට පූජා කර කුසල් රැස් කර ගත්තේ ය.

ඉන්පසු තෙරුන් වහන්සේ ගෝඨාභය රජතුමා විසූ පේරාදෙණි නුවරට ගොස්

“මහ රජ, මම විහාරයක් ඉදිකරවා ගත්තෙමි. තොප ද එහි ගොස් බලා පූජා කරව”

යි කීහ. රජතුමා ද ආරාම සොළොස නරඹා මහත් වූ ප්‍රීතියට පැමිණ නාරංගල මුදුනේ සිට ලොහෝ බෙර ගස්වා ඒ හඬ සවන් වැකුණු මානය තෙක් වූ සියලු ඉඩකඩම් මේ ආරාමයට අයිති කොට පූජා කළේ ය. පේරාදෙණි නුවරට පෙරළා පැමිණ හෙතෙම බෙරහඬ සවන් වැකුණේ දැයි බිසෝවරුන් ගෙන් විමසා සිටියේ ය. එවිට බිසෝවරුන් ඒ හඬ සවන් වැකුණු බව ප්‍රකාශ කර සිටි බැවින් “මෙ තැන ද ආරාමයට පූජා පිණිස අයත් වූයේ ය. එ බැවින් මෙහි වාසය කිරීම ද අපට යෝග්‍ය නො වන්නේ ය” යැයි පවසා රජ තෙමේ පිරිස සමඟ මාලිගයෙන් නික්ම ගිය බව පැවසේ.