Print this Article


කාන්තාවට වටිනාකමක් ලැබෙන්නේ චරිතය ලස්සන වූ තරමට යි

කාන්තාවට වටිනාකමක් ලැබෙන්නේ චරිතය ලස්සන වූ තරමට යි

පරවාද ඉවසන සොබාව හැම දෙනා තුළ ම තිබිය යුත්තකි. පියාගේ අදහස එකකි. මවගේ පැතුම වෙනකකි. පුතුගේ අපේක්ෂාව තව දෙයකි. දුවගේ චින්තනය ඊටත් වෙනස්. එහෙත් පරස්පර මේ සිව්දෙනා ම එකම බෝට්ටුවේ - ඔරුවේ යා යුතුයි.

ගත උලන සුවඳ වත්සුණු කැටයක් සේ ආදරය ද ක්ෂය විය යුත්තක් නොවේ. අද්‍යතනයේ නව පරපුරේ ඇතැම් වෛවාහකයන්ගේ ආදරය ඉරිතලා බිඳීගොස් ඇතැම් විට මිනිස් ඝාතන - සිය දිවි නසා ගැන්මෙන් ශෝකාන්ත නාටකයන් වන්නේ ය.

බිරිඳක් නම් ඇය තවත් චන්ද කින්නරියක් විය යුතුයි. බඹදත් රජුගේ හී සැර වැදී මළ සඳ කිඳුරා වැළඳගෙන කඳුළු වැගුරූ ඒ සඳකිඳුරිය ම ආත්ම ලක්ෂ සිය ගණනකට පසුව ද බිම්බාදේ වී (යසෝධරා) සම්බුදු සිරිපා පියුම මත මුහුණ ඔබාගෙන කඳුළු සලා ප්‍රකට කළේ ආත්මයෙන් ආත්මයට ඉඳුකිළ සේ රැකි අචල - අමිල පතිදහමයි. පතිවත ගත බබළන රන් අබරණකට වඩා අගී.

තුරුණු වියේ ගිජිඳකූට නව යොවුන් ඇතින්නක් මිතුරු කර ගැන්ම ලේසි නොවේ. අතු - ගෙඩි කඩා දෙමින් දොළේ - විලේ - ගඟුලේ දී දිය නාවමින් කලක් යනතුරු ම නො වෙනස් ලෙසින්, සැබෑ ලෙසින් සෙනෙහස පෑ පසු යළි කිසිදා මේ ඇතු තමා අත්හැර නොයති'යි ඇතින්නට ඒත්තු ගිය පසුවයි ඒ කෙණෙර මෙවුන් දමට එක්වන්නේ. ඒ ඇතා, ඇතින්න හැරදා ගියොත් රැළේ අනෙක් ඇත්තු ඇයට පහර දෙන්නෝ ය. මැරෙන තෙක් ම පහර දෙන්නෝ ය. ඒ ඇය නො ගැළපෙන, විශ්වාසය කඩ කළ සහකරුවකු තෝරා ගත් වරදට දඬුවම යි. මේ ඇතුන් පිළිබඳ ගවේෂකයින් සොයා ගත් සැබෑ කරුණකි. චිම්පන්සියෙක් තම සහකාරිය කරගත් චින්පන්සි ධේනුව හැර වෙනත් චිම්පන්සියක් හා එක් නොවන්නේ ය. නූගත් සතුන් අතර ඇති උදාර චරියාවන් සමහර උගත් මිනිසුන් අතර ඇත්තේ ද යන්න ගැටලුවකි.

වරක් ඕස්ට්‍රේලියාවේ තරුණ ඉංජිනේරුවෙක් සිය වර්ගයේ යුවතියකට පෙම් බැන්දේ ය. දෙදෙනා එක රියේ නැඟී යද්දී රිය අනතුරකට ලක්ව පෙම්වතා තුවාල වී රෝහල් ගත කෙරුණි. සැත්කමකින් පසුව ඔහුට විවාහ නොවිය හැකි තත්ත්වයක් උදාවිය. ඔබ වෙනත් අයකු තෝරා ගන්න යැයි ආබාධිත පෙම්වතා සිය ප්‍රේමවන්තියට යෝජනා කළේ ය. ඕ සිය පෙම්වතාට ම දිගට ම උපකාරී වූ අතර වෙනත් විවාහයකට පත් නුවූවා ය. ඇය මිය ඇදෙන විට වයස 63 වසරකි. එවිට ද ඕ චරිතවත් මානවිකාවකි. තථ්‍ය (සැබෑ) ප්‍රේමය ඕ ප්‍රකට කළා ය.

විවාහය යනු සැබෑ රංගනයකි. සිනමා තාරකාවක් ,වේදිකා නිළියක් ඇතැම්විට ද්විත්ව චරිත නිරූපණයේ යෙදෙයි. සුබ සරණ බන්ධනයට ඇතුළත් කාන්තාව පළමු ව බිරිඳකි. දෙවැනි ව මවකි. එක ම කාසියේ දෙපැත්ත මෙනි. බිරිඳක සේ නිසි ලෙස කාර්ය සාධනයේ යෙදුන ද දරුවන්ගේ කටයුතු අතපසු කිරීම ඇයට අවසර නැත.

මවක ලෙස අනල්ප වැඩ කොටසක් කළ ද සිය වල්ලභයා (ස්වාමි පුරුෂයා) වෙනුවෙන් කළ යුතු වැඩ කොටස අතපසු කරන්නට ද ඉඩක් නැත. ඒ වැඩ මේ වැඩ නිසා මට නිවනක් නැතැ'යි ආඩපාලි නොකියා දිරිය ගැහැනියක සේ වැඩ කළ විට පවුලේ අභිවෘද්ධිය ගැන කවර කතා ද? ජීවිතයේ පැසුළු යමේ, ජීවිතයේ සැඳෑ සමයේ අපමණ සතුටකින් සැනසුම් සුසුම් හෙළිය හැක්කේ එවිට යි. "දිවූ තරමට හති" යි කටවහරේ යෙදුමක් ඇත. හති වැටි වැටී වුව දිවගත් විට ජයටැඹ එතැන ය.

ආදරයෙන් වෙළී සමඟියෙන් බැඳුණු අඹු - සැමි දෙදෙනකු අතරේ විරසකයක් ගොඩ නැඟී කලහ වාද විවාද ඇති වී භේදභින්න වන්නට හේතු වන තවත් කරුණක් වන්නේ අවිශ්වාසය යි. අස්ථාන සැකය යි. සිය කලත්‍රයා (සහකරු හෝ සහකාරිය) වෙනත් අඹුවක - සැමියකු සමඟ අනියම් සබඳතාවක් ඇතිකර ගෙන ඇතැයි සිතන්නට කරුණු කොතෙකුත් යෙදේ. එහෙත් එය හුදු මිථ්‍යාවක් විය හැක. සැකය වූ කලි මාරාන්තික විෂ බීජයක් වැනි වේ. අනියම් ප්‍රේමයක් ගැන ඇතිවන සැකය තරම් වේදනාවක් විවාහකයනට නැති තරම්. අවිශ්වාසය හදවතේ කැකෑරෙන්නට, නැතිනම් පැසවන්නට ඉඩ නොදී විවෘත සංවාදයකින් එය නිෂ්ප්‍රභ කර ගත හැක. එය යහන් සැහැල්ලේ දී පවා කරගත හැකියි.

අඹු - සැමියෝ ඇතැම් විට රෑ නිදි යහනට ගිය සැණින් නින්දට පත්නොවී අල්ලාප සල්ලාපයේ යෙදෙති. එය 'යහන් සැහැල්ල' නම් වේ. නින්දට පත් දරුවනට ද නො දැනෙන සේ හැම රහසක් ම මේ පැයේ දී සාකච්ඡා කළ හැකි ය. සැකය මානසික වධයක් වී මනෝ ව්‍යාධියක් විය හැක.

ධෛර්ය සම්පන්න ව ධනෝපායනයේ යෙදී කා බී සතුටින් ජීවත් වන - දියුණු වන පවුල් දෙස රටේ තොටේ ඇතැමුන් බලන්නේ ඊර්ෂ්‍යා පරවශ හැඟීමෙනි. එවන් පවුලක් කඩා බිඳ වැටෙන්නේ නම්, සතුටුවන සිත් ඇතැම් කුහකයනට ඇති වේ. ඔවුහු කේළාම් ඈ විවිධ උපායන් යොදා ඒ අහිංසක පවුල් වනසති. අඹු - සැමියෝ කලබල නොවී එවන් බාධක ජය ගැන්මට සමත් විය යුත්තෝ ය. ලෝකය විවිධ යි. විසම යි. භින්න රුචික සමාජයේ අපි ජීවත් වෙමු. එකිනෙකාගේ රස වින්දනය විවිධ යි. පුද්ගලයන් අතරැ මතවාද ගොඩනැඟෙන්නේ භින්න රුචික භාවය නිසා ය. පරවාද ඉවසන සොබාව හැම දෙනා තුළ ම තිබිය යුත්තකි. පියාගේ අදහස එකකි. මවගේ පැතුම වෙනකකි. පුතුගේ අපේක්ෂාව තව දෙයකි. දුවගේ චින්තනය ඊටත් වෙනස්. එහෙත් පරස්පර මේ සිව්දෙනා ම එකම බෝට්ටුවේ - ඔරුවේ යා යුතුයි. අකැමැත්තෙන් වුව බහු මතයට හිස නැමිය යුත්තේ ය. ගිහි සමාජය තුළ පමණක් නොව පැවිදි සමාජය තුළ වුව මත වාද ඇතිවේ.

එපා කිසිවිට කෝප වන්නට අනුන්ගේ අඩුපාඩු දැකලා
හිත නිවාගෙන ගත නිවාගෙන ඉන්න සුවපත් මඟට බැහැලා
අපට ඕනෑ විලස හැම තැන හැම දෙය ම නැති බව ද හිතලා
හිත හදාගෙන සැනසෙන්න ඔබ පිටත ගිනි මැල ඉවත දමලා

නරක ගතිගුණ තිබෙන අය අපි පළමු හඳුනාගන්න ඕනෑ
ඔවුන්ගෙ ම ඇති වටිනා ගුණයක් වේද එය දැන ගන්න ඕනෑ
කරුණු කියලා දුබල ගති හැම ඉවත් කරවා ගන්න ඕනෑ
හදා ගන්නට බැරි ම තැනක දී දරා ඉවසා ගන්න ඕනෑ

දොඩම්ගොඩ අස්සජී නාහිමියන්ගේ මෙම කවි සංකල්පනාව දෙන මා හැඟි ඔවදන ජීවිතයට මහඟු මිණකි.