Print this Article


කය එක තැනක සිත තව තැනක මෙහෙම වන්නේ ඇයි?

කය එක තැනක සිත තව තැනක මෙහෙම වන්නේ ඇයි?

මම දන්නේ නැහැ, මට මොනවා වෙලා ද කියා. මම ඒ වෙලාවේ ඒ විදිහට කතා කළේ, හැසිරුණේ ඇයි“? දැන් මට ලජ්ජයි වශයෙනි. බුදු දහමට අනුව මේ සියලු අසහනකාරී, පීඩාකාරී, දුක් ගෙන දෙන හේතුවලට ප්‍රධාන වන්නේ නම් “ඒ මොහොතේ ජීවත් නොවීමයි.

මොන ලෝකෙ ද ඉන්නේ? පන්ති කාමරයේ දී ගුරුවරයා විසින් දරුවන්ට මෙලෙස කියනු ලබන අවස්ථා මොන තරම් ද? ඔබ රැකියාව කරන කාර්යාලයේ දී හෝ යම් සේවා ස්ථානයක දී එකට සිටින අය කී වතාවක් ඔබ ගෙන් එසේ අසා තිබේ ද? එලෙස ම ඔබත් අන් අයගෙන් ඒ ආකාරයෙන් ම අසා තිබෙනවා නේද? නිවෙසේ දී නම් "ඔය කරන වැඩත් නතර කරගෙන මේ තරම් කල්පනා කරන්නේ මොනවාදැ"යි ස්වාමියා බිරිඳගෙන් ද , බිරිඳ ස්වාමියාගෙන් ද, අම්මා, තාත්තා දරුවන්ගෙන් ද මොන තරම් අසනවා ද?

යම් අවස්ථාවක කෙනෙක් කල්පනා කරන්නේ අතීතය ගැන ය. නැති නම් අනාගතය ගැනය. ශාරීරික ව මේ මොහොතේ එක් තැනක සිටියත් සිතින් වෙනත් තැනක ය. අතීතය , අනාගතය පිළිබඳ ව සිතීම වරදක් නොවේ. එහෙත් ජීවත්වන මේ මෙහොතෙන් හෝ, වර්තමානයෙන් ඉවත් ව අතීතය හෝ අනාගතය ගැන සිතීමට යෑමෙන් වර්තමානය අවුල් වීමට තිබෙන ඉඩකඩ වැඩි ය.

මේ මොහොතෙහි ජීවත් වෙමින් අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගතය පිළිබඳ සැලසුම් කිරීමේ වරදක් නැත. එහෙත් ජීවත්වන මේ මොහොත අමතක වූ විටෙක ඔබේ ම වචන සහ ක්‍රියාවන්, ඔබට මෙන් ම ඔබ අවට සිටින අන් අයට ද පීඩාකාරී බවක් ගෙන දේ නම්, මේ මෙහොතේ ඔබ කළ යුතු දේ නිසි ආකාරයට කර ගැනීමට බැරි වුවහොත් ඊළඟට එළැඹෙන මොහොත අවුල් හෝ නොසන්සුන් විය හැකි බව නම් පැහැදිලි ය. නිවෙසක් ඉදිකිරීමේ දී තබන සෑම ගඩොලක් ම නිසි පිළිවෙළට, ශක්තිමත් ව තිබිය යුතු ය. එසේ නොවූයේ නම්, බිත්තියෙහි ශක්තිය පිළිබඳ අවදානමක් ඇතිවේ. එලෙසම මේ මොහොත ශක්තිමත් නොවන්නේ නම්, ඊළඟ මොහොත අවධානම් වේ. පාසල් යන දරුවෙක් සරල ම උදාහරණයක් ලෙස ගනිමු. කල්පනාකාරී නොවීමෙන් මේ දරුවා පාසලට ගෙන යා යුතු පොතක් අමතක කිරීමෙන් ඇතිවන තත්වය කුමක් ද? පන්ති කාමරයේ නොසන්සුන් පරිසරයක් ගොඩනැඟීම ය. රැකියාවක් කරන අයෙක් නම්, ලිපි ලේඛන හෝ යතුරු අමතක වීමෙන් ගැටලුකාරී තත්වයන් මතුවිය හැකි ය. ඒ වගේ ම නිවසේ දී ඒ මෙහොතෙහි ජීවත් ව නොසිට, වෙනත් දේ ගැන සිතමින් කටයුතු කිරීම හේතුවෙන් විවිධ කරදරවල පැටලිය හැකි ය. උඳුනට අත පිළිස්සිය හැකි ය. කෝප්පය, පිඟාන, බිමට වැටී බිඳීය හැකි ය. එපමණක් ද නොවේ. අත පය දොරේ, උළුවස්සේ, මේස පුටුවල කොපමණ නම් ගැටේ ද? එවන් විටෙක එසේ වීමෙන් ඇති වූ වේදනා විඳීම් අමතක ද නොවිය හැකි ය. මේ මොහොතෙහි ජීවත් නොවී ඔබ ම කියන ආකාරයට අමතක වීමෙන් හැඳුනුම්පත නැතිව විභාගයකට ගියහොත් ඔබට කොපමණ නම් කරදරයකට මුහුණ පෑමට සිදුවෙනු ඇති ද?

නොගැළපෙන හා වැරැදි සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් මවු පදවිය, පිය පදවිය, ස්වාමි පුත්‍රයෙක්, ස්වාමි දියණියක බව පමණක් නොව මනුස්සකමත් අමතක විය හැකි ය. යහපත් සිහි නුවණ පහළ වන විට ඔබ වෙනත් දෙයක් කිව හැකි ය. “මම දන්නේ නැහැ, මට මොනවා වෙලා ද කියා. මම ඒ වෙලාවේ ඒ විදිහට කතා කළේ, හැසිරුණේ ඇයි“? දැන් මට ලජ්ජයි වශයෙනි. බුදු දහමට අනුව මේ සියලු අසහනකාරී, පීඩාකාරී, දුක් ගෙන දෙන හේතුවලට ප්‍රධාන වන්නේ නම් ඒ මොහොතේ ජීවත් නොවීමයි. “මේ මෙහොතෙහි ජීවත් නොවීම“ දහමෙහි අර්ථ ගැන්වෙන්නේ ‘සතිය‘ යනුවෙනි. ‘සතිය‘ තව ටිකක් විමසන්නේ නම් ඒ මොහොතෙහි මනා සිහි නුවණින් යුතුවීම (යෝනිසෝමනසිකාරය) සිහි නුවණින් විමසා බලමින් කටයුතු කිරීම (සම්පජඤ්ඤ) නැවත නැවත විමසා බලමින් කටයුතු කිරීම (අනුපස්සනා) පරික්ෂාකාරී ව හා මැනවින් දැන කටයුතු කිරීම (සම්පජානකාරී) ආදී වශයෙන් කරුණු රැසකින් පැහැදිලි වේ.

ඔබගේ එදිනෙදා ජිවිතය ඉතා ම කාර්ය බහුල වී ඇති බව සැබෑවකි. ඒ නිසා ඔබ මනසින් අතීතයට, වර්තමානයට මෙන් ම අනාගතයට ද වශයෙන් එහා මෙහා ගමන් කරමින් එක් අවස්ථාවක දී කටයුතු කීපයක් කරමින් හෝ කරන්නට උත්සාහ කරමින් නොසන්සුන් මනසකින් වෙහෙසකාරී හා කලබලකාරී ව ජිවත්වන බව ද පෙනේ. මේ ජිවන ගමනේ මෙවන් වූ වෙහෙසකාරී බව හේතුවෙන් කේන්තිය, නොරුස්නාගතිය මෙන් ම අමනාපය ඇති වේ. එයින් පළමුව තම පවුල තුළ ම අඬදබර ඇතිව පවුල් පරිසරයෙහි සාමකාමී බව නැතිව යයි. කාර්යබහුල පරිසරයක වුව ඒ මොහොතහි කරන කාර්යය කෙරෙහි පමණක් ම සිත යොමු කර ගෙන සන්සුන් ව කටයුතු කරන්නේ කෙසේ ද? සතිය පුරුදු කිරීමෙනි.

‘සතිය‘ පුරුදු කිරීම හිමිදිරියේ තම නිවෙසින් ම ආරම්භ කළ හැකි ය. අප දත් මදින, මුහුණ සෝදන, හිස පීරන ආදී සෑම අවස්ථාවක් ම සිහි නුවණින් කිරීමට පුරුදු විය යුතු ය. එවිට මනස නිරවුල් වේ. නිරවුල් මනසින් සිදු කරන සෑම දෙයක් ම නිරවුල් ව හා පිළිවෙළට කිරීමට ලැබෙන බව හොඳට ම විශ්වාස ය.

නවීන තාක්ෂණයට අනුව පරිගණකය පරිහරණය කරන ආකාරය විමසා බලමු. එක විට වැඩ සටහන් කීපයක් කිරීමට උත්සාහ කළ හොත් බොහෝ අවස්ථාවක සියල්ල අවුල් වී හෝ මැකී යන්නට හැකි ය. ඒ නිසා ඒ මොහොතෙහි කරන කාර්යය පිළිබඳ ව සිත යොමු කර ගන්නා විටක, සිහි නුවණින් යුතුව විමසා බලා ක්‍රියා කිරීමට අවස්ථාව ඇති වේ. එසේ නොමැති වුවහොත් ‘මගේ ඔළුව අවුල් වෙලා“ කිසි දෙයක් හරියට කර ගන්න බැහැ‘ යන්නෙන් ඔබ ඔබට ම කියන්නට පුළුවනි.

පරිසරයත්, සිතත්, කලබලකාරී නම් තත්පර කිහිපයකට සියලු වැඩ කටයුතු නතර කර දීර්ඝ හුස්මක් ගන්න.

ක්‍රමයෙන් එය පහළට හෙළන්න. සිහිය පිහිටුවාගෙන ආශ්වාස, ප්‍රාශ්වාස කිරීම අත්‍යවශ්‍ය ය. ඒ ආකාරයෙන් සිත සන්සුන් වූ පසු කළ යුතු වැඩ එකින් එක ක්‍රමයෙන් සිදු කළ යුතු ය. ඒ මොහොතෙහි ජීවත් වෙමින් වැඩ කටයුතු කරන්නට පුහුණුවන ක්‍රමය මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් වේ. “ගමන් කිරීමේ දී ද, හිටගෙන ඉන්නා විට ද, හිඳ සිටින විට ද, නිදන විට ද, නො නිදා සිටිමෙහි ද, කතා කිරීමේ දී ද, නිශ්ශබ්ද ව සිටින විට පවා මැනවින් දැන සිදු කරන්න යන්න යි.

මෙයින් අදහස් වන්නේ කය පවත්වා ගැනිමේ මනා සිහි නුවණින් යුතුව ඒ ඒ කාර්යයෙහි නිරතවිය යුතු බව ය. ඒ වගේ ම ඒ මොහොතෙහි ජීවත් වෙමින් සිහි නුවණින් යුතුව සිටින විට සිතට දැනෙන සිතිවිලි ද මැනවින් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබේ.

අකුසල සිතිවිලි ඉවත් කර කුසල සිතිවිලි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවේ. සිහි නුවණින් යුතු ව නො සිටින්නේ නම්, හොඳ නරක තේරුම් ගත නොහැකි ව බොහෝ විට නරකට ම මේ සිත ඇදී යයි.

අපි තරහව ගැන සිතා බලමු. සිත මෙන් ම සිතිවිලි පිළිබඳ ව දැන ගනිමින් සිහි නුවණින් යුතුව සිටින්නට පුරුදු වන්නේ නම්, අකැමැති අරමුණක් සිතින් ගන්නා විට අමනාපය, නුරුස්නා බව හා තරහව ඇතිවන්නට එය හේතුවක් විය හැකි බව දැන ගනී. ඒ බව දැනගත්විට තරහවේ නරක විපාක දැන, තරහ ගැනීමෙන් වැළකී සිටින්නට අවස්ථාව ලැබේ. ඒ මොහොතෙහි සිහි නුවණින් නොසිටියහොත් අකමැති අරමුණ සිතට ගැටෙන විට ම තරහ සිතිවිලි හට ගනී. බොහෝ දෙනා කියන්නේ “මම තරහයි‘, ‘මට තරහ ගියා‘ හෝ ‘මට තරහ ආවා‘ යනුවෙනි. මෙහි අදහස නම්, ඔවුන් දන්නේ තරහ සිතට ආවාට පසුව බව නේද? එසේ නොමැති ව තව මිනිත්තුවකින් මම තරහ ගන්නවා යැයි කිසිවෙක් නො කියති.

මෙලෙසින් සිත ගැන අවදියෙන් සිටීමෙන් බොහෝ මානසික පීඩාකාරී සිතිවිලිවලින් එනම් ලෝභ, දෝස, මෝහයෙන් වැළකී සිටීමටත්, ඒවා ක්‍රියාත්මක නොකිරීමටත් හැකියාව ලැබේ. ඔබ ගන්නා ආහාර වේල කුමක් වූව ද එය සතුටින් කෑමට ගැනීම සඳහා ඒ මොහොතෙහි ජීවත්විය යුතු ය.