Print this Article


අඩසියවසක් උත්තම සධාතුක කරඬුව වැඩමකර වූ දළදා මාළිගාවේ බෝසත් රාජා

අඩසියවසක් උත්තම සධාතුක කරඬුව වැඩමකර වූ දළදා මාළිගාවේ බෝසත් රාජා

තවත් දිනක් හෙතෙම කටුගස්තොට ප්‍රදේශයේ දී මහා මාර්ගයේ දිවයන්නට වූ අතර, මෙයින් තැතිගත් මිනිසුන් පාර පුරා දිවයන්නට විය. මේ අතර මාර්ගයේ සිටි එක් අන්ධ පුද්ගලයකු කිසිවක් කරකියාගත නොහැකි ව මහමඟ සිටිනු දුටු රාජා ඇතු ඔහු වෙත දිව ගොස් තම හොඬයෙන් ඔහු ඔසවා මාර්ගයේ පැත්තකින් තබා ගොස් තිබේ.


අවසන් වතාවට දවල් පෙරහරේ ගොස් දළදා කරඬුව රැගෙන ආදාහන මලුවේ සිට දළදා මාලිගාවට පැමිණීම 1987

මහනුවර ඇසළ පෙරහර ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අපූර්වත්වය ලොවට කියාපාන සංස්කෘතික දැක්මක් ලෙස හැඳීන්වීම නිවැරැදි ය. දළදා පෙරහර පැවැත්වීම උත්තම පූජාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

දළදා සම්ප්‍රදායන්ට අනුකූල ව වාර්ෂික ව ඇසළ මාසයේ එළඹෙන නැකැත් අනුව සිදුකරන හෙයින් “ඇසළ පෙරහර” ලෙස ද එය ප්‍රකට ය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා අලි ඇතුන් අතර ඇත්තේ නොබිඳීය හැකි සම්බන්ධයකි. ඉතා මනරම් ලෙස සරසන ලද අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් සහභාගි වන පෙරහර ලෙස දළදා පෙරහර හැඳීන්වීම වටී. අලි ඇතුන් හිමිකරුවන් දළදා පෙරහරට අලි ඇතුන් එකතු කරන්නේ එය මහත්ඵල උදාවන පිනක් ලෙස සලකමිනි. එහිදී දළදා පෙරහරේ අති පූජනීය වස්තුව ලෙස සලකන සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වන්නේ මංගල ලක්ෂණ සහිත හස්තියකුට පමණි. එම වාසනා ගුණය සැපරීම හේතුවෙන් අඛණ්ඩ ව අඩසියවසක් උත්තම සධාතුක කරඬුව වැඩමකරවීමේ භාරදූර කාර්යය ඉටුකළ දළදා මාළිගාවේ රාජා ඇතා මියගොස් වසර 33ක් සැපිරේ. බෞද්ධ ජන සමාජයේ සදා අමරණීය රාජා ඇතු සත්ව ලෝකයේ අමරණීය වන්නේ ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතා රාජා ඇතු බැවිනි. එපමණක් නොව මියගිය පසු සිරුර සංරක්ෂණය කර කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තැබූ මෙරට පළමු හස්තියා සේ ම ලොව දෙවන හස්තියා වන්නේ ද රාජා ඇතු ය.


සංරක්ෂණය කර ඇති රාජා ඇතුගේ සිරුර

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ අවස්ථාව හිමි වූයේ මංගල හස්තියකුට පමණි. මංගල හස්ති රාජයකුට භූමි ස්පර්ශ ස්ථාන හතක් හෙවත් හත්පොළ වැඳුම් පිහිටා තිබීම අනිවාර්ය වේ. එම ස්ථාන වන්නේ සතර පා, ඇත් හොඬය, ලිංගය හා වලිගය යි. ඊට අමතරව මඟුල් ඇතකු සතුව තවත් ගුණාංග රාශියක් පැවතිය යුතු වේ. ඒවා නම් පුළුල් පිට, පුළුල් කුඹුතල, උදාර ලීලාව, තේජාන්විත දළ යුවල හා මනා කීකරුකම ය. සධාතුක කරඬුව වැඩම කරවීමේ සුදුසුකම් ලත් මංගල ඇතු තෝරාගැනීමේ දී දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල සහ ඇතුන් පිළිබඳ ව කටයුතු කරන සියලු දෙනා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹීම සම්ප්‍රදාය යි. එම සියලු සුදුසුකම් සපිරූ සුවිශේෂී හස්තියකු ලෙස රාජා ඇතු කැපී පෙනේ.

රාජා ලෙස ජනාදරයට පත්වූ මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ තිබූ ඝන කැලෑවකිනි. එකල අලි ඇතුන් ඇල්ලූ පුද්ගලයන් මට්ටයන් ලෙස හඳුන්වා ඇති අතර, ඒ අනුව උමේරු ලෙබ්බේ නැමැති පුද්ගලයා ඇලි ඇතුන් ඇල්ලීම සඳහා රජයෙන් ලබා දෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5වන දින මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත. ඒ වනවිට ඇත් පැටවාගේ වයස අවුරුදු 10ක් පමණ වූ අතර උස අඩි 4 අඟල් 5කි. මෙම ඇත් පැටවා දුටු මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව ඇත් පැටවා අල්ලාගත් ලෙබ්බේවරයාට 1925 වසරේ දෙසැම්බර 11වන දින රුපියල් 3300ක මුදලක් ගෙවා මිලට ගෙන ඇත. එසේ මිලට ගත් ඇත් පැටවා දෙසැම්බර් 30වන දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරියකු වූ විශ්වලිංගම් මහතා විසින් මඩකලපුවේ සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ප්‍රවාහනය කිරීමට ලබාදුන් බලපත්‍රය හරහා ප්‍රවාහනය කර තිබේ. මෙසේ මාම්පිටිය දිසාවගේ ගිරාගම වලව්වේ වසර 12ක කාලයක් හැදීවැඩුණු රාජා ඇතා දළදා මාළිගාවට පූජා කිරීමට හෙතෙම අදහස් කර ඇත. ඒ අනුව 1937 ජූලි මස 31වන දින ඇතු දළදා මාළිගයට භාරදී ඇති අතර , ඒ වනවිට ඇතා වයස අවුරුදු 22ක් හා උස අඩි 8ක් තරම් වූ සද්ධන්තයකු විය. මෙසේ දළදා මාළිගාවේ සේවයට බැඳුණු රාජා ඇතු එම වසරේ දළදා පෙරහරට එකතු කර ගැනීමට එකල දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ටිකිරි බණ්ඩාර රත්වත්තේ මහතා කටයුතු කර ඇත. එතැන් පටන් 1987 වර්ෂය වන තෙක් අඛණ්ඩ ව අඩසියවසක කාලයක් අති පූජනීය සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවූයේ රාජා හස්තියාට ය.

මිනිසකුගේවන් ගති පැවතුම්වලින් යුත් රාජා ඇතු සමඟ බැඳී අපූරු පුවත් රාශියක් වේ. 1955 වසරේ මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ගමන් කරන අවස්ථාවේ දී සධාතුක කරඬුව වැඩම කරවමින් සිටි රාජා ඇතු එකවර ම මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිට දී නැවතී ඇත. රාජාගේ මෙම හැසිරීමත් සමඟ ම පෙරහර ඉදිරියට ගමන් කිරීම අඩාලවී ඇති අතර, කොතරම් උත්සාහ ගත්ත ද රාජා ඇතු ඉදිරියට යාමට මැළිවී ඇත. පසුව එම ස්ථානයට පැමිණි නුගවෙල නිලමේතුමන් ඇත්ගොව්වන් ලවා කරඬුව තැන්පත් කර තිබූ රන්සිවිගෙය පරීක්ෂා කිරීමේ දී පෙනීගොස් ඇත්තේ රන්සිවිගෙය ඇතුගේ පිටට බැඳ තිබූ රැහැන් පටි සියල්ල කැඩී ඇති බව ය. රාජා ඇතු නැවතී ඇත්තේ තව එකදු පියවරක් හෝ ඉදිරියට ගියේ නම් ඉන් සධාතුක කරඬුවට හානියක් වන බැවිනි. 1959 වසරේ ඇසළ පෙරහරේ දී මහා අලි කුලප්පුවක් සිදු වූ අතර පෙරහරේ ගමන් ගත් ශිල්පීන් මෙන්ම පෙරහර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිවයන්නට විය. නමුත් මේ සියල්ල සිදුවෙද්දී සධාතුක කරඬුව පිට මත තබා ගත් රාජා ඇතු කිසිදු කලබලයක් නොමැති ව නිසොල්මනේ සිට ඇත. ඒ සධාතුක කරඬුව කෙරෙහි ඇති අති මහත් ගෞරවය නිසාවෙනි. පාවඩ මතින් කරඬුව වඩමවන රාජා ඇතු පාවඩ එළා නොමැති කිසිදු විටක පියවරක් හෝ ඉදිරියට යාම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වනාහි පෙරහර චාරිත්‍ර පිළිබඳ ව එම ඇතුට තිබූ මහත් ගෞරවය යි.

ඉතා කීකරු හස්තියකු වූ රාජා දිනක් මහනුවර දී ලොරි රථයකට පහර දී අලහභානි කර තිබූ අතර, පසුව කළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ එය රා ප්‍රවාහනය කළ ලොරියක් බවයි. තවත් දිනක් හෙතෙම කටුගස්තොට ප්‍රදේශයේ දී මහා මාර්ගයේ දිවයන්නට වූ අතර, මෙයින් තැතිගත් මිනිසුන් පාර පුරා දිවයන්නට විය. මේ අතර මාර්ගයේ සිටි එක් අන්ධ පුද්ගලයකු කිසිවක් කරකියාගත නොහැකි ව මහමඟ සිටිනු දුටු රාජා ඇතු ඔහු වෙත දිව ගොස් තම හොඬයෙන් ඔහු ඔසවා මාර්ගයේ පැත්තකින් තබා ගොස් තිබේ. එසේම 1986 වසරේ දී රාජා ඇතුගේ ඇත් ගොව්වා දැඩි ලෙස රෝගාතුරවී රෝහල්ගත කර ඇති අතර, එයින් තම වගකීම මනාව වටහාගත් ඇතු තම ඇත් ගොව්වා නොමැති ව තනිව ම සධාතුක කරඬුව වැඩමකරවා ඇත.

1987 වසරේ ජනවාරි මස 1වැනි දා උත්සව අවස්ථාවක් සඳහා පේරාදෙණිය පාරේ සිට කටුකැලේ දෙසින් දළදා මාළිගයට පැමිණෙමින් සිටි රාජා ඇතු රිය අනතුරකට මුහුණදී තිබේ. එහිදී ඇත්ගොව්වා එම ස්ථානයේ දී ම මියගොස් ඇති අතර, තුවාල ලැබූ රාජා කිසිදු කලබලයක් නොකර කොර ගසමින් ම දළදා මාළිගාවට පැමිණ ඇත. මේ වනාහි රාජා ඇතුගේ ජීවිත කතාවෙන් බිඳක් පමණි.

රාජා ඇතු තම සේවය දියවඩන නිලමේවරු සය දෙනකු යටතේ ලබා දීමට කටයුතු කර ඇති අතර, ඔවුන් වන්නේ ටී.බී.රත්වත්තේ (1937-1947), සී.බී.නුගවෙල (1947-1961), හැරිස් රත්වත්තේ (1961-1964), එච්.බී.උඩුරාවන (1965-1975), නිශ්ශංක විජේරත්න (1975-1985) සහ නිරන්ජන් විජේරත්න (1985-1988) යන නිලමේවරුන් ය. 1987 වසරේ සිදුවූ රිය අනතුරෙන් පසුව රාජා ඇතු දිගින් දිගටම රෝගාතුරවී ඇති අතර, වසර 75ක් ආයු වළදා 1988 වසරේ ජූලි මස 16වන දින උදෑසන දහයයි දහතුනට දියවඩන නිලමේවරයාගේ නිල නිවසට අයත් භූමියේ දී මියගොස් ඇත.

රාජා ඇතු අඩසියවසක් කළ අනුපමේය සේවය හේතුවෙන් 1986 වසරේ අගොස්තු මස 20 වන දින එවකට ජනාධිපති ව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් රාජා ඇතු ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබ ඇත. එසේ ම මියගිය ඇතු වියළා සංරක්ෂණය කර 1989 වසරේ දෙසැම්බර් මස 12වන දින දළදා මාළිගාවත් පැරැණි රජ මාළිගයත් අතර ඇති ගොඩනැඟිල්ලක තැන්පත් කර මහජනයා සඳහා විවෘත කර ඇත. එදින ම ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිවේදන අංක 182 යටතේ රාජා ඇතුගේ රුව ඇතුළත් මිලිමීටර් 29ඔ36 ප්‍රමාණයේ ශත හැත්තෑපහක වටිනාකමින් යුත් මුද්දරයක් නිකුත් කර ඇත. මේ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය මෙන් ම, මියගිය පසු සංරක්ෂණය කර ප්‍රදර්ශනයට එක්කළ මෙරට පළමු හස්තියා මෙන් ම ලොව දෙවැනි හස්තියාගේ ගෞරවයට ද හිමිකම් පාන්නේ රාජා ඇතු ය. ඒඅඩසියවසක සේවය වෙනුවෙන් කළ උපහාරයක් වැනි ය.