Print this Article


පූජාච පූජනීයානං

අනූනව වැනි වියට සැපත්වන කුඩාහීල්ලේ පඤ්ඤාසේකර නා හිමි

මාතර ඌරුගමුවේ රන්නාවල ශ්‍රී තපෝධනාරාමාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහෝපාධ්‍යාය, ශාස්ත්‍රවේ දී අතිපූජ්‍ය කුඩාහීල්ලේ පඤ්ඤාසේකර නාහිමි ලක්දිව සම්භාවනීය ථේරවාදී භික්ෂූ පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩ වෙසෙන උපශාන්ත ගතිගුණයන් ගෙන් පිරිපුන් සුපේසල ශික්ෂාකාමී චිරරාත්‍රඥ මහා යතිවරයන් වහන්සේ නමකි.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාගම් දොළොස් දහසට අයත් ගිරුවාපත්තුවේ බටහිර කෙළවරේ පිහිටි “කුඩාහීල්ල“ නමැති පෞරාණික සුන්දර ගම් පියසක් වෙයි. සැදැහැවත් සොඳුරු මිනිසුන් වසන එම ගම් පියසේ විසූ ප්‍රභූ පරපුරකින් පැවතෙන දොන් දියෝනිස් රත්නායක මහෝපාසක මහතාණන් ගේ හා දෝන සිසිලියානා මහෝපාසිකා මාතාව ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1923 සැප්තැම්බර් මස 28 වැනි දින කුඩාහීල්ලේ පඤ්ඤාසේකර නා හිමියෝ ජන්ම ලාභය ලැබූහ. ගිහි කළ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බෙලිඅත්තේ පඤ්ඤානන්ද පාසලින් සහ කුඩාහීල්ල මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිට ම මහත් සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1936 ජූලි මස 31 වැනි දින රන්නාවල තපෝධනාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් කුඩාහීල්ලේ නා හිමියන් ගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ ඌරුගමුවේ සුමනතිස්ස මාහිමි ය. ප්‍රව්‍රජ්‍යාචාර්යවරුන් වූයේ ඌරුගමුවේ පඤ්ඤාසීහ මාහිමි සහ කුඩාහීල්ලේ පඤ්ඤාරංසි මාහිමි ය. පාරිවේණික අධ්‍යාපනය ලැබීම සඳහා මුලින් ම ඇතුළත් වූයේ මාතර ශ්‍රී සුදර්ශි පරිවේණස්ථානයට යි. ඉක්බිති ව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ උන් වහන්සේ තව දුරටත් ස්වකීය ධර්ම ශාස්ත්‍ර හා ප්‍රාචීන භාෂා ඤාණය මනාව ප්‍රගුණ කර ගත්හ. එවකට එහි වැඩසිටි කුශාග්‍ර බුද්ධිමත් යතිවරයන් වහන්සේ වෙතින් ධර්ම ශාස්ත්‍රාධ්‍යයනය ලැබීමට තරම් කුඩාහීල්ලේ නා හිමියෝ භාග්‍යවන්ත වූ හ. තදනන්තර ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය ද හිමිකර ගත්හ. වර්ෂ 1945 ජුනි මස 12 වැනි දින වැලිතර මහා කප්පින වලව්ව අසල මහදු නදියේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ.

ඉක්බිති ව රජයේ පාසල් ගරු සේවාවට එක් වූ කුඩාහීල්ලේ නාහිමි ඌරුබොක්ක මහා විද්‍යාලය, බෙරලපනාතර විද්‍යාලය, ගන්දර මහා විද්‍යාලය, ගල්පමුණ මහා විද්‍යාලය සහ දෙමටපිටිය මහා විද්‍යාලයෙහි ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස ක්‍රියා කළහ. එසේ ම ඌරුබොක්ක මහා විද්‍යාලයේ සහ දෙමටපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයන් ද දැරීය. වර්ෂ 1948 ජනවාරි මස 01 වැනි දා ගුරු සේවයෙන් ඉසිඹු ලැබී ය. එයින් පසුව ද වැවුරුකන්නල විද්‍යාතුංග විද්‍යායතන පරිවෙනෙත්, දික්වැල්ල කුමාරතුංග මුනිදාස මහා විද්‍යාලයේත්, රදම්පොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේත්, ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස ස්වෙච්ඡාවෙන් සිදු කළ සේවාව ද බෙහෙවින් ම සම්භාවනාවට ලක්විය යුතු ය.

ඌරුගමුවේ මීගස්දෙණිය රජයේ විද්‍යාලය සහ මාතර කොටුවේගොඩ ජයසුමන පිරිවෙන ඇරඹීමෙහි ලා පුරෝගාමී වූ කුඩාහීල්ලේ නා හිමියෝ දහම් පාසල් හා පෙර පාසල් කිහිපයක් ම ඇරඹීමට ද මුල් වූ හ. එසේ ම දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂික මණ්ඩලයේ සභාපති ලෙස රන්නාවල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ලෙස ද සමථ මූල මණ්ඩලයේ සාමාජිකත්වය ද දරමින් ප්‍රදේශයට සිදු කළේ මා හැඟි සේවාවකි.

කුඩාහීල්ලේ නා හිමි විසින් ඌරුගම් දහඅටේ ධර්ම දේශනයක් නො පවත්වන ලද විහාරස්ථානයක් නොමැති තරම් ය. ඌරුගම් දහ අට ප්‍රමුඛ ව දිවයිනේ සතර දිග් භාගයේ උන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනා ප්‍රමාණය දහස් ගණනකි. බොහෝ වයෝවෘද්ධ ව වැඩසිටිය ද කුඩාහීල්ලේ නා හිමි ගත කරනුයේ ඉතා නීරෝගී හා ක්‍රියාශීලි දිවි පෙවෙතකි. දශක තුන හතරකට පෙර ගමනා ගමන පහසුකම් හෝ මාර්ග පහසුකම් හෝ නොවූ දුෂ්කර ගම්පියසක අව්වෙහි කුඩයක් හිසලා, ඇතැම් දිනෙක පා වහන් සඟලක් වත් නොමැති ව දහදියෙන් තෙත් වූ සිරුරෙන් හා මුහුණින් යුතු ව පාසලට, දනට, පාංශුකූලයට වැඩම වූ නාහිමියන් ගේ රූපය සේ ම, රාත්‍රී කාලයෙහි හුලු අතු හා විදුලි පන්දම් එළියෙන් මහ පාරේ හා වෙල් නියර මතින් ධර්ම දේශනා සඳහා වැඩම වූ නාහිමියන් ගේ රූපය එකල ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාවට නුහුරු නුපුරුදු දසුනක් නො වී ය.

ජිවිතයේ වැඩිම කාලයක් කුඩාහීල්ලේ නාහිමිට සෙවණ දෙන්නේ ඌරුගමුවේ රන්නාවල තපෝධනාරාම ය යි. එම නිසා ම එදා මෙදාතුර ප්‍රදේශවාසී ගිහි පැවිදි සියලු ම දෙනා “රන්නාවල නායක හාමුදුරුවෝ“ යන ගෞරවණිය සේ ම ආදරණීය නාමයෙන් උන් වහන්සේ හඳුන්වති. උන්වහන්සේ ගේ අනූ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් සැප්. 28 පෙ.ව. 9.00 ට ගැබිනි මව්වරුන්ට ත්‍යාග ප්‍රදානයක් ද රාත්‍රී 7.00 ට ආශිර්වාද පූජාව ද පැවැත්වීමට නියමිත ව තිබුණි. සැප්. 29 පෙ.ව 8.30 සිට ප.ව. 3.30 දක්වා ලේ දන්දීමේ පින්කම ද රන්නාවල තපෝධනාරාමයේ දී පැවැත්වේ. තව ද දික්වැල්ල බතීගම රජයේ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසික රෝගීන් වෙනුවෙන් 28 රාත්‍රී ආහාරය පිරිනැමීමට ද කටයුතු යොදා තිබුණි.