Print this Article


ජාතික ප්‍රතිපත්තියක් ගෙනඒම තුළින් බෞද්ධ උරුමය නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි යි

ජාතික ප්‍රතිපත්තියක් ගෙනඒම තුළින් බෞද්ධ උරුමය නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි යි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

අප රටේ බුදු දහමේ ප්‍රභවස්ථානය වූ ‌‌ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ වැඩසිටින ඔබ වහන්සේට සුවිශාල ශාසනික කාර්යභාරයක් පවැරී තිබෙනවා. මෙවැනි වගකීම් සහගත කාර්යභාරයක නියැළීමට ගුරු හාමුදුරුවරුන් ගෙන් ලැබුණ ආභාසය මොන වගේ ද? නායක හාමුදුරුවනේ,

වළවාහැංගුණවැව මිහින්තලයට බොහොම සමීප ව සම්බන්ධ වුණ ගමක්. ඩවුන්දසේකර මහමුදියන්සේලාගේ පුංචිරාළ සහ ඉරුගල් බණ්ඩාරලාගේ රන්එතනා යන මගේ මව්පියන් ඉතාමත් ශ්‍රද්ධාවන්ත ගුණගරුක ආදරණීය මව්පිය දෙපළක්. මා ඇතුළු ව සහෝදර සහෝදරියන් දස දෙනකු සිටි පවුලේ බාලම දරුවා වුණ මම මද්දුම බණ්ඩා යන ගිහි නාමයෙන් හඳුන්වනු ලැබුවා. වළවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති නායක හාමුදුරුවන් වහන්සේ සහ නාමල්වැව රතනසාර නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනම ගේ ආචාර්යත්වයෙන් 1987 වර්ෂයේ දී පැවිදි ජීවිතයට ඇතුළත් ව මහනුවර හාරිස්පත්තුව විදුමිණ විද්‍යායතන පිරිවෙනින් ශාසනික අධ්‍යාපනය ලබා ගත්තා. උසස් අධ්‍යාපනය සඳහා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරුවා. ඒ අතරතුර ඉංග්‍රීසි භාෂාව ඇතුළුව තවත් භාෂා කිහිපයක් ඉගෙන ගැනීමට කටයුතු කළා. ඒවගේ ම එංගලන්තය අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවල් 80කට වැඩි ප්‍රමාණයකට වැඩම කළා. එහිදී භාෂා දැනුම වර්ධනය කර ගන්නා ගමන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වුණා. ඉන්දියාවේ බරණැස සංස්කෘත විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ආචාර්ය උපාධියත් ලබා ගැනීමට කටයුතු කළා. 1990 මැයි මස 14 වැනි දින උපසම්පදා පුණ්‍යකර්මය සිදුවුණ බවත් මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි. ඒවගේ ම 1938 වර්ෂයේ සිට 1991 වර්ෂය දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේ ආධිපත්‍ය උසුලමින් වර්තමාන තත්ත්වය දක්වා පවත්වා ගෙන එනු ලැබුවේ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති නායක හාමුදුරුවන් වහන්සේ විසින් බව කෘතවේදී ව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු යි.

ගුරු හාමුදුරුවන් වහන්සේ ගේ ගුරුහරුකම් හා එම යතිවර දැනුම , ඒ හඩ පෞරුෂත්වය, දේහධාරිත්වය , සෘජුපටිපන්න ගුණය වගේ ම අටලෝ දහමට කම්පා නොවී සිටීම යන සියලු දේ උන්වහන්සේ ගේ ආභාසයෙන් ලබා ගත් භික්ෂුත්වයට උරුම වූ ගුණාංගයන් තුළින් පැවිදි ජීවිතය වඩාත් ආලෝකවත් වීමට හේතු වුණ බව ගෞරව බහුමානයෙන් කෘතවේදී ව සිහිපත් කරනවා.

ශාසනභාරධාරී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේ සිදු කළ සුවිශේෂී ශාසනික සේවය පිළිබඳ ව කෙටි සඳහනක් කරන්න හාමුදුරුවනේ,

නායක හාමුදුරුවන් වහන්සේ ගේ අපවත්වීමත් සමඟ මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී වශයෙන් මට තවදුරටත් ශාසනික සේවයෙහි නිරත වීමට සිදුවුණා. 2012 වර්ෂයේ සිට මිහින්තලා රජමහා විහාරාධිපතිත්වය හා භාරකාරත්වය උසුලමින් වර්තමානය දක්වා එම ශාසනික සේවය සිදු කරගෙන යනවා. ඒ වගේ ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් සම්බුද්ධ ශාසනය ආරම්භ වුණේත් ‌මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මේ මහා පරම පූජනීය පින් බිමක් වුණ ඓතිහාසික මිහින්තලා විහාරස්ථානයේ දී ම යි. අතිපූජනීය දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන, සොළොස්මස්ථාන සියල්ලට ම ආරම්භක ස්ථානය වුණේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩමවීම යි.

පොසොන් මහා පින්කම රාජ්‍ය පොසොන් මහා පින්කමක් බවට පත්කිරීමට මම විශාල කැප කිරීමක් කළා. බොහෝ දේ මල් යහනාවන් උඩින් ලබා ගත් දේ නොවෙයි. බොහෝ තර්ක විතර්ක කරමින්, බොහෝ දෝෂාරෝපණයන්ට මුහුණ දෙමින් තුන් කාලයට අවශ්‍ය වන ආකාරයට ශාසනික මෙහෙවර සිදු කළා. ලංකාවේ පළමු පෙරහර වුණ මිහිඳු මහා පෙරහර රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට මේ වන විට ගැසට් කර තිබෙනවා. සීමා නිර්ණය කරමින් හරියට ම අවසන් කර නොමැති වුවත්, මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. වප්මස පුර අටවක පොහොය දින මිහිඳු මහ රහතන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවීම රජ දවසේ මහා ඉහළින් සිදුකරමින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව ගේ ත්, පොඩි හාමුදුරුවන් වහන්සේ ගේ ත් සහයෝගය ඇතිව මිහිඳු පරිනිර්වාණ පින්කම මගේ කැපවීමෙන් සිදු කරගෙන ගියා. 2019 වර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කළ මිහිඳු පරිනිර්වාණ පින්කම රජ දවස හා සමාන ව සිදු කළ පින්කමක් බවට මට දැනෙනවා.

2020 වර්ෂයේ දී අතිගරු ජනාධිපතිතුමා අරම්භ කළ මිහිඳු මහා සෑය චෛත්‍ය මේ වන විට ඉදිකර ගෙන යනවා . ලබන වසරේ දී එම ඉදිකිරීම් කටයුතු අවසන් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. මිහිඳු ගුහාවට යන පියගැට පෙළ, ධාතු මන්දිරය, බෝධිය වටා ඉදිවන රන්වැට මළුව පිළිසකර කිරීම, විශාල ධර්ම මණ්ඩපයක්, භාවනා කිරීමට විශාල ධර්ම ශාලාවක්, ආදී විහාරාරාංගයන් සකස් වෙමින් පවතිනවා.

ඒ වගේ ම ලෝකයේ පළමු අභය භූමිය, පළමු රෝහල, මිහින්තලා මහා සෑයේ මළුව, පියගැට පෙළ, ලෝකයේ පැරැණි ගහකොළ, ඖෂධ වර්ග, සතා සිවුපාවා ආදී සියල්ල ම සංරක්ෂණය වෙනවා.

පෙර පාසල් , ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වගේ ම ගැබිනි මව්වරුන් වෙනුවෙන් බොහෝ දෙනා ගේ සහයෝගය මත සමාජ සත්කාරක සේවා සිදුකරනු ලබනවා. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජන පවුර, තරුණ පවුර, වැඩිහිටි පවුර ආදී වශයෙන් සුභ සාධන කටයුතු සිදු කරනවා. විහාරස්ථාන ගණනාවක ආගමික, සාමාජික, ශාසනික සංවර්ධන කටයුතු සිදු කර ගෙන යන අතර, ප්‍රදේශයේ දරුවන් ගේ දහම් අධ්‍යාපනය සඳහා දහම් පාසල් පවත්වා ගෙන යනවා. තවදුරටත් සසුන් කෙත බබළවන බලාපොරොත්තුවෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේ පනස් නමක් පමණ සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට කටයුතු කර තිබෙනවා.

මිහින්තලා කඳු මුදුන, විහාරය අංග සම්පූර්ණ කරමින් අනාගත ලෝකයට දායාද කිරීමටත්, බණ භාවනා කිරීමට සුදුසු පරිදි කැලෑව සකස් කරමින්, සතා සිවුපාවා පවා ආරක්ෂා වන අකාරයට කටයුතු කිරීම ප්‍රධාන පරමාර්ථය යි.

ජාතික ,ආගමික, ශාසනික වශයෙන් තනතුරු හොබවමින් සමාජයේ ක්‍රියාශීලී ව වැඩ සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් නූතනයේ පැන නැඟී ඇති බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම, ධර්මයට වැරැදි අර්ථකථන සැපයීම, ඵෙතිහාසික සිද්ධස්ථාන විනාශ කිරීම වැනි ක්‍රියාදාමයන් වළක්වා ගන්නට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ යම් කෙටි පැහැදිලි කිරීමක් කරන්න නායක හාමුදුරුවනේ,

විවිධ කණ්ඩායම්, කල්ලි එකතුවෙලා විශේෂයෙන් ත්‍රිපිටකය විකෘති කිරීම අපි දැක්කා. උගත්, වියත්, බුද්ධිමත්, බහුශ්‍රැත, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ, ගුණ වෘද්ධ ත්‍රිපිටකය පිළිබඳ මනා දැනුමක් තිබෙන බොහොම සංවර භාවයෙන් කටයුතු කරන ඉවසීම ප්‍රගුණ කළ මහා යතිවරයාණන් වහන්සේ ගේ අවවාද අනුශාසනා ලබා ගැනීම යෝග්‍ය යි. වැරැදි අර්ථකථන සමඟ විශේෂයෙන් ජනතාව භෞතික ව හෝ මනංකල්පිත තැනකට වැටිල සිටිනවා. අපේ ජනතාව බුද්ධිමත් විය යුතු යි.

මේ ලෝකයේ දියුණු සමාජයක වගකීම් විරහිත ව කටයුතු කිරීම කාලෝචිත නැහැ. මිථ්‍යා දෘෂ්ටිය වෙනුවට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ අප සම්‍යක්දෘෂ්ටිකයන් බවට පත් කළේ. පූජනීය වස්තූන් මුල් කර ගෙන කටයුතු කරන ලෙස උන්වහන්සේ බුද්ධ දේශනාවත් සමඟ දේශනා කළා. එනිසා කෙනෙක් කියන පලියට නොවෙයි, කල්පනා කරල ණුවනින් යුතු ව බුද්ධිමත් ව කටයුතු කිරීම කාලෝචිත යි. අපිට තිබෙන එකම දහම වගේ ම අපේ ගුරුවරයා ත්‍රිපිටකය යි. ඇතැම් පුද්ගලයන් බොහෝ වෙහෙර විහාරස්ථාන විනාශ කිරීම පිළිබඳ කළකිරීම් ඇති වෙනවා. ඒ සඳහා නීති රීති ගෙනැවිත් සංරක්ෂණය කිරීම කළ යුතු යි. ලෝකයේ කිසිම රටක මෙවැනි විස්මිත නිර්මාණ නැහැ. ඒවා විනාශ කිරීමෙන් වළකින්න අවශ්‍යයි. අවුරුදු දහස් ගණනක් මේවා ආරක්ෂා කළ යුතු යි. ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම තුළින් බෞද්ධ උරුමය නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි යි.