දුරින් ඉඳන් ළඟින් ඉමු
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව
පුරාණ විහාරවාසී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
කෙනකු ගේ ළඟින් හිඳීමින් දුක සැප බෙදාගැනීම සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය යි. ගෘහ ජීවිත
ගත කරන අය ලෙස එසේ සිටීම වරදක් නොවේ.
එහෙත් යම් සුවිශේෂී අවස්ථාවන්ට මෙන් ම දේශයට, කාලයට අනුව වෙනස් විය යුතු අවස්ථා
තිබෙනවා. එවැනි විටෙක එයට අනුගත වෙන්නට ම ඕනෑ. බොහෝ දෙනෙක් සමීපවීම යන්න වරදවා
වටහාගෙනයි සිටින්නේ. සමීපවීම කියන්නේ උරෙන් උර ගැටී, එක බත්පත අනුභව කොට, තුරුල්ලේ
සිටීම නොවේ. දහමට අනුව අපට එකිනෙකාට සමීප වීමට බොහෝ අවස්ථා තිබෙනවා.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සුවිදුර සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළේ අපට බොහෝ ඈත ඇති කාරණා 04ක් ගැනයි.
අහස, පොළොව,සමුද්‍රයේ එතෙර මෙතෙර, සූර්යයා හා සත්පුරුෂ, අසත්පුරුෂ ධර්ම යි.
බැලූ බැල්මට මෙම හතර දුර වූව ද සමීපව පවත්වා ගෙන දෙලොව අභිවෘද්ධිය සකසා ගත් ඇත්තන්
ද දුලබ නොවෙයි. මෙහි දී බොහෝ දුර වන්නේ සත්පුරුෂ ධර්මයි. එහෙත් එයට සමීප ව
ආධ්‍යාත්මය මෙන් ම, භෞතික පැත්ත ද වඩා ශක්තිමත් කර ගත් පිරිස් ද නැත්තේ නොවේ.
ආර්ය භූමින්වලට පත්වීමට සත්පුරුෂ සේවනය අත්‍යවශ වන අතර සතර අපායෙන් මිදීමට
අසත්පුරුෂ සේවනය දුරු කළ යුතු වෙනවා. යමකු සත්පුරුෂ සේවනයට සමීප වන්නේ නම්, සියල්ල
තමන්ට සමීප ව පවත්වා ගන්නට පුළුවන්. සූර්යයා බොහෝ දුර වූව ද ප්‍රයෝජන අඩු වන්නේ නෑ.
ඒ ඉන් ප්‍රෙයා්ජන ගන්නට සිතන දක්ෂයාටයි.
ආධ්‍යාත්මික ප්‍රතිපදාව ගෙන බැලුවත්, විමුක්ති ලාභය ලැබීමට පළමුව තමන් ආත්මාර්ථකාමී
වන්නට ඕනෑ. ඇතැමෙක් ආත්මාර්ථකාමීත්වය නරක දෙයක් ලෙස දකිනවා. වරද වන්නේ ආත්මලාභය සහ
ආත්ම තෘෂ්ණාව යි. තමන් කුමන තත්වයක දී හෝ අනෙකාට අයහපත් නොවී දියුණුවක් ලබයි නම්,
එය අගය කළ යුතුවනවා. තමා ගේ දියුණුවක් නැති ව අනෙකා ගේ දියුණුව සැලසීම කළ නොහැකි
නිසයි. තමන් කියන දේට ජීවගුණයක් එකතු නොකොට කටයුතු කිරීම තුළ තමන් අන් අය ගේ
හෑල්ලුවට, උපහාසයට ලක්වීම නොවැළැක්විය හැකියි.
තථාගතයන් වහන්සේ දේශනා කළේ තමන්ට කිඹුල්වතින් හමන සුළඟත් සැපයි කියලයි. එසේ දේශනා
කළත් උන්වහන්සේ කිඹුල්වත ම රැඳී සිටියේ නෑ. ඥාතීන් විසින් පූජා කරන ලද
නිග්‍රෝධාරාමයේ පවා වැඩ සිටියේ ඉතා අඩු කාලයක්. එහෙත් උන්වහන්සේ ඥාතීන්ට සමීප වුණා.
එසේ සමීප වූයේ ගතින් නොවෙයි. තමන් අවබෝධ කොට ගත් උතුම් සත්‍යය අවබෝධ කොටදීමෙනුයි. ඒ
සමීපවීම දෙ ලොව වැඩදායක යි. කෙනකුට සමීප වෙනවා යනු ඔහු ගේ හෝ ඇය ගේ හෝ දෙලොව
අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම යි. ගතින් සමීපවීම තුළ කෙනකුට ජීවිත තර්ජනයක්, රෝග
බිය හෝ රෝග ව්‍යාප්තියක්, සිදු වන්නේ නම්, එවන් සමීපවීමට වඩා දුරින් සිටීම පින්
ලැබීමට හේතු වෙනවා.
තව පිරිසකට සමීප වනවා යනු ඔවුන් සමඟ සිටීම නොවෙයි. ධර්මයෙහි දක්වා ඇති පරිදි පංචබලි
සිදු කිරීමයි. ඥාතීන්ට, ආගන්තුකයන්ට, මියගිය ඥාතීන්ට සිදුවිය යුතු යුතුකම් ඉටු
කිරීමත්, රජයට බදු ගෙවීමත් මත ඒ ඒ කොටස්වලට සමීපවිය හැකියි. එසේ නොමැති ව ඔවුන්
සිපවැළඳ ගැනීමට යාම අනුචිතයි. ළඟින් සිටියත් ඔවුනට අනුග්‍රහය පිණිස නො පවතින්නේ
නම්, එය දුරස්වීමක් ලෙසයි සැලකිය හැකි වන්නේ. ගතින් දුරස් වූව ද ඒ යුතුකම් සිදු
කරන්නේ නම් වඩාත් ළංවීමක් වනවා. වර්තමානයේ අවශ්‍ය වන්නේ ත් එවැනි ළංවීමක්.
තමන් පරිභෝජනය කරනවා සේ ම මව් පියන්ට, ඥාති අසල්වැසි අයට ද පරිත්‍යාග කිරීම සතුටක්.
මෙවන් කාලයක අනෙකාට සමීපවීමට ඇති ඉතා හොඳම ක්‍රමය එය යි. මෙවන් කාලයක දී පවා
අඩුලුහුඩුකම් නැති ව තමන්ට යමක් ලැබෙනවා නම්, ඇත්තෙන් ම ඔබ සසර එවැනි බෙදාහදාගැනීම්
සමඟ ජීවත් වූ කෙනෙක්. කෙනකුට තිබෙන ලොකුම ගින්න බඩගින්න යි. එය නිවාලීම තරම්
සමීපවීමක් තව ඇත්තේ නෑ. ඒ වගේ ම තමන් වෙනත් ගෙදරකට යාමත් ඔවුන් තමන් ගේ නිවසට ඒමත්
මේ කාලයේ දී නවතා දමා මෙවන් යුතුකම් තුළ සමීපවිම තහවුරු කරගත යුතු වනවා.
ස්වාමි භාර්යාවන් ද කොහේ කොතනක සිටියත් දෙදෙනා නො ඉක්මවා කටයුතු කරන්නේ නම්, එම
බැඳීම අධ්‍යාත්මික එකක් බවට පත් කරගත හැකියි. නිවසේ සිටිය ද ආධ්‍යාත්මික බැඳීම
නැතිනම් ඔවුන් බොහෝ දුර සිටිනවා වගෙයි.
යසෝධරාව දුරින් සිටිය ද නිරන්තර ව බෝසතාණන් වහන්සේට සමීප ව සිටියා . උන්වහන්සේ එක
වේලක් වැළඳද්දී ඇය ද එක් වේලක් පමණක් ආහාර ගත්තා. විවිධ යෝජනා හමුවේ දී පවා තම
සැමියා වෙනුවෙන් ම ජීවත් වුණා. දුරින් ඉඳන් ළඟින් ඉදීමට මීට වඩා පරමාදර්ශී චරිතයක්
නැති තරම්. සියල්ල මනාව තේරුම් ගැනීම තුළ දුරින් සිටියත්, ළඟින් සිටීමට හැකි බව
සිතමින් තමන් ගේ යුතුකම් ඉටු කරනවා නම් මේ රෝග උවදුරු සහිත කාලයේ අපට සතුටින්,
සැනසීමෙන් ජීවත් වන්නට පුළුවන්. |