Print this Article


මෙහෙණි සමාජයට දොරටු විවර වූ බිනර පෝදා

මෙහෙණි සමාජයට දොරටු විවර වූ බිනර පෝදා

" පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන කාන්තාවෝ නො දකිති."

ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමය යි. මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි වස් සමාදන් ව විහාරස්ථානයන් හි නිබඳ ව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේ ම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන ගේ ද ශාසනික කටයුතු සපුරාලමින් ඔවුනුදු ආර්ය මාර්ගයට යොමු කරවති. මෙම වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත් ය.

ගෝතමී දේවිය ගේ ආයාචනය

සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින් බිනර මහේ උදාවන බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත් පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙරවක් ම ආයාචනය කළා ය. එහි දී බුදුරදුන් දේශනා කළේ

“අලං ගෝතමී මා තෙ රැච්චා මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජිති“ යනුවෙනි.

“ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා“ යනු එහි අර්ථය යි.

පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන කාන්තාවෝ නො දකිති. දුක සේ, අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳීන් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ ගැන සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ සම්‍යක් උපායක් බව පෙනේ.

මනා සංවිධානයක්

විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ ඊළඟ වස් සමය වැඩ සිටිය හ. එහි දී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය - කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන දුක සේ සැතපුම් ගණනාවක් පයින් ම විශාලා මහනුවර වෙතපැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර ශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත් ව දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණි.

එබැවින් විහාරගෙය තුළට ඇතුලුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබර ව සිටියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස් ගෙන මනා සංවිධානයක් ද ගොඩනඟා ගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන් ගේ අරමුණ තවත් කල් නො ගෙන ඉටු කරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පහැදිලි ය.

අෂ්ට ගරු ධර්ම

ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන් වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහි දී ද බුදුරදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ “ආනන්දයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදිවීම නුඹට රිසි නො වේවා“යි වදාරමිනි. එහෙත් ආනන්ද හිමියන් ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදුසසුනේ පැවිදිවීමට භාග්‍යය උදා වුණි. එහි දී බුදුරදුන් වදාළේ “අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී ගරු දහම් අටක් පිළිගන්නී නම් එය ම ඇය ගේ උපසම්පත්තිය වේවා“ යන්න ය. මෙහි දී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වූව ද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්සෙන් නැගිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවි හිමියෙන් කළ යුතු ය.

2. භික්ෂුණීය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නො විසිය යුතු ය.

3. අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

4. වස් වසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු, භික්ෂුණී යන දෙසඟ පිරිස් හි ම දුටු දෙයින්, ඇසූ දෙයින්, සැක කළ දෙයින් යන තුන් දෙයින් (දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා) පවාරණය කළ යුතු ය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය, භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය.

6. දෙ අවුරුද්දක් ම උභතෝ සංඝයා වෙත හික්මෙන්නියක සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.

7. භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නො කළ යුතු ය.

8. භික්ෂුණිය විසින් භික්ෂුවකට මෙසේ සිතන්න, මේ දෙය කරන්න ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතා බහ නො කළ යුතු අතර භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතු ය.

මෙසේ මෙම ගරු ධර්ම අට ආනන් ද හිමියන්ට විස්තර කර දුන් බුදුරජාණන් වහන්සේ “අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම්, එය ම ඇය ගේ උපසම්පදාව වන්නේ යැයි වදාළ හ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ. එය ඇසූ මහාප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ට ගරු ධර්ම ජීවිතාන්තය දක්වා ම කඩ නො කොට ආරක්ෂා කරන බවට පොරොන්දු වූවා ය. ඉක්බිති ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ බව ප්‍රකාශ කළහ.

කල් තබා බැඳී නියර

පසුව බුදුරදුන් වදාළේ ‘අනඳයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනෙහි පැවිද්ද නො ලද නම්, මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වුවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නො වන්නේ ය. දැන් මේ සසුන චිරස්ථිතික නො වන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය. යන්න යි. බුදු සසුනෙහි කාන්තාවන් පැවිදිවීම සසුන චිරස්ථිතිකවීමට හේතු නො වන බව බුදුරදුන් ඉතා සරල උපමා දෙකක් මඟින් පැහැදිලි කළ ආකාරය ද චුල්ලවග්ග පාලියෙහි දැක්වෙයි.

සම්පූර්ණ වූ හැල් කෙතක වී බොල් වන රෝග විශේෂයක් හට ගැනීමටකට පළමුව එය උපමා කොට ඇති අතර උක් වත්තක ගස් තුළ කඳ රත් පැහැ ගන්වන රෝග විශේෂයක් හට ගැනීමකට දෙවනු එය උපමා කොට තිබේ. අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන් ගේ උපමාව වූයේ, මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වලක්වනු පිණිස කල්තබා ම නියරක් බඳනේ ද එසේ ම මා විසින් දිවිහිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බව යි.

භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනර පුර පසළොස්වක පොහොය දිනෙක මහාප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි උපසම්පදාව ලැබූවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.