Print this Article


සුවපත් මනසක් සැපවත් දිවියක්

සුවපත් මනසක් සැපවත් දිවියක්

බුදු දහම මෙලොව දිවියෙන් පලායාමක් නොවේ. සියල්ල අසුභ ලෙස දකින, මෙලොව බැහැරකොට පරලොව සඳහා ම පමණක් වූ දහමක් ද නොවේ. දුක ගැන පමණක් නොව සැප ගැන ද කතා කරන දහමකි.

මුළු මහත් ලෝකය ම කොරෝනා වසංගතය හේතුවෙන් මහත් ව්‍යසනයකට මුහුණ දෙමින් සිටී. මෙතෙක් ගත කළ අති ධාවනකාරී ජීවන රටාව වෙනුවට සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජීවිතය පවත්වා ගෙන යාමට සිදුව තිබේ. තවදුරටත් යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගනිමින් වෛරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇත. මෙහි දී යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම යනු, ලෙඩ රෝගවලින් ආරක්‍ෂාවීම පමණක් නොවේ. කායික සෞඛ්‍යය පිළිබඳ මෙන් ම, මානසික හා සාමාජීය සෞඛ්‍යය පිළිබඳ ව ද සැලකිලිමත්විය යුතු ය. එවැනි යහපත් දිවි පැවැත්මකට අවැසි මාර්ගෝපදේශයන්ගෙන් සුපෝෂිත බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ව අප ගේ අවධානය යොමු කිරීම කාලෝචිත ය.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය, මිනිසා ගේ සසර ගමන නවතා සදා සැනසුම, නිවන ලබා දීම පිණිසම හේතු වේ. බොදුනුවන් ගේ එකම බලාපොරොත්තුව ද එය ම ය. එසේ වුව ද බුදු දහම මෙලොව දිවියෙන් පලායාමක් නොවේ. සියල්ල අසුභ ලෙස දකින, මෙලොව බැහැරකොට පරලොව සඳහා ම පමණක් වූ දහමක් ද නොවේ. දුක ගැන පමණක් නොව සැප ගැන ද කතා කරන දහමකි. මෙලොව දියුණුව හා පරලොව දියුණුව සැලසෙන, සමාජයේ සැමට ම සුවසෙත ළඟා කර ගත හැකි උසස් ජීවන මඟකි. මිනිස් දිවිය අදියරෙන් අදියරට දියුණු කර එහි උසස් ම මිනිසා ලොවට දායාද කළ හැකි සනාතන උතුම් දහමකි.

පුද්ගලයා ගේ දියුණුව සමාජයේ දියුණුව යි. එමෙන් ම පුද්ගලයා ගේ පිරිහීම සමාජයේ ද පිරිහීම යි. මේ බව දැක්වෙන දේශනා රාශියකි. එයින් කියැවෙන්නේ නිවන කරා යන ගමන් මඟට වඩා පුද්ගලයා ගේ මෙලොව ජීවිතය යහපත් කර ගැනීමේ මඟයි. ඒ මං ඔස්සේ ගමන් කරන සිල්වත්, නැණවත් පුද්ගලයා තුළින් යුක්ති ගරුක දියුණු සමාජයක් ගොඩ නැඟේ.

පරිසරය මිනිසා ගේ ගතිගුණ, හැඩ රුව, සිතුම් පැතුම් වෙනස් කරයි. එහි දී පුද්ගල හා සමාජ ඇසුර වැදගත් වේ. නුසුදුසු අයහපත් ඇසුර නිසා මිනිසා පමණක් නොව තිරිසන් සතුන් පවා වෙනස් වන අයුරු නොයෙක් කතාවලින් අපි දනිමු. මේ නිසා බුදුන් වහන්සේ ඇසුරු කළයුතු හා නොකළ යුතු අය ගැන මෙසේ හඳුන්වා ඇත.

තමාට වඩා ගුණ ණුවනින් පහත් අය ඇසුරු කිරීමෙන් පිරිහේ.

තමා හා සමාන අයකු ඇසුරු කිරීමෙන් පිරිහීමට පත් නොවේ.

තමාට වඩා උතුම් අයකු ඇසුරු කිරීමෙන් තම දියුණුව උදාවේ.

මෙයින් පෙන්වන්නේ සමාජයේ ජීවත්වන පුද්ගලයාට නොයෙක් අය ඇසුරට ලැබුණත්, ඉන් ගුණයෙන් බුද්ධියෙන් උසස් අය ඇසුරු කර තම එදිනෙදා දිවියේ ගැටලු විසඳා ගත යුතු බවයි. ඒ සඳහා බුද්ධිය හා ධර්මය උපකාර කර ගත යුතු බවයි.

කායික හා මානසික සුවතාවයට බාධා නොවී ආහාර පාන සපයා ගැනීමට හැකිවීම හා ගුණ නුවණ දියුණු කර ගැනීමට හැකිවීම යන කරුණු තමා ජීවත්වන පරිසරයක් තුළින් සලසා ගැනීමට හැකියාව තිබිය යුතු ය. මෙසේ පරිසරය යහපත් කර ගැනීමෙන් උසස් ජීවීතයක් ළඟා කර ගැනීමට උපකාර වේ.

සමාජය යනු පුද්ගලයන් අතර සම්බන්ධතා ජාලයකි. එම නිසා පුද්ගලයා හා සමාජය අතර පවතින්නේ දැඩි සබඳතාවයකි. එහි දී තමා ගැන පමණක් සිතා කටයුතු කිරීම හෙවත් ආත්මාර්ථය වෙනුවට පොදු හැඟීමෙන් ක්‍රියා කළ යුතු ව තිබේ. බුදු දහම සෑමවිට ම මඟ පෙන්වා ඇත්තේ උභයාර්ථය සාධනීය වැඩපිළිවෙළකට ය. එනම්, තමා ගේ ත්, අනුන් ගේ ත් යහපතට හේතුවන ආකාරයේ කටයුතුවල නිරතවීමයි. තමා ගේ ත්, අනුන් ගේ ත් අසහනයට හේතුවන සිත, කය, වචනය යන තිදොරින් සිදුවන දුසිරිත්කම් තුළින් අකුසල් සිදුවන බවත්, සුසිරිත්කම් තුළින් සහනයට හේතු වන කුසල් සිදුවන බවත් මෙහිදී පෙන්වා දී තිබේ.

දැහැමි දිවි මඟේ පදනම බෞද්ධයා ගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාවයි. දුසිරිත් පහකින් හා වැරැදි දහයකින් (දස අකුසල්) වෙන්වීම පුද්ගල හා සමාජ දියුණුවේ පදනමයි. බෞද්ධයකු වන බවට ලබා දෙන ප්‍රතිඥාව වන්නේ පන්සිල් සමාදන් වීමයි. පන්සිල් රැකීමට පොරොන්දු වන්නේ තෙරුවන් සාක්‍ෂි කරගෙන ය. එසේ පොරොන්දු වන්නේ වෙන කිසිවකු සමඟ නොව තමා ම සමඟ ම වීම ද විශේෂත්වයකි.

" අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ ” තමා උපමා කොට ගෙන අනුන් නොනැසිය යුතු ය. කායික හෝ මානසික පීඩා ගෙන දීමෙන් වැළකිය යුතු ය. පංචශීල ප්‍රතිපදාවෙන් කියැවෙන්නේ එය යි. අනුන් කෙරෙහි කරුණාව හා මෛත්‍රිය ඇති කිසිවකුට අනුන් ඝාතනය තබා අනුන්ට හිංසා පීඩා කරදර කිරීමට පවා සිත් පහළ නොවේ.නොදෙන කිසිවක් කිසිවකුගෙන් ගැනීම බරලතළ වරදක් බව දෙවන සික පදයෙන් කියැවේ. මේ තුළින් සොරකම වංචාව ආදියට ඉඩක් නැත. දැහැමි දිවි පෙවෙතකට ඉන් මග පෑදේ. අන්සතු දෙයට ආසා නොකරන, අනෙකා ගේ අයිතින් සුරකින සමාජයක් ඉන් ගොඩ නැඟේ. සමාජයේ පවතින ගැටලු රාශියක් විසඳා ගැනීමට මින් මඟ පෑදේ.

කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම තුන්වන සිකපදය යි. කාම ලෝකයේ කාමයේ හැසිරීම වැරැද්දක් නොවේ. එකී කාමය පසිඳුරන්ගෙන් ම (ඇස කන නාසය දිව ශරීරය) ක්‍රියාත්මක වේ. එය පාලනය කරන්නේ අප ගේ මනස යි. එම නිසා කාම සිත කුඩා කල සිට ම මනා හික්මීමකින් පාලනය කර ගත යුතු ය. එසේ නැතහොත් කාමයෙහි වරදවා හැසිරීමට සිත පුරුදු වෙයි. මේ නොහික්මුණු කාම සිත් හා සිතුවිලි සමාජයේ දුසිරිතට හේතු වේ.

සිව්වන සික පදය බොරු කීමෙන් වැළකීම යි. සත්‍ය ගරුක, අවංක සමාජයක පදනම එය යි. බෞද්ධ සමාජයක බොරුවට, රැවටීමට, අසත්‍යයට ඉඩක් නැත. බොරුකාරයාට කෙදිනකවත් සත්‍යය කරා ළඟා විය නොහැක.

පස්වැනි සික පදය මදයට හා ප්‍රමාදයට හේතුවන මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම යි. මෙයින් පුද්ගලයා සෑම අංශයකින් ම පරිහානියට පත්වන බව ඉතා පැහැදිලි කරණකි. මත් ද්‍රව්‍යය භාවිතය බරපතළ සමාජ ගැටලුක් වී ඇති ආකාරය දැක ගත හැකි ය. මෙයින් වෙන් වූ පුද්ගලයා තම දෙලොව දියුණුව ම සලසා ගනියි.

මේ ආකාරයට පන්සිල් පිළිවෙත් හි පිහිටි පුද්ගලයා ලොව උසස් ම මිනිසා බවට පත්වීම සඳහා තම මූලික ජීවන පදනම සකස් කර ගනියි. මෙලොව දියුණුව පමණක් නොව එය ලෝකෝත්තර දියුණුවට ද මඟ සලසයි.