Print this Article


සිහියෙන් හා උත්සාහයෙන් කටයුතු කරනවා නම් වසංගත රෝගයෙන් බේරෙන්නට පුළුවන්

සිහියෙන් හා උත්සාහයෙන් කටයුතු කරනවා නම් වසංගත රෝගයෙන් බේරෙන්නට පුළුවන්

අද ලෝකයේ දරුණුතම වසංගතය, කොවිඩ් වසංගතය යි. ඉතාම සියුම් ව පැතිරෙන

මෙම වෛරසය මෙතෙක් ලොව පහළ වූ සියලු වසංගත රෝග ව්‍යාප්තිය ඉක්මවා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය මෙ තරම් දියුණු නො වූ කාලවල මතු වූ වසංගත රෝග නසාලීමට තත්කාලීන වෛද්‍ය ක්‍රමවලට හැකියාව තිබුණ ත් මේ සා ප්‍රභේද වලට පත් වෙමින්, හෙමින් හැඩ ගැසෙමින් බහුල ව ව්‍යාප්ත වු වෛරසයක් පෙර නොවූ බව තතු දන්නා අය ගේ ප්‍රකාශ වලින් හෙළි වෙනවා.

වෙදකමට වඩා හෙදකම වටිනවා යැයි කියමනක් තිබෙනවා. එමෙන් ම නිවාරණය සනීප වීමට වඩා හොඳ බව වෛද්‍යවරු නිතර පවසනවා. මේ කොයි ආකාරයෙන් කීවත් අවධාරණය කරන්නේ මානසික ඒකාග්‍රතාව , සිහිය සහ උත්සාහය තිබෙනවා නම් රෝගී නොවී සිටිය හැකිබව යි.

ලොව රටවල සියලු පාලකයෝ රෝගය වැළැක්වීමට වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. ශ්‍රි ලංකාව මෙම කාර්යය ඉතා මැනවින් ඉටු කරනවා. රෝගයෙන් බේරා ගැනීමටත් , රෝගය වළක්වා ගැනිමටත් රජය සහ සෞඛ්‍ය සේවා සිදු කරන උසස් සේවය අද්විතීය යි. මැදහත් ව සිතන්නෝ එසේ දකිනවා.

කොවිඩ් 19 ප්‍රභේද නො වු මුල් ම වෛරස ගැන දැන ගත් දා සිට ම වෛද්‍යවරු, රෝගය නොවැළදීමට නම් දෑත් සේදීම, මුඛ ආවරණ භාවිතය , සංචරණ සීමා හා නිතර පිරිසිදුවිම මැනවින් දැන ගත යුතු බව ප්‍රකාශ කළා. මේ සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨිය මෙය යි.

බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳ චතුරාර්ය සත්‍ය දැකීම පමණක් නොව සියලු දුර්වලතා චතූරාර්ය සත්‍ය දර්ශනය පදනම් ව දැකීම ත් සම්මා දිට්ඨිය බව වදාළා. මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සුත්‍රයේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ගේ දේශනය මින් එකක්.

වේදනාව දැකීම , වේදනාවේ හේතු දැකිම, වේදනා නිරෝධය දැකීම , වේදනා නිරෝධ මාර්ගය දැකීම සම්මා දිට්ඨිය යි. එසේ කොවිඩ් 19 වෛරස් රෝගය ගැන දැනීම, එය පැතිරෙන හේතු දැන ගැනීම,එහි නිවාරණය දැනිම , ඒ සඳහා මාර්ගය දැකීමයි. මෙය න්‍යාය විරෝධී නොවේ. එබැවින් මේ සරල දැනුම ලබා ගත යුතු වෙයි. කොවිඩ් 19 ගැන විස්තර කරන ඇතැම් දේශකයෝ මුඛ ආවරණය තල්ලට දමා ගෙන දේශනා කරන ආකාරය ද, මයික්‍රෆෝන රාශියක් ඉදිරිපිට මුඛ ආවරණ නැතිව කථා

කරන ආකාරය ද මාධ්‍යවල දැකිය හැකි වෙනවා. මෙම වෛරසය ඕනෑම තැනක රැඳීය හැකි අතර, එයට

සංචරණ සීමා පැනවිය නොහැකි යි. මහැදුරෝ කළ යුත්තේ මුඛ ආවරණයක් පැළඳ කතා කිරීම යි. ඒ වනාහී

“දබ්බී රූප රසං යථා යැයි දේශනා කළ පරිදි තම ක්ෂේත්‍රයේ ම සිටියත් ‘හොද්දේ රස නොදැනෙන

පොල්කටු හැන්ද’ වැනි ස්වභාවයක් බව බලා සිටින්නන්ට හැඟෙනවා. වඩා වටින්නේ දහසක් දැනුම තිබීම නොව තමා සතු කූඩා දැනුම වුව භාවිතයට ගැනීම යි.

‘සහස්සම්පි චේ ගාථා අනත්ථ පද සංහිතා

ඒක ගාථා පදං සෙය්‍යෝ තං සුත්වා උපසම්මති’ යනු බුද්ධ වචනය යි. දහසක් දේ දැන සිටිනවාට වඩා

එක කුඩා ගාථා පදයක් දැන එය ප්‍රායෝගික ව වැඩීම වටී. කිසිදු භාෂා ශාස්ත්‍ර, විද්‍යාවන් හී නො යෙදෙන අයකුට වු ව මේ උතුම් සම්මා දිට්ඨිය ලබා ගත

හැකියි. අරි අට මගේ සම්මා දිට්ඨිය සමඟ පූර්වංග අංග දෙකක් දක්වා තිබෙනවා. ඒ සම්මා සතිය හා වායාම යයි. සතිය යනු සිහිය යි . නිතර අරමුණේ සිහිය පවත්වා ගැනීම සතිය යි. අරමුණ වන්නේ සතර සති පට්ඨානය යි. එහි කායානුපස්සනාවට මුඛආවරණ පැළඳීම යැයි යෙදීම න්‍යාය විරෝධී නොවේ. තමන්

අඩි හයක් පමණ දුරින් සිටීම , නිතර දෑත් සේදීම , විෂහරණයක් ළඟ තබා ගැනිම , වෙළඳසලකින් ලැබෙන කවරයක් හෝ මුදල් හෝ අල්ලා මුහුණ නො අල්ලා සිටීම , මුඛ ආවරණය කෙසේවත් තම අතින් නො ඇල්ලීම, අශාව නිසා වෙළඳසල් හි ඇති භාණ්ඩ අතපත නොගෑම ආදි අපේ සියලුම කායිකචර්යාවන් කායානුපස්සනාවේ සඳහන් සම්පජානකාරී චර්යාවන් වෙයි. අනවශ්‍ය ඕප දූප හා තිරච්ඡීන කථා හෙවත් වල් පල් මඟ දෙපස සිට දොඩමින් නොසිටීම ද සම්මා වාචා වන අතර, ඒ සඳහා සතිය තිබිය යුතු වෙයි.

සතිය කෙතරම් ශක්තිමත් වුව ද එය සිතින් ගිලිහී යෑම සාමාන්‍යය යි. අවුරුදු 30 ක් ගතපච්ඡාගත ධුතංග අරමුණ වැඩූ හිමි නමක් අලුතින් හමු වු තවත් පිරිසක් නිසා සිහිය වෙනස් වී, අරමුණ බිඳී ,ඉතා අමාරුවෙන් තමාගේ සිහිය බිඳුන ස්ථානය සොයා ගිය හැටිත්, පසුව ඒ ස්ථානයේ සිට නැවත මෙම ධුතාංගය පිරීම ආරම්භ කළ ආකාරයත් අටුවා කථාවක එනවා. එ බැවින් ‘ධම්මිකා කථා වා තුණ්හීභාවේන වා’ යන කථා කරන්නේ නම් ධාර්මික කථාවක් කරන්න, නො එසේ නම් නිශ්ශබ්ද ව ඉන්න යන බුදු වදන ද සම්මා වායාමය යි.

නිතර සම්මා සතිය පවත්වා ගැනිමට ගන්නා උත්සාහය ම වායාම නම් වෙනවා. එබැවින් මේ පිළිවෙත් පිළිපදින්නට දැඩි උත්සාහයක් ගත යුතු ම වෙනවා.