Print this Article


විඩාබර ගමනට විරාමයක් ලබන හැටි

විඩාබර ගමනට විරාමයක් ලබන හැටි

නපුරු සිතිවිලි සිතන, නපුරු වචන කියන, නපුරු ක්‍රියාවන් හි නිරත තැනැත්තා බාලයෙකි. එසේත් නැති නම් අනුවණයෙකි. නපුරු සිතිවිලි සඳහා අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි යන ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන් ද, මුසාවාද, පිසුනාවාච, ඵරුෂාවාච, සම්ඵප්‍රලාප යන චතුර්විධ වචී දුශ්චරිතයන් ද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තෙවැදෑරුම් කාය දුශ්චරිතයන් ද යන දස අකුසල ක්‍රියාවන් හි යෙදී සිටින්නා බාලයා යනුවෙන් ධර්මයෙහි හඳුන්වනු ලබනවා.

මේ ලක්ෂණ බාලයා ගේ ප්‍රකට ස්වරූපය යි. ඔහු ගේ චරිත ස්වභාවය යි. අනන්‍යතාව යි. බාලයා වරද, වරද වශයෙන් පිළිගන්නේ නැත.එ පමණක් නොව තම වරද දකින්නේ වුව ද එය සකසා ගන්නේ නැත. අන්‍යයන් වරද පෙන්වා දුන් විටෙක දී පවා එය තරයේ ප්‍රතික්ෂේප කිරීම අනුවණයා ගේ තවත් ප්‍රකට ලක්ෂණයන් සේ දහමෙහි දැක්වේ.

බුදු දහමෙහි අනුවණකම එසේ හඳුන්වා දෙන අතර ම එවැනි අය තම ඇසුරින් දුරින් දුරු කිරීමට ද උපදෙස් දෙමින් සාංසාරික ජීවිතය පිළිබඳව ද බොහෝ තොරතුරු අනාවරණය කරන අයුරු දැකිය හැකි ය. තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ නිවන් දක්නා තෙක් නො සිඳී, නො කැඩී, අවිච්ඡින්න ව පාරම්පරික පැවැත්ම සංසාරය යනුවෙනි. මෙහි ‘නොසිඳෙන පරම්පරාව’ යන යෙදුමෙන් අදහස් කරන්නේ ස්ඛන්ධ ධාතු ආයතනයන් ගේ අඛණ්ඩ වූ චිර පැවැත්මයි. දිගින් දිගට ම දිව්‍ය, මනුෂ්‍ය, අසුර, යක්ෂ, රාක්ෂ, නාග, ස්ත්‍රී, පුරුෂ ආදී විවිධ නම් ලබමින් පැවැතගෙන යෑම සංසාරය නම් වනවා. මෙබඳු වූ සසර පිළිබඳ සඳහන් කිරීමේ දී එහි ඇති බියකරු බව දහමින් සරලව පෙන්වා දී ඇත්තේ එය ඕඝයක් හෙවත් සැඩ පහරකට උපමා කරමින්.

බුදුරජාණන් වහන්සේ හැඳීන්වීම සඳහා වන තිලෝගුරු යන විශේෂණ යෙදුමෙන් අදහස් කරන්නේ, උන්වහන්සේ තිලොවට ම අසහාය මඟ පෙන්වීම සිදු කරන උත්තම ආචාර්යවරයාණෝ වන බවයි. තම ශ්‍රාවකයන්ට හෙවත් ශිෂ්‍යයන්ට ධර්මාවබෝධය සඳහා තමන් වහන්සේ ගේ සුවිශේෂී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කොට ගෙන තිබේ. ඒ අතර ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපකරණ මෙන් ම උපමා උපමේය භාවිතය ද දක්නට ලැබේ.උන්වහන්සේ තම ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යොදා ගෙන ඇති එම උපමා රූපක කිසිවකුටත් නුහුරු නුපුරුදු ඒවා නොවේ. සියල්ල ම පාහේ තම ඇසට පෙනෙන මානයේ පවතී. ශාරීරික ව තමන් අත්විඳීමින් සිටී. එබඳු ඉගැන්වීමක් ධම්මපද පාලියට අයත් මෙම ගාථා ධර්මයෙන් ද දැක ගත හැකි ව තිබේ.

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං

‘ජාගරතො’ සහ ‘සන්තස්ස’ යන වචන ව්‍යවහාර බසට නැඟීමේ දී පැහැදිලි වන්නේ ‘නිදිවැරීම’ සහ ‘ගමන් විඩාව’ යන තේරුම්වලිනි. රාත්‍රියෙහි ඇතැම්විට නින්ද නොයෑම නිසා පීඩාවට පත් නොවූ කෙනෙක් සොයා ගැනීම දුෂ්කර ය. එබඳු බොහෝ අවස්ථාවන්ට අපි ද මුහුණ දී ඇත්තෙමු. එහි දී විඳ ඇති අපහසුතාවන් අත්දැකීමෙන් ම දනිමු. රාත්‍රියෙහි ස්වභාවික ව ලැබෙන නින්ද යම් යම් හේතුන් නිසා නොලබන, රෝගී බවට පත් බොහෝ දෙනා ඒ සඳහා ඖෂධ ලබා ගන්නේ ද ඒ නිසාවෙනි. එබඳු පීඩාකාරි වූ මෙම සුලභ අත්දැකීම සංසාරයෙහි ඇති පීඩාකාරි ස්වභාවය හැඟවීම සඳහා ඉතා සමීපතාවයක් ගෙන දෙයි. එපමණක් නොව එහි ඇති පීඩාකාරී වූත්, අප්‍රසන්න වූත්, වෙහෙසකාරි වූත්, කඨෝරදායි වින්දනය සත්වයාට සසර පිළිබඳ කිසියම් අත්දැකීමක් ලබා දීමට යොදා ගෙන ඇති අයුරු තථාගත ධර්මයෙහි අව්‍යාජ බව පෙන්නුම් කරන්නකි.

එසේ ම සසර ස්වභාවය පිළිබඳ සරල දැනීමක් ඉක්මනින් ඇති කිරීම සඳහා මෙහි අනෙක් උපමාව වූ ‘සන්තස්ස’ යන වචනය හේතු වේ. තථාගතයන් වහන්සේ ධරමාන කාලයේ බොහෝ විට ගමන් බිමන් ගියේ පා ගමනිනි. ගැල් සහ අශ්ව කරත්ත ආදී විවිධ ප්‍රවාහන ක්‍රම තිබුණ ද අද මෙන් පොදු මගී ප්‍රවාහන ක්‍රම තිබුණේ නැත. අශ්ව කරත්ත බහුල වශයෙන් භාවිත කරන්නට ඇත්තේ රජවරු, සිටුවරු ආදී ප්‍රභූ ජනයා විය හැකි ය. ඒ අනුව යොදුන් ගණන් පා ගමනින් යන බොහෝ සාමාන්‍ය ජනතාව භාග්‍යවතුන් වහන්සේට ද මුණගැසුණි. එක්ව ගමන් කිරීම් ද සිදුවන්නට ඇත. එසේ බොහෝ වෙහෙස දරමින් කුඹල්හල් ආදී විවිධ නවාතැන් හි නතර වෙමින් දින ගණන්, සති ගණන් තමන් අපේක්ෂිත ස්ථාන කරා යාමට පීඩාකාරී ව වෙහෙස විඳීමින් මහ මඟ ගමන් ගන්නා පිරිස් තථාගතයන් වහන්සේට බොහෝ සෙයින් මුණගැසී තිබෙන්නට ඇත. එසේ විඩාබරිත ව යන පුද්ගලයන් තමන් අත්විඳීන වේදනාකාරි බව නිසා ම ඉදිරියට ඇති දුර මුණගැසෙන අයගෙන් විමසන්නට විය. එම විඩාබරිත මගියා මෙන් සත්වයා සාංසාරික ගමන් මඟෙහි තැන තැන නතර වෙමින් නැවත නැවතත් ගමන් කරයි. එහි ඉමක් නොදකියි. එය ශ්‍රාවක මනසට ළංකිරීම සඳහා තථාගතයන් වහන්සේ ජන මනසට ඉතා සමීප රූපකයන් භාවිත කොට ඇති අයුරු දැක ගත හැකි ය.

සමහරු ධර්මය නොදනිති. තවත් සමහරු දැන දැනත් නොදන්නාක් මෙන් ක්‍රියාකරති. එමෙන් ම ධර්මය විකෘති කරන අනුවණයන් ද වෙති. ඔවුන් ගේ සසර ගමන ද, නිදිවරන්නාට රැය පීඩාකාරී ව දික්වන්නාක් මෙන්, විඩාබර මගියාට ගමන් මඟෙහි දුර ප්‍රමාණය දික්වන්නා මෙන් දිගු වන බව පැහැදිලි කොට ඇත.

මෙහි ‘සද්ධම්මං’ යන වචනයෙන් කියැවෙන්නේ උතුම් තථාගත ධර්මය යි. මෙහිදී මූලික වශයෙන් අර්ථ ගන්වා ඇත්තේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ය. ඒවා පංචින්ද්‍රිය, පංචස්කන්ධ, සතර සතිපට්ඨාන, සතර සම්මප්ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංචබල, සත්ත බොජ්ඣංග මෙන් ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් සංඛ්‍යාත්මක ව දැක්වා ඇත. එබඳු වූ උතුම් ධර්මය නොදැනීම අනුවණයා ගේ ලක්ෂණය වන්නා සේ ම සසරමග දික්වන්නේ ය යන්න මෙම දේශනාවෙහි අදහස යි.

තථාගතයන් වහන්සේ ගේ මෙම දේශනය සඳහා හේතුවී ඇත්තේ කොසොල් රජු ය.දිනක් රජතුමා ඇතු පිටින් නුවර සැරිසරන අවස්ථාවේ නගර වැසි එක්තරා රූමත් ස්ත්‍රියක් දුටුවේ ය. රජුට ඇය සමඟ සහවාස වීමේ ආශාවක් ඇති විය. තොරතුරු සොයා බැලීමේ දී ඇය විවාහක කතක් බව දැන ගත් රජු එම ස්වාමියා විනාශ කොට ඇය ලබා ගැනීමට සිතුවේ ය. ඒ අනුව සොයා ගත නොහැකි යැයි සම්මත කිසියම් මල් වර්ගයක් හා මැටි වර්ගයක් සොයා ගෙන පැමිණීමට ඔහුට නියම කළේ ය. ඒවා ලැබිය යුතු වේලාව ද නියම කෙරුණි. රජ අණ ඉටු නොකිරීම මරණ දඬුවමට හේතු වන බැවින් එම අසරණ මිනිසා නගරයෙන් ඈතට ගියේ ය. ගඟක් අසබඩ නතර ව ආහාර දානයක් දෙමින් සිදු කළ සත්‍ය ක්‍රියාවකින් පසු එම දුර්ලභ පුෂ්පයන් වූ කඩුපුල් මල් හා අරුණුවන් මැටි විශ්මිත ආකාරයකින් ලබා ගත හැකි විය. රජ අණ ඉටු කරමින් නැවත ලහි ලහියේ රජ මැදුරට පැමිණියේ ය. එහෙත් රජ මැදුරට ඇතුළු විය නොහැකි වුණි. රැගෙන පැමිණි දෑ කිසියම් තැනක තබා තම රැකවරණය පතා හෙතෙම දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. ඉහත රූමත් ස්ත්‍රිය සමඟ එක්වීමේ කාම කල්පනාව නිසා රජු ගේ අසලකටවත් නින්ද නොපැමිණියේ ය. නිදිවරමින් එම ස්ත්‍රියගේ රුව ගුණ ගැන සිතමින් සිටි රජතුමාට මැදියම් රැයේ දී “දුසනසෝ” යනුවෙන් බියකරු හඬක් ඇසුණි. බොහෝ බියට පත් රජු උදෑසන ම තැතිගත් සිතින් හා බියෙන් සැකයෙන් යුතු ව තථාගතයන් වහන්සේ මුණගැසුණි. තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේ කාමයෙහි වරදවා හැසිරීම නිසා අපායගත ව සිටින සිටුවරු සිව් දෙනෙක් ලෝකුඹු නරකයෙහි පැසෙමින් නිරය මුවවිටට පැමිණි විටෙක ඔවුන්ගෙන් ප්‍රකාශ වූ සෝකාලාපයක් බව යි. එය ඔබට හෝ රාජ්‍යයට හානියක් නොවන බවයි. නිදිවරන්නාට රැයත්, විඩා ඇත්තාට යොදුනත් දික්වන්නා සේ ම, ධර්මය නොදත් අනුවණයාට සසර දික්වන බව යි. එයින් බියපත් වූ රජු කම් සැපයෙහි ගිජුකම හැර දැමූ බව සඳහන් වේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් විඩාබර දිගු සසර ගමන කෙටිකර ගැනීම සඳහා උත්සාහ ගත යුතු ව ඇත.