මරු පරදා රහත් වූ
මලියදේව මහ තෙරුන් වහන්සේ
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
ඔබ එසේ පැවසුවත් කෙසේ පිළිගත හැකි ද? මාර දිව්‍ය පුත්‍රයා වනාහි සිතූ සිතූ දේ මවා
පෑ හැකි ඍද්ධිමතෙකි. මේ මොහොතෙහි සර්‍වඥයන් වහන්සේ ගේ රූපය මවා පෑවහොත් ඔබ
මාරදිව්‍ය පුත්‍රයා බව පිළිගනිමි”
මලියදේව මහ රහතන් වහන්සේ හෙළදිව වැඩ සිටි අවසාන මහ රහතන් වහන්සේ බව ජනප්‍රවාදාගත
පිළිගැනීම යි. උන්වහන්සේ ගේ අර්හත්භාවය සම්බන්ධයෙන් ගැමියන් අතර ඇති ප්‍රවාද
සමූහයකි. මාරයා රවටා අර්හත්භාවය ලැබීමේ පුවත එයින් එකකි. “මරළුවාව” යන ග්‍රාම නාමය
ලැබී ඇත්තේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මේ තෙරණුවෝ රහත්බව ලබන අපේක්‍ෂාවෙන් බොහෝ කලක් මෙ ගම වැඩ සිටිමින් භාවනාවෙහි
යෙදුණහ. තෙරුන් වහන්සේ දිනක් විහාර මලුව ඇමද භාවනාවට එළැඹියහ. එදින භාවනාවෙහි
යෙදුණහොත් රහත්බව ලබා ගන්නා බව මාරයා දුටුවේ ය. එ බැවින් එය වැළැක්වීමට වෘෂභයකු ගේ
වේශයෙන් විහාර මලුවට පැමිණියේ ය. මළ මූත්‍ර පහ කොට මලුව අපවිත්‍ර කොට යන්නට ගියේ ය.
තෙරුන් වහන්සේ එය ඉවසමින් නැවතත් මලුව පිරිසුදු කොට භාවනාවට එළඹියහ. මෙය දුටු මාරයා
තෙරුන් වහන්සේ ගේ සිත විකෘති නො වූ බව දැන වඳුරකු ගේ වේශයෙන් නැවත පැමිණ මලුවෙහි වූ
ගස්වල අත්තෙන් අත්තට පනිමින් කොළ රොඩු බිම හෙළමින් සහ මළ මූත්‍ර කරමින් මලුව විරූප
කොට කැළයට පැන ගියේ ය. මේ වතාවෙහි ද තෙරුන් වහන්සේ එය ඉවසමින් දෙවැනි වරටත් මලුව
පිරිසුදු කොට භාවනාවට එළැඹියහ. එය දුටු මාරයා තෙරුන් වහන්සේ ගේ සිත තවමත්
කෙලෙස්වලින් නො පිරුණු බව දැන කකුලක් අබල වූ කොරකු ගේ වේශයෙන් පැමිණ මලුව හැම තැන
ඇවිද ඔහු ගේ කොර කකුලෙන් සහ සැරයටියෙන් ඉරි අඳීමින් නැවතත් භූමිය විරූප කළේ ය. එකල්
හි තෙරුන් වහන්සේ “මෙ පමණ කලක් මාගේ භාවනාවට බාධා කළ එකදු කෙනකු නොමැත. අද මේ
ස්වල්ප වේලාවෙහි තුන් දෙනකු ම පැමිණ මාගේ කටයුතු වැළකුවේ ය. ඒ තුන් දෙනා එක් අයකු ම
විය යුතු ය. මේ මාරදිව්‍ය පුත්‍රයා ම විය යුතු ය. මෙ පමණ දවසක් මා මෙහි සිටිනු
නුදුටු හෙතෙම අද පමණක් මා පෙනුණේ නිසැකයෙන් ම අද මා හට කෙලෙසුන් නසන්නට හැකි වන බව
දැන ගෙන විය යුතු ය” යි සිතා චිත්ත සන්තුෂ්ටියට පැමිණියේ ය. කොරා අමතා “තා
කවරෙක්ද?” යි ඇසී ය. එකල්හි මාර තෙමේ බොරු නො කියා සැබෑ තතු කියන්නේ “මම මාරදිව්‍ය
පුත්‍රයා වෙමි”යි කී ය. එකල්හි තෙරුන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයා බව දැන “ඔබ එසේ
පැවසුවත් කෙසේ පිළිගත හැකි ද? මාර දිව්‍ය පුත්‍රයා වනාහි සිතූ සිතූ දේ මවා පෑ හැකි
ඍද්ධිමතෙකි. මේ මොහොතෙහි සර්‍වඥයන් වහන්සේ ගේ රූපය මවා පෑවහොත් ඔබ මාරදිව්‍ය
පුත්‍රයා බව පිළිගනිමි” යි වදාළහ. තෙරුන් වහන්සේ ගේ ඉල්ලීම ඉවතලිය නො හැකි වූ මාර
දිව්‍ය පුත්‍රයා සිය සමර්ථකම් තෙරුන් වහන්සේ ඉදිරියෙහි දක්වන අදහසින් ඇසිල්ලකින්
සර්‍වඥයන් වහන්සේ ගේ රූපය මවා දැක්වී ය. එයින් වන විපාකය හෙතෙම නො දුටුවේ ය. තෙරුන්
වහන්සේ සවණක් රැස් විහිදෙන සර්‍වඥයන් වහන්සේ ගේ බුද්ධකාය දැක බුද්ධාරම්මන ප්‍රීති
උපදවමින් සිත පහදවා ගෙන අර්හත්භාවය ලැබූහ. මාරයා සිය සමර්ථකම් සිදු කොට බලන විට
තෙරුන් වහන්සේ අර්හත් භාවයට පැමිණි බව දැක ලජ්ජාවෙන් පීඩිත වී ය. “තෙරුන් වහන්සේ මා
වංචා කළේ ය”යි පවසමින් පලා යන්නට වූයේ ය. එ තැන් සිට එම ස්ථානය සහිත ග්‍රාමය “මාරයා
රවටන ලද ස්ථානය” යන අර්ථයෙන් “මරහළුව” වූ බවත්, පසු කල එම නාමය “මරළුවාව” වූ බවත්
ජනප්‍රවාදයක සඳහන් ය.
මෙම කතා පුවත විවිධ ස්වරූපවලින් ගැමි සමාජයෙහි ප්‍රචළිත වී පවතියි. ඇතැම් කතාවක
දැක්වෙන්නේ වඳුරකු පමණක් මලුව අපවිත්‍ර කිරීම තෙවතාවක් ම සිදු කළ බව සහ වඳුරා ම
බුද්ධ රූපය මවා පෑ බවකි. තවත් කතාවක දැක්වෙන්නේ තෙරුන් වහන්සේ සන්ධ්‍යා සමයෙක් හි
මලුව හැමද පුද පූජා පවත්වා භාවනාවට එළැඹි කල්හි මාරයා කුරුමිණියකු ගේ වේශයෙන් පැමිණ
තෙරුන් වහන්සේ ගේ හිස වටා මහත් වූ ශබ්ද නඟමින් උන්වහන්සේ ගේ චිත්ත සමාධිය බඳ දැමූ
පුවතකි. තව ද මෙම කතා පුවතෙහි දෙවැනියට පැමිණියේ ගවයකු බවත්, හෙතෙම වර්චස් කිරීම්
ශබ්දවලින් සහ ගවයා ගේ හඬතැලීම් ශබ්දවලින් තෙරුන් වහන්සේගේ චිත්ත සමාධිය බිඳ දැමූ
බවත් සඳහන් ය. මෙහි තෙවැනි වාරයක තොරතුරු නොමැත. සෙසු කතාවල මෙන් අවසන් වන්නේ
තෙරුන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි මාරයා බුද්ධ රූපය මැවීමෙන් සහ උන්වහන්සේ එම බුද්ධ
රූපය දැක බුද්ධානුස්සති භාවනාවට එළඹ අර්හත් භාවය ලබා ගැනීමේ පුවතින් ය. |