Print this Article


ආහාරය බෙහෙතක් ලෙස නොගත්තොත් බෙහෙත් ආහාර ලෙස ගන්නට සිදු වේවි

ආහාරය බෙහෙතක් ලෙස නොගත්තොත් බෙහෙත් ආහාර ලෙස ගන්නට සිදු වේවි

මාලුවා නහින්නේ කට නිසා කියලා අපේ ජන වහරේ අපූරු කියමනක් තිබෙනවා. ආහාරයේ දී ද කට පරිස්සම් කර ගැනීම ඉතා වැදගත්.

මිනිසා විතරක් නොවෙයි, සෑම සත්වයකු ම මුහුණ දෙන බරපතළ ම රෝගය කුමක් ද? සම්බුද්ධ දේශනයට අනුව නම් එය වෙන කිසිවක් නොව බඩගින්න යි. “ජිගච්ඡා පරමා රෝගා” යන ධම්මපද ඉගැන්වීම තුළින් පැහැදිලි වන්නේ ඒ කරුණයි.

බඩගින්න රෝගයක් නම්, එයට ප්‍රතිකාරයක් තිබෙනවා. ඒ, “ආහාරය” යි. එසේ නම් ආහාරය කියන්නේ වෙන කිසිවක් නොව බෙහෙතක්. එය කුසගින්න නමැති, අප හැම දෙනා ම දෛනිකව ම මුහුණ දෙන රෝගය සුවකර ගැනීම සඳහා අනිවාර්යයෙන් ගත යුතු ඖෂධය යි.

මෙහිදී,

“ඔබ ආහාරය බෙහෙතක් වශයෙන් සලකා පරිභෝග නොකළොත් අනාගතයේ දී ඔබට බෙහෙත් ආහාර වශයෙන් ගන්නට සිදු වනවා."

යන සම්බුද්ධ දේශනය පිළිබඳ ව අපගේ අවධානය යොමු කළ යුතු වනවා.

අද, සාමාන්‍ය වශයෙන් වයස අවුරුදු 35 පමණ ඉක්මවා යන විට වැඩි දෙනකු තම ජීවිතය බෙහෙත් මත ම යැපෙන්නට පෙළඹී සිටින ආකාරය යි අපට දකින්නට ලැබෙන්නේ.

එහෙත් සංසන්දනාත්මක ලෙස සලකා බලන විට පෙනී යන්නේ මීට දසක දෙක තුනකට පෙර පැවති තත්ත්වය අදට වඩා සුභදායක බව යි. එදා පිළිකා රෝගියකු ගැන ඇසුවත් කා තුළත් ඇති වන්නේ සංවේදී බවක් සමඟ අනියත බවක්. ඒ වගේ ම එය ඉතා දුලබ ආරංචියක්. අද වන විට ඒ තත්වය බොහෝ වෙනස්. එක පැත්තකින් පිළිකා රෝගීන් ඉතා සුලබයි. නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන නිසා සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. වාර්තා වන අන්දමට මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෛනික සාමාන්‍ය ඇතුළත් කිරීම් 70 ක් පමණ වනවා. එහෙත් ඒ ගැන සාමාන්‍ය සමාජය තුළ හැඟීමක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

වකුගඩු ආසාදනය වැනි බෝ නොවන අනෙකුත් රෝගාබාධ සම්බන්ධයෙන් වු ව ද තත්ත්වය මෙසේ ම යි. මේ ගැන සංවේදී වන්නට නම්, තමන් හෝ තමන්ගේ පවුලේ හෝ කෙනෙක් මේ තත්වයට පත් විය යුතු ම යි. මේ යන රටාව අනුව නම් බොහෝ දෙනකුට එම තත්වයට මුහුණ දෙන්නට වන කාලය ද වැඩි ඈතක නොවනු ඇති.

මේ රෝගාබාධ බොහොමයකට වැඩි වශයෙන් බලපාන්නේ අපේ ආහාර රටාව ඇතුලු අයහපත් ජීවන රටාවයි.

ඒ වගේ ම විවිධ බෙහෙත් වර්ගවලට යොමු වීම වැඩි වන තරමට ම වෙනත් රෝගාබාධ තත්ත්වයන් ද වැඩි වෙන බව මිස අඩු වන බවට සාධක නැත යන්න දැනට පිළිගෙන ඇති සත්‍යය යි. මේ පිළිබඳ චෝදනාව සෘජු ලෙස ම එල්ල වන්නේ බටහිර පන්නයේ ඇලෝපති ක්‍රමය වෙත ය යන්න ද බොහෝ දෙනෙක් චෝදනා නඟනවා.

වත්මන් හි ලොව පුරා සිදුවන මරණ සංඛ්‍යාව හා එයට හේතු සාධක පිළිබඳ විමසීම ද මෙහිදී වැදගත් වනවා. 2016 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවට අනුව ඖෂධ හා සම්බන්ධ කරුණු නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතිවිශාලයි. එහෙත්,

බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ ආහාරය පිළිබඳ යතාර්ථය අමතක කිරීමෙනු යි. ඒ අනුවණකම ම අප ගේ විනාශයට හේතු වී ඇති බව පිළිගත යුතු යි.

මුලින් ම සඳහන් කළ පරිදි මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගේ ආකල්පය, අප ගේ සෞඛ්‍යයට පමණක් නොවෙයි, සදාචාරාත්මක ජීවිතයටත්, ආර්ථික දියුණුවටත් ඒකාන්තයෙන් ම බලපානවා.

හිතේ හැටියට නොව කුසේ හැටියට කෑම

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආහාර ගැනීමේ පරමාර්ථය නිවැරැදි විය යුතු බව යි. සාමාන්‍ය පුද්ගලයකු ආහාර ගන්නේ බඩගින්න නිවා ගැනීම ම අරමුණු කර ගෙන නොවේ. ඔහු මුලින් ම ආහාරයේ රසයට මුල් තැන දෙයි. ශරීරයේ සුන්දරත්වයට වගේ ම සමාජ තත්වයට ද මුල් තැන දෙයි. මේ ආකල්පය නිවැරැදි නොවෙයි. එය මෙසේ නිවැරුදි විය යුතු යි.

“මා ආහාර ගන්නේ බඩගින්න නිසා ඇතිවෙන ශරීර පීඩාව නැති කර ගැනීමට යි.

මේ ශරීරයේ යහ පැවැත්ම සඳහා යි; (ඉමස්ස කායස්ස ඨිතියා)

මැනවින්, නිරෝගී ලෙස ශරීරය පවත්වා ගෙන යාම සඳහා යි (යාපනාය)

තමාටත් අනුන්ටත් ප්‍රයෝජනවත් පරිදි යහපත් ලෙස කටයුතු කිරීම පිණිස ශක්තිය ලබා ගැනීම සඳහා යි. (බ්‍රහ්මචරියානුග්ගහාය.)

මේ අනුව ආහාර ගැනීම කෙතරම් විද්‍යානුකූල ද ? මානව හිතකාරී ද? ඒ බව වත්මන් පෝෂණවේදීන් විසින් ද විවාදයකින් තොරව ම මහත් හරසරින් යුතු ව පිළිගෙන තිබෙනවා.

මේ සංකල්පය වර්තමාන බටහිර විචාරකයන් හඳුන්වන්නේ කල්පනාකාරී ආහාර ගැනීම යනුවෙන්. බෞද්ධ ජීවන මාර්ගයෙහි ආහාර ගැනීම ද භාවනාවේ කොටසක් ලෙසින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය චර්යාවක් බව තවදුරටත් දක්වනවා.

මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දැක්වෙන බුද්ධ දේශනාවට අනුව ඉදිරිපත් කෙරුණු ඉහත සඳහන් විස්තරය බුද්ධ ශ්‍රාවකයන්ට අනිවාර්ය ය වූවක් . එය භික්ෂු විනයේ දැක්වෙන්නේ “පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව” ලෙස යි.

ජීවිතයේ පැවැත්මට ත් , නැවැත්මට ත් ඒකාන්තයෙන් ම ප්‍රධාන වන්නේ ආහාරය යි. ඒ බව “සබ්බෙ සත්තා ආහාරඨිථිකා” යන ධර්ම පාඨයෙන් ද පැහැදිලි වෙනවා.

කෑදරකමට තිතක් තියමු

නිරෝගී ජීවිතයකට නම්, ආහාරය පිළිබඳ ව පවතින ආකල්පයේ වෙනසක් ඇතිකර ගත යුතු යි.

පළමුව ආහාරයෙහි කෑදරකම නැති කර ගත යුතු යි. රස තෘෂ්ණාව මුල් කරගත් එම පුරුද්ද දිව පිනවීම ම බලාපොරොත්තු වනවා.

මාලුවා නහින්නේ කට නිසා කියලා අපේ ජන වහරේ අපූරු කියමනක් තිබෙනවා. ආහාරයේ දී ද කට පරිස්සම් කර ගැනීම ඉතා වැදගත්. අනවශ්‍ය දේ කටට නොගත යුතු ම යි. ඒ සඳහා කට වටකර වැට බැඳීය යුතු ම යි. මෙහිදී ආහාරයේ ගුණදායක බවට ම මුල් තැන දිය යුතුවනවා.

එසේම පාට, සුවඳ, බාහිර හැඩය හෝ ආකර්ෂණීය බව සපුරා ම නොසලකා හැරිය යුතු වනවා.

සිතේ ප්‍රමාණයට වඩා තමන් ගේ කුසට සරිලන ප්‍රමාණය ගැන සලකා ආහාර ගත යුතු වනවා. බාහිර සමාජයට පෙනෙන්නට හෝ තමාගේ ඇති හැකි බව ප්‍රදර්ශනය කිරීම සඳහා නොව තමා ගේ ආර්ථිකයට සරිලන සරල ආහාර වේලකට යොමු විය යුතු වනවා.

කතාබහ, වාද විවාද ආදියට හෝ වෙනත් දෙයකට අවධානය යොමු නොකර ආහාර ගැනීමේ දී ඒ ගැන පමණක් ම දැඩි ලෙස අවධානය යොමු කරමින් එහි නියැළී ම ද කළ යුතුයි. එහි දී ආහාරයේ පවත්නා විවිධාකාර වූ රස කොටස් හොඳීන් විඳ ගන්නට හැකි වනු ඇති.

ආහාර ගැනීමේ දී ත් ඉවසීමක් ඕනෑ

සමහරු පුරුදු වී සිටින්නේ කෙටි කාලයකින්, හදිසියේ, ඉක්මන් ලෙස ආහාර ගැනීමටයි. ආහාර ගැනීමේ දී ත් රටාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාලය ම ඉවසීමෙන් යුතු ව වෙන් කළ යුතු යි. සිරුර මනා ලෙස තැන්පත් කර ගෙන, ඒ කියන්නේ සුදුසු පරිදි හිඳගෙන, සිත ද ඒ අයුරින් ම තැන්පත් කර ගෙනයි ආහාරය ගත යුතු වන්නේ. අනුන් මොනතරම් පෙරැත්ත කළත්, තමාට අගුණ හෝ අපුල දේ ප්‍රතික්ෂේප කළ යුතු ම යි.

අද බොහෝ ජන මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද මඟින් ආහාර සම්බන්ධයෙන් කෙරෙන ප්‍රචාරණය අතිශය හානිදායකයි. ඒ බව විශේෂඥ මතය ද වී තිබෙනවා. ශරීරයට අහිතකර බොහෝ දේ, සරල ව කියනවා නම් වස විස සහිත ආහාර විකුණන්නට උත්සාහ කරන්නේ හිරිකිතයකින් තොරවයි. එවන් පරිසරයක අප වඩ වඩාත් විචක්ෂණශීලී විය යුතුව තිබෙනවා.

අප ගේ මුවට ගන්නා දේ නියම ආහාරයක් බවට පත් වන්නේ එමඟින් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන ගුණාංග පහ අප තුළ ඇති කරන්නේ නම් පමණක් බවයි බෞද්ධ ඉගැන්වීම වන්නේ.

තෝරාගැනීම පරිස්සමෙන්

මේ අනුව සසඳා බලා ආහාර තෝරා බේරා ගැනීම ප්‍රවේශමෙන් කළ යුතු වනවා. හොඳීන්, බුද්ධිමත් ව සිතා බලන්නේ නම්, පෙනී යන්නේ වෙළෙඳ දැන්වීම් මඟින් විශාල පෙළඹවීමක් ඇති කරන, වෙළෙඳසල් හි සිත් ඇද ගන්නා ලෙස අසුරා තිබෙන, රස ගුණ පිරි ආහාර ලෙස පෙන්වා දෙන ආහාරවලින් වැඩි හරිය අදාළ කරුණට හාත්පසින් ම විරුද්ධ වූ වස විස ම වන බව යි.

අද රසකාරක, සුවඳ කාරක, වර්ණ කාරක ලෙස ආහාර ප්‍රියජනක කර ගැනීම සඳහා යොදා ගැනෙන බොහෝ කෘතීම ද්‍රව්‍ය හෙවත් රසායනික සංයෝග වෙන කිසිවක් නොවෙයි. පිළිකා ඇතුලු භයානක රෝග කාරක වන වස විස ම වන බව මෙහිදී අප දැනුම්වත්විය යුතුයි.

එක් අවස්ථාවක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලාංකික ජනතාව විනාශ කරන සුදු දේවල් පහක් ඇති බව යි. ඒ අන් කිසිවක් නොව සුදු හාල්, සුදු සීනි, සුදු පාන්, සුදු පිටි, සුදු සංස්කෘතිය යන කරුණු ය. මෙහි සුදු පිටි යන්නට ඇතැම් කිරිපිටි ද අඩංගු වන බව සැලකිය යුතු යි.

රටක් රැකෙන්නට නම් මිනිසුන් රැකී සිටිය යුතුයි. රටක් සංවර්ධනය වන්නේ, ඒ රටේ ජනතාව නිදුක් නිරෝගී ව සිටිනා තරමට යි . විශේෂයෙන් ම අපේ අනාගත පරපුර පිළිබඳ ව සලකන විට මේ කාරණය වඩාත් සංවේදීයි. ඒ, ළමා හා තරුණ පිරිසේ යහ පැවැත්ම මත සියල්ල තීරණය වන නිසයි. මෙහි දී දැනට පෙනෙන්නට ඇති පරිසරය නම් අතිශයින් ම කනගාටුදායක බව කනගාටුවෙන් වුව ද පිළිගන්නට වෙනවා. මෙහිදී අප තීරණාත්මක තීරණයකට පැමිණිය යුතුයි. ඒ දිවට මුල් තැන දෙනවා ද? ඇසට මුල් තැන දෙනවා ද? නාසයට මුල් තැන දෙනවා ද? විලාසිතාවට මුල් තැන දෙනවා ද? එසේ නොමැති නම් බුද්ධියට ම තැන දී, සිහි කල්පනාව පෙරදැරි කර ගෙන එදිනෙදා ආහාරය තෝරා බේරා ගන්නවා ද යන්නයි.

සිහිනයෙන් නොව සිහිබුද්ධියෙන් තීරණ ගන්න

බොහෝ දෙනෙක් තමන් නොදැනුවත්ව ම හෝ මුදලට ම මුල් තැන දෙන ඇතැම් ආත්මාර්ථකාමී ව්‍යාපාරික සමාගම්වල වහලුන් බවට පත් ව සිටින බව නම් පිළිගන්නට ම වෙනවා. දැන් හෝ අපි මේ නින්දෙන් අවදි විය යුතුයි. සිහිනයෙන් තීරණ ගන්නවා වෙනුවට සිහි බුද්ධියෙන් තීරණ ගත යුතුයි. තමන්ගේ ආහාරය පිළිබඳ සිතන විදිහ වෙනස් කර නො ගත්තේ නම්, අප හැමගේ ම විනාශය නුදුරේ ම අත්වන බව මේ දැන් දැන් දකින නිදර්ශන මඟින් ම අවබෝධ කරගත යුතු ව තිබෙනවා.

මේ කාලයේ අප අත්විඳීන කොරෝනා වසංගතයට ද මුහුණ පෑ හැකි සාර්ථක ම ක්‍රමවේදය එය යි. ඒ කියන්නේ නිවැරැදි ආහාර රටාව මඟින් අප, අප තුළ ම ප්‍රතිශක්තිකරණය නිපදවා ගන්නට උත්සාහ කළ යුතුයි. අපි අපේ අභ්‍යන්තර ශක්තිය ජනනය කර ගැනීම මඟින් අපේ ආරක්ෂාව ඒකාන්තයෙන් ම සලසා ගත හැකිය යන්න අවබෝධ කර ගත යුතු යි. අප ජීවත් වන්නේ භයානක වූ ත්, අනාරක්‍ෂිත වූ ත් තත්වයකයි. ඉන් මිදිය හැකි වන්නේ නිවැරැදි හා ධර්මානුකූල පැවැත්ම මඟින් ම බව අවබෝධ කර ගත යුතුයි. එය අදට පමණක් නොවෙයි. අනාගතයටත් එලෙස ම යි.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන අප කවුරුත් දන්නා ධර්ම පාඨය නිතර සිහි කිරීම හා අනුගමනය කිරීම කාගේත් යහපත පිණිස පවතින බව සිහිපත් කරමින් ඒ අනුව අපගේ හැසිරීම් හසුරුවා ගත යුතුයි. එවිට අනාගතයේ බත් පිඟානට වඩා ලොකු බෙහෙත් පිඟානක සරණ ලබමින් අසරණ වීමට සිදු නොවනු ඇති.