Print this Article


ජාතිය පුබුදුවා ධර්මාලෝකය විහිද වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ

මෙම 17 වැනිදාට යෙදෙන අනගාරික ධර්මපාලතුමා ගේ ජන්ම දිනය නිමිත්තෙනි.

ජාතිය පුබුදුවා ධර්මාලෝකය විහිද වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ

19 වන සියවසේ මැද භාගය වන විට ශ්‍රී ලාංකික බොහෝ දෙනා තුළ රට ජාතිය හා ආගම පිළිබඳ වූ අභිමානයත්, ආදරයත් බොහෝ සෙයින් ම යටපත් වී තිබුණි. දීර්ඝ කාලයක් අප ශ්‍රී ලංකාද්වීපය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් ව යටත් විජිතයක් ලෙස පැවතීම එයට හේතුවයි.

අපේක්ෂා භංගත්වයෙන් හා ආත්ම විශ්වාසයෙන් තොරව ජීවත් වූ සිංහල ජනතාවට එම පරගැති වහල් භාවයෙන් මිදී නිදහස් ව නිවහල් ව ජීවත්වීමට යෝග්‍ය පසුබිම සකස් කර දීමට සමත් අභීත වීරත්වයක් ජන්මයෙන් ම උරුම කරගෙන සිටි ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රෙයක් වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනි දින උපත ලැබී ය. ජාතියේ පිනෙන් පහළ වූ එම උදාර යුග පුරුෂයා අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ය.

එතුමා, මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමා ගේ හා මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිණිය ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය යි. ධර්මපාලතුමාට මව්පියන් තැබූ නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ යි. මෙතුමාට බාල එඩ්මන්, සයිමන්, චාර්ලිස් යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් හා සොහොයුරියෝ දෙදෙනෙක් සිටියහ. දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවා වර්ෂ 1872සිට 1874 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේ ත්,1874 සිට 1876 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ත්, 1876 සිට 1878 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ත්, 1878 සිට 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේ ත් අධ්‍යාපනය ලැබුවේ ය. එම විද්‍යාලවල ඉගැන්වූයේ ක්‍රිස්තියානි ධර්මය යි. ඒ නිසා ම එකී ධර්මය ඉගෙනීමටත්, එහි එන ගීතිකා ගැයුමටත් ඔහුට සිදු විය. මෙසේ ඉගෙනුම ලබන අතරතුර මව්පියන් ගේ තිබූ ධාර්මික බව නිසා ම ඔවුන් ගේ මාර්ගෝපදේශකත්වයෙන් පොහොය දිනවල විහාරස්ථානයට ගොස් උපෝසථ අෂ්ටාංග සීලය සමාදන්වීම ද හෙතෙම ඉතා උනන්දුවෙන් සිදු කළේ ය.

මහා යතිවරුන් ගේ ඇසුර

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, පූජ්‍ය හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමි යන ධර්මධර තෙරවරුන් ගේ ඇසුරෙන් බුද්ධ ධර්මය හා බෞද්ධ වත් පිළිවෙත් පිළිබඳ ව ඔහු උසස් අවබෝධයක් අත්කර ගෙන සිටියේ ය. මෙම විහාරස්ථාන හා පැවති සමීප ඇසුර ඔහු ගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවීමට මං පෙත් විවර කළේ ය.

ලංකාවේ ඉපදුණ සිංහලයින් විදේශීය භාෂා හා ක්‍රිස්තියානි ධර්මය ඉගෙන ගෙන පරගැති වහල් මානසිකත්වයක් ගොඩනඟා ගෙන භික්ෂූන් වහන්සේලාටත්, බුදු දහමටත් චෝදනා කරමින් බුදු දහමේ අඩුලුහුඬුකම් ඇති බව පෙන්වා දෙමින් නිර්දය ලෙස විවේචනය කිරීම මෙකල ප්‍රසිද්ධියේ ම සිදු කෙරිණි.

ඕල්කට් තුමාගේ පැමිණීම

ඒ පිළිබඳ වූ බෞද්ධ හා අබෞද්ධ වාද විවාද රාශියක් ද තැනින් තැන පැවතිණ. පංච මහාවාද ලෙස වඩාත් ප්‍රකට ව ඇත්තේ එම ප්‍රධාන වාද පහයි. මේ අතර වර්ෂ 1873 දී ඇති වූ පානදුරාවාදය එකල වඩාත් ප්‍රසිද්ධියක් ඉසිලී ය. වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියෝ වාදයෙහි පැවති මනා දක්ෂතාව නිසා ම ක්‍රිස්තු භක්තිකයන් හා තෙදිනක් වාද කොට ඔවුන් ගේ සියලු තර්ක බිඳ හෙළා පරාජයට පත් කළහ. පානදුරාවාදය ආදී වාදවලින් ලංකාවේ බෞද්ධයන් ජයග්‍රහණය කළ ඓතිහාසික පුවත ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. එහි මා හැඟි ප්‍රතිඵලයක් වූයේ අමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බ්ලැවැට්ස්කි මැතිණිය නම් වූ රුසියානු ජාතික කාන්තාවක සමඟ ලංකාවට පැමිණීම යි.

සරසවි සඳරැසේ ආරම්භය

එවැනි පසුබිමක් යටතේ ලංකාවට සැපත් ඕල්කට්තුමා ගාල්ල විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී තිසරණ සහිත පන්සිල් සමාදන් ව බුදු දහම වැළඳ ගත්තේ ය. ඉක්බිති ව ලංකාවේ දේශ හිතෛෂී ශාසන මාමක පිරිස් සමඟ එකතු ව “පරම විඥානාර්ථ බෞද්ධ සංගමය“ ස්ථාපිත කළේ ය. “සරසවි සඳරැස“ නම් පුවත්පත ආරම්භ වූයේ ද එහි ප්‍රතිඵලයක් ලෙස යි. තැනින් තැන සිදු කළ ඕල්කට්තුමා ගේ දේශන අසා ඒ කෙරෙහි බෙහෙවින් ම ප්‍රසාදයට පත් ඩේවිඩ් තරුණයා දිගින් දිගට ම එතුමා සමඟ එක්ව ජාතික ආගමික කාර්යයන් හි නිරත වූයේ ය.

නම වෙනස් කිරීම

වෙසෙසින් රටේ ඒ ඒ ප්‍රදේශයන් හි ගමන් කරමින් ඕල්කට්තුමා ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ දේශන එතුමා සිංහල භාෂාවට පරිවර්තන ය කළේ ය. මෙතැන් පටන් ‘ඩේවිඩ්“ යන විදේශීය නම ඉවත් කොට ‘අනගාරික ධර්මපාල‘ යන බෞද්ධ නම භාවිත කිරීමට එතුමා තීරණය කළේ ය.

ඕල්කට්තුමා ත්, අනගාරික ධර්මපාලතුමා ත් ප්‍රමුඛ මෙම සත්පුරුෂ විද්වත් පිරිස අප රටේ දරුවන්ට මිෂනාරි අධ්‍යාපනය වෙනුවට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දිය යුතු ය, යන අරමුණ ඇතිව ක්‍රියා කළ හ. ඒ වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවල විශේෂ රථයකින් ගමන් කරමින් එම රථයේ ම රාත්‍රිය නිදා ගනිමින් රටේ ජනතාව දැනුවත් කිරීමට කළ කැප කිරීම ඉතා විශිෂ්ඨ ය.

සිංහල බෞද්ධ අධ්‍යාපනයේ හිමිකම

මෙකී රථයේ ‘ගෙරි මස් නොකව්‘ යනුවෙන් ලොකු අකුරින් සඳහන් කොට තිබිණ. ගව මස් කෑමට හා සුරා පානයට දැඩි ලෙස විරුද්ධ ව ක්‍රියා කළ ධර්මපාලතුමා ගේ දේශන ඉතා දැඩි ස්වරයක් ගත්තේ ය. ඒ සිතේ පැවති දරුණු ස්වභාවයක් නොව අපේ බෞද්ධාගමටත්, ජාතියටත් තිබූ අව්‍යාජ අවංක භක්තිය හා ගෞරවය යි. මෙසේ කල්යත් ම ඕල්කට්තුමා සමඟ එක්ව මිෂනාරීන්ගේ නොමනා අධ්‍යාපනය වෙනුවට බෞද්ධ දරුවන්ට යෝග්‍ය අධ්‍යාපනයක් ලබා දීමේ උදාරාධ්‍යාශයෙන් “ඉරිදා පාසල්“ ආරම්භ කළේ ය. අද කොළඹ ආනන්ද විද්‍යාලය නමින් ප්‍රකට ව ඇත්තේ එසේ ආරම්භ කළ ඉරිදා පාසලකි. පරම විඥානාර්ථ සමාගම මඟින් කෙටි කලක් තුළ පාසල් පනහකටත් වැඩි ප්‍රමාණයක් ආරම්භ කරන ලදී. අප රටේ දරු දැරියන්ට සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබීමේ හිමිකම උරුම වූයේ ඒ අනුව යි

බුද්ධගයාව බේරා ගැනීම

වරෙක අනගාරික ධර්මපාලතුමාට ජපන් ජාතික භික්ෂූන් වහන්සේ නමක සමඟ දඹදිව චාරිකාවක යාමට අවස්ථාව උදා විය. ඒ බෞද්ධයන් ගේ පරම වාසනා මහිමයකට ය. ඒ වන විට “මහන්තා“ නම් හින්දු පූජකයෙක් බුද්ධගයා භූමිය අත්පත් කරගෙන එය ස්වකීය අණසක යටතේ පාලනය කරගෙන ගියේ ය. එදා සම්මත ව පැවතියේ එම බුද්ධගයා භූමිය බෞද්ධයන්ට නොව හින්දූන්ට අයිති දෙයක් බව යි. මේ පිළිබඳ දැඩි සේ කම්පාවට පත් ධර්මපාලතුමා “කවදා හෝ මා මේ බුද්ධගයාව බේරා ගන්නවා“ යන අධිෂ්ඨානය ඇති කර ගත්තේ ය.

එහි මා හැඟි ප්‍රතිඵලයක් ලෙස “සිංහලයිනි, නැගිටිවු. බුද්ධගයාව බේරා ගනිමු“ යන ආදර්ශ පාඨය මඟින් සිංහලයන් පුබුදුවා ලෝකවාසී බෞද්ධයන්ගේ ද සහාය ලබා ගෙන දැඩි පරිශ්‍රමයක් දරා දඹදිව බුද්ධගයාව ප්‍රමුඛ සෙසු සිද්ධස්ථානයන් හි උරුමය බෞද්ධයනට ලබා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පූර්ණ කළේ ය. එතුමා ගේ එම අත්‍යුදාර සේවාවට පින් සිදු වන්නට අද අප සේ ම ලෝක වාසී බෞද්ධ ජනතාව ද නිදහසේ ගොස් දඹදිව සිද්ධස්ථාන වන්දනා කරති. එතුමා පහළ නොවන්නට බුද්ධගයාව නාම ශේෂ බවට පත්වනු නො අනුමාන ය.