Print this Article


ආලෝකය දකිමින් අඳුරේ ගිලීම

ආලෝකය දකිමින් අඳුරේ ගිලීම

පනස් පස් වසරක් ම ඌරන් මැරීමත්, පවුලේ සාමාජික පිරිස සමඟ එම මස් අනුභව කිරීමත්, ඉතිරි කොටස් විකිණීමත් සිදු කරමින් ඉතා පවිටු දිවි පෙවෙතක් ගත කළ චුන්ද සූකරික ඌරු වැද්දා වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමය සමීපයේ ය. ඌරන් ඇති දැඩි කරන ලොකු කුඩා කොටු ද ඔහු ගේ නිවෙසෙහි ම ඉදිකොට තිබිණි.

චුන්ද සූකරික ඌරන් මැරීම සිදු කරනුයේ මෙසේ ය. ඌරන් කා බී ඇති දැඩි වූ පසු පැන යන්නට නොහැකි පරිදි කණුවක තද කොට මාංශ තර කරන්නට මුගුරකින් තලයි. එවිට ඌරා මර හඬ දෙයි. එලෙස පැය කිහිපයක් තලා කට හරවා දඩු කඩක් දමා කකියන උණු දිය ඌරා ගේ කටට වත් කරයි. එවිට ඒ උණු දිය කුස තුළට ගොස් සියලු මළ මුත්‍ර නික්ම කුස පිරිසුදු වෙයි. අනතුරුව එම උණු දිය ම ඇඟට ද වත් කොට ඌරා ගේ ලොම් හා කළු හම ගලවා දමයි.

එ සමයෙහි බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ සිටියහ. තුනුරුවන් පිදීමට උදේ සවස බොහෝ සැදැහැවත්හු වේළුවනාරාමයට එති. ඌරු වැද්දා නිතර එය දකියි. එහෙත් ඒ කිසිත් ගැන මදකදු සැලකිල්ලක් නොදක්වයි. වේළුවනාරාමයෙන් නැඟෙන පූජා හඬ පවා ඔහු ගේ කණට අමිහිරි ය. ආසන්නයේ ම ජීවත් වුවත් එකම දිනයෙකදු ඔහු බුදුරජාණන් වහන්සේ නොදුටුවේ ය. සිදු කළ කිසිදු පින්කමක් ද නැත.

කලක් ගත වුණි. ඌරු වැද්දාට බලවත් රෝගයක් හට ගැනුණි. සිරුරට ඉවසිය නොහැකි වේදනාවක් ගෙන දුන්නේ ය. මිය යෑමට කල් තිබියදී ත් අවීචි මහා නරකයෙහි වැටී ගිය කලෙක මෙන් මහා ගිනි කඳෙකින් දැවී ගියාක් මෙන් වේදනාවට පත් විය. තමන් කළ කර්මයට අනුරූප ව ඌරු හඬ නිකුත් කරමින් දෙදණින් නිවෙසෙහි එහා මෙහා යන්නට විය. එවිට නිවෙසෙහි වසන්නෝ ඔහු තද කොට අල්ලා කට වසති. එහෙත් කර්ම විපාකය වු කලි කිසිවෙකුටත් වැළැක්විය නොහැකි ය. එහෙයින් චුන්ද සූකරිකගේ ඌරු හඬ නැඟීම නවතාලන්නට ඔවුහු අසමත් වූ හ. දිවා රෑ දෙකෙහි ම හේ ඌරු හඬ දුන්නේ ය. දෙදණින් නිවෙසේ එහා මෙහා යන්නේ ය. එහෙයින් අවට නිවැසියෝ ද නිදි නොලැබ පීඩාකාරී ලෙස රැය පහන් කළහ. චුන්ද සූකරික ගේ ඥාතීන්ට ද දොස් නඟන්නට වූ හ. ඥාතීහු දොස් ඇසීමෙන් ගැලවිය නොහැකි තැන ඔහු අල්ලා ගෙය තුළට ම ලා සිර කොට තැබී ය. ඒ ඔහු ගේ මර හඬ පිටතට නො ඇසෙන සේ දොර ජනෙල් වසා තබමිනි. චුන්ද සූකරික මෙසේ සත් දිනක් ම නිවස තුළ ම මර හඬ දෙමින් දැඩි දුක් විඳ සත්වැනි දා මිය ගොස් අවීචි මහා නරකයෙහි උපන්නේ ය.

දිනක් ඔහුගේ නිවෙස අසලින් විටින් විට වැඩම වූ භික්ෂූන් වහන්සේ පිරිසක්, ඒ මර හඬ අසා ඌරකු මොරගෑමකැයි සිතූහ. බුදුරජාණන් වහන්සේ වෙත එළඹ

"ස්වාමීනි, චුන්ද සුකරික නම් ඌරු වැද්දා වසන නිවෙසේ දොර ජනෙල් ද වසා දින ගණනාවක් ම ඌරන් මරණ බව පෙනේ. ඔහු ගේ නිවෙසේ මඟුලක් විය යුතු ය. මෙ පමණ ඌරන් මරන්නා වූ ඔහුට කිසිත් සත්ව කරුණාවක්, මෛත්‍රියක් නූපදින බව නම් මහා පුදුමයකි. මෙ තරම් දරුණු මිනිසකු අපි කවරදා හෝ දැක නැත්තෙමු" යි කී හ. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ

"මේ දිනවල එහි ඌරන් මැරීමක් නැත. චුන්ද සූකරික මිය යන්නට ළඟ ය. මැරෙන්නටත් පෙර ම ඔහු තමන් කළ පාප කර්මයට අනුරූප ව විපාක විඳීයි. පණ තිබිය දී ම ඔහු අවීචි මහා නරකයෙ හි ම උපදී ය"යි වදාළහ.

එවිට භික්ෂූන් වහන්සේ

"මෙම පවිටු ඌරු වැද්දා මෙලොව දී ත් ශෝකයෙන් පෙළී සිට, මරණින් පසුත් ශෝක කරන තැනක ම උපදින්නේ නොවේ දැයි ප්‍රකාශ කළහ.

ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ත සෝචති
සො සෝචති සො විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ ති

පව් කරන පුද්ගලයා මෙලොව ශෝක කරයි. පරලොව ද ශෝක කරයි. මෙලොව, පරලොව යන දෙලොව ම ශෝක කරයි. ඔහු තමා කළ කිළිටි කර්මය නිසා පරලොව ගිය කල්හි බොහෝ වූ අපා දුක් විඳීමින් විනාශයට පත් වන්නේ ය.