Print this Article


අනුන්ගේ වරැදි ම පෙනෙන්නේ හිතේ වෛරය ඇතිවිට යි

අනුන්ගේ වරැදි ම පෙනෙන්නේ හිතේ වෛරය ඇතිවිට යි

න අන්තලික්ඛේ න සමුද්දමජ්ජෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු.
(ධම්මපදය - පාපවග්ග - 13 ගාථාව)

කාරුණික පින්වතුනි,

අද පෝදා ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ ගාථාවක්. වටිනා දහම් කරුණු ඇතුළත් ධම්මපදය හඳුන්වන්නේ බෞද්ධයාගේ අත්පොත කියලයි. ධම්මපදය අවධානයෙන්, සිහිබුද්ධියෙන් කියවන ඕනෑම කෙනකුට තමන්ගේ ජීවිතය වෙනස් කරන දහම් පාඨයක් එහි කොතැනක හෝ අන්තර්ගත වෙලා තියෙන බව වැටහෙනවා. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මික දියුණුවේ අත්තිවාරම හැටියට මේ ධම්මපදය නම් ග්‍රන්ථය නිතර කියවන්න.

පින්වතුනි, අද මාතෘකාගත දේශනාව ධම්මපදයේ පාප වග්ගයේ අවසන් ගාථාවයි. මේ ගාථා ධර්මය අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සුප්‍රබුද්ධ ශාක්‍ය රජතුමා මුල් කරගෙනයි. සුප්‍රබුද්ධ රජතුමා දේවදත්ත හාමුදුරුවන්ගේ ත් යශෝධරා දේවියගේ ත් පියාණන්. බුදුහාමුදුරුවන් ගේ මාමණ්ඩි. පින්වතුනි, සිහිපත් කර ගන්න, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගිහි කල උතුම් බෝධිසත්ත්වයන් ලෙස කොතරම් ගුණ සමුදායක් තිබුණ ද? ගිහි ගෙය හැරදමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ම අචින්ත්‍ය වූ, අවාච්‍ය වූ, අප්‍රමාණ වූ, අනන්ත වූ මහා ගුණයන්ගෙන් එක් බුදුගුණයක්වත් හඳුනා ගන්නට සුප්‍රබුද්ධ රජුට හැකියාවක් ලැබුණෙ නෑ. ඒකට හේතු වුණේ තම ප්‍රිය දියණිය වූ යශෝධරාව හැර දමා පැවිදි වීමත්, තම පුත්‍රයා වූ දේවදත්ත පැවිදි කරගෙන තනතුරු ලබා නොදී වෙනස්කම් කළා යැයි කාලයක පටන් සිතේ පැසවපු වෛරයයි. මේ වැරැදි අදහස් නිසා බුදුහාමුදුරුවන්ගෙ හොඳ පවා සුප්‍රබුද්ධ රජු දැක්කෙ වැරදි විදියට. කවුරු හරි කෙනෙක් ගැන වෛරයක්, ද්වේෂයක්, තරහක් හිතේ පැසවනකොට පෙනෙන්නේ නම්, එයාගෙ වැරැදි පමණයි.

පින්වත්නි, මෙහෙම කාලය ගෙවිල ගියා. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින කාලයේ දවසක් එක්තරා සැදැහැවත් උපාසකයකු තමන්ගේ නිවසේ දානයට වඩින ලෙස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ අනෙකුත් මහ සඟරුවන ද පිරිවරා දානයට වැඩම කරවන අතරතුර සුප්‍රබුද්ධ රජතුමා මාර්ගය අවහිර කළා. මේ වෙලාවෙ සුප්‍රබුද්ධ රජු අධික ලෙස රහමෙර පානය කරල හිටියෙ.

බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වඩින මඟ අහුරාගෙන සුප්‍රබුද්ධ රජු නිකං හිටියෙ නැහැ. ‘බුදුන් මගේ බෑණා. වයසින් මට බාලයි. ඒ නිසා ඔහු ඉවත් වී මට ඉඩ දිය යුතුයි‘ ආදී වශයෙන් උන්වහන්සේට නොහොබිනා ලෙස බැණ වැදුනා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම නොකර නතර වී සිටියා. ඉන්පසු ව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා වදාරනවා ‘ආනන්දය, සුප්‍රබුද්ධ රජතුමා කළේ ඉතාම නපුරු වැඩක්. බුදුවරයකු ගේ මඟ අවුරා සිටීම දරුණු අකුසලයක්. මෙහි ආදීනව වශයෙන් මෙයින් සත්වෙනි දවස ඔහුගේ මාළිගාවේ පොළොව පැළී නිරයේ උපදිනවා. එය වළක්වන්නට නොහැකියි”.

බුදුරජාණන් වහන්සේ ගේ මේ ප්‍රකාශය සුප්‍රබුද්ධ රජතුමාට ආරංචි වුණා. ඔහු හොඳටම බය වුණා. දින හත ගෙවිල යනකම් කොහෙවත් නොගිහින් තමන්ගේ සත්මහල් ප්‍රාසාදයේ හත්වෙනි තට්ටුවට වෙලා කාලය ගත කළා. අපේ බණ පොත්වල සඳහන් වෙන විදියට එක මහලක දොරටුවක ආරක්ෂකයන් දෙදෙනකු ගානෙ යෙදෙව්ව. අමතක වීමකින් හරි රජතුමා පහළට ආවොත් නවත්වා ගන්න. රජුට ඉතා සමීප ව සේවය කළ දරුණු මැරයන් වැනි ආරක්ෂකයන් මාළිගාවේ ආරක්ෂාව භාර ව කටයුතු කළා.

හත්වන දවසේ රජු ගේ මඟුල් අශ්වයා කෝපයට පත්ව කෑගසමින් මහත් කෝලාහලයක් ඇති කළා. ඒ අශ්වයා හීලෑ වන්නේ රජතුමාට විතරයි. බොහෝ දෙනෙක් උත්සාහ කළත් අශ්වයා මෙල්ල කර ගන්න පුළුවන් වුණේ නෑ. පින්වත්නි, බලන්න අකුසල කර්මය විපාක දෙන විදිය. අන්තිමට රජුට බුදුන් වහන්සේගේ වචනය අමතක වෙලා පහළ මාලයට එන්න සූදානම් වුණා. වහල තිබුණ දොරටු ඉබේ ම විවෘත වුණා. ආරක්ෂකයන් නිසොල්මනේ හිටිය. රජතුමා පහත මාලයට අඩිය තබනවාත් සමඟ ම පොළොව පළාගෙන ගිනිදැල් මතුවෙලා රජතුමා නිරයට ඇදගෙන ගියා. මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ අප මුලින් සඳන් කළ මාතෘකා ගාථාවෙන් මරණයෙන් කිසිවකුටත් ගැළවිය නොහැකි බව සිහිපත් කරවමින් දම්සභා මණ්ඩපයට පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළා.

පින්වත්නි, ගාථාවේ තේරුම අපි විමසා බලමු.

අන්තලික්ඛේ - අන්තරීක්ෂයේ හෙවත් අහසේ, සමුද්ද මජ්ජෙ - මහ සයුර මැද

පබ්බතානං විවරං පවිස්ස - ගල් ගුහාවකට පිවිස , ජගති - මේ ලෝකයේ

යත්ථ - යම් තැනක , ඨිතං - සිටියේ නමුත් , මච්චු - මාරයාගෙන් ගැලවිය හැකි

සෝ පදේසෝ - එබඳු තැනක් , න විජ්ජති - විද්‍යමාන නොවේ, මච්චු - මාරයාගෙන්

නප්පසහේථ - ගැළවීමක් නැත.

පින්වත්නි, කාට වුණත් අහසේ, මුහුදේ, ගල් ගුහාවක හෝ වෙනත් කවර හෝ ආරක්ෂිත ස්ථානයක දැඩි රැකවල් මැද සිටියත් මාරයාගෙන් ගැලවීමක් නැහැ. මරණයෙන් මිදෙන්න පුළුවන් කෙසඟක් පමණ වූ තැනක්වත් මෙලොව දැකිය නොහැකියි. මේ මරණ ධර්මතාව හොඳීන් තේරුම් ගත්තොත් ඒ මොහොතට නිර්භය ව මුහුණ දීමට අපිට පුළුවන් වෙනවා. මෙලොව උගත් නූගත්, දුප්පත් පොහොසත්, ලස්සන අවලස්සන කාට වුණත් පොදු ධර්මතාව තමයි මරණය කියන්නෙ. බොහෝ කාලයක් ජීවත්වීමේ ආසාවෙන් විවිධ ආහාර පාන වර්ග, බෙහෙත්, ව්‍යායාම ආදී දේ කරමින් වෙහෙසුණත් මරණයෙන් බේරී සිටීමට බැහැ.

ධර්මයට අනුව මරණය සිදුවිය හැකි ආකාර 04 ක් තියෙන බව සඳහන් වෙනවා.

ආයුක්ඛය - ආයුෂ අවසන් වීමෙන් සිදුවන මරණය, කම්මක්ඛය- කර්ම ශක්තිය අවසන් වීමෙන් සිදුවන මරණය, උභයක්ඛය - ආයුෂය සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීමෙන් සිදුවන මරණය, උපච්ඡේදක - ආයුෂ සහ කර්ම ශක්තිය ඉතිරි ව ඇතත් හදිසි අනතුරු ආදී බලාපොරොත්තු නොවන ආකාරයෙන් සිදුවන මරණය

පින්වත්නි, මේ කියපු කාරණාවලින් එකකින් අපේ මරණය සිදුවීම නියත ධර්මතාවයක්. ඒ නිසයි බුදුහාමුදුරුවො දේශනා කළේ මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ ස්වල්පයයි. ඒකාන්තයෙන් පරලොව යා යුතුයි. ඒ නිසා කුසල් කරන්න. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. ඉපදුණු අයට නොමැරී සිටීමට හැකියාවක් නැහැ. යමෙක් වැඩිකල් ජීවත් වුණත් ටික කාලයක් ජීවත් වුණත් මරණය ඒකාන්තයි යනුවෙන්.

පින්වත්නි, මේ ගතවෙන්නේ අපේ රටට පමණක් නොවෙයි, සමස්ත ලෝකයට ම මරණ බිය දැනෙන කාලයක්. නමුත් බුද්ධ ශ්‍රාවකයන් විදියට අප මරණයට බිය නොවිය යුතුයි. මරණයට නොබිය ව මුහුණ දිය හැකි ක්‍රමය බුදුහාමුදුරුවො දේශනා කළා. ජීවිතයේ අනිත්‍යතාව නිතර සිහිපත් කරන්න. තමන් රැස් කරන භෞතික සම්පත් සියල්ල කවදා හෝ හැරදමා යා යුතු බව තේරුම් ගන්න. ඉඩකඩම්, දේපළ, ධන සම්පත්, යාන වාහන ආදී සැප සම්පත්වලට ඇති අසීමිත තෘෂ්ණාව ටිකෙන් ටික අඩු කරන්න.