Print this Article


සිතට දැනෙන බර නිසා ඔබත් පීඩාවෙන් ද? සැහැල්ලු වන්නේ මෙහෙමයි

සිතට දැනෙන බර නිසා ඔබත් පීඩාවෙන් ද? සැහැල්ලු වන්නේ මෙහෙමයි

“මගේ හිතේ මහා බරක් තියෙනවා. ඒ මොකක් ද කියලා මට තේරෙන්නේ නෑ".

බොහෝ දෙනකුට මෙවැනි හැඟීම් ඇති වූ අවස්ථා බොහොමයක් තිබෙන්නට පුළුවන්.

දෑතේ, හිසේ හෝ උර මත තිබෙන බරක් නම් බිමින් තබා නිදහස් වන්නට පුළුවන්. ඒ ත් හිතේ තිබෙන බරක් කෙසේ නම් බිමින් තබන්න ද?

සිතට බරක් දැනෙන්නේ අප අකැමැති සිතිවිලිවලින් සිත පිරී තිබෙන විටයි. එය බොහෝ අවස්ථවන් හි ජීවිතය කළකිරීමට පත් කරනවා.

ඒ වගේ ම තමන් කැමැති දේ සිත තුළ තැන්පත් වූ විට සිතට දැනෙන සැනසීම මොනතරම් ද? එවන් අවස්ථාවක දී අපේ සිතට දැනෙන්නේ, “මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා“ වැනි හැඟීමක්.

මෙලෙස අපට නොපෙනෙන එහෙත් දැනෙන, හැඟෙන සිතිවිලි විටෙක හිතට බරකුත්, තවත් විටෙක සැහැල්ලුවකුත් ගෙන දෙනවා. ඒත් බර ඔසවාගෙන ඉන්නට කැමැති කවුද? සැමදෙනා ගේ ම බලාපොරොත්තුව සැහැල්ලුව යි.

සිත සැහැල්ලුවෙන් තබා ගැනීම කියන්නේ තමන් කැමති ආකාරයෙන් සිතිවිලි පවත්වා ගැනීමයි. තමන්ගේ ම සිතිවිලි තමන්ට ම බරක් නොවී තබා ගැනීමට නම් සිතේ හා සිතිවිලිවල සැබෑ ස්වභාවය මැනවින් තේරුම් ගන්නට ඕනෑ.

ඇතැම් විටෙක සිතට බරක් දැනෙන්නේ අප කළ කී දේ ගැන ආපස්සට හැරී බලන විටයි. ලෝවැඩ සඟරා කතුවරයා එය ලස්සනට පැහැදිලි කරනවා.

කරන කලට පව් මීරිය මී සේ

විඳීන කලට දුක් දැඩිවෙයි ගිනි සේ

පව් මොනවාද කියලා අප දහම තුළින් ඉගෙන ගෙන තිබෙනවා. එහෙමත් නැති නම් ලෝක සම්මතයට අනුව දැන ඉගෙන තිබෙනවා. ඒත් සමහරු දැන දැනම පව් කරනවා. ඉතින් දුක් විපාක ලබනවා. එය සිතට බරක් ම මිස සැහැල්ලුවක් වන්නේ කෙසේ ද? ඒමොහොතේ දුකක් නොදැනුණත් පසුව කළ දේ ගැන පසුතැවෙනවා. මේ දුක් සමූහයා ඉතිරි කරන්නේ මහා බරක්. ඒ බර ටිකෙන් ටික ජීවිතය දුකට පත් කරනවා. පවක් වේවා, සමාජ සම්මත නොකටයුත්තක් වේවා සතුටින් සිදු කළ ත්, පසුව ඒ දේ මතකයට නැඟෙන විට, තමා කළේ වරදක් යැයි හැඟෙන විට සිතට මහත් වදයක් වෙනවා. සිතේ ඇති වන සියලු ම පසුතැවීම්වලට වඩා තමන් පවක්, අකුසලයක් කළා යැයි යන හැඟීම මහා බරක් ලෙස දැනෙනවා.

බොහෝ දෙනෙක් සිතන්නේ ඒ බරින් නිදහස් වන්නට නොහැකි බවයි. ඒ සිතිවිල්ල නිවැරැදි නෑ. අධිෂ්ඨානයක්, ඕනෑකමක් තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට සිතේ බර බිමින් තබන්නට පුළුවන්. ඒ වැරැදි නිවැරැදි කර ගෙනයි. දාන,ශීල හා භාවනා දී පින්කම්වලට යොමුවීමෙනුයි.

බුදු දහමට අනුව යම් අකුසලයක් කළේ නම් එහි අනිටු විපාකයන්ට මුහුණ දිය යුතු ම යි. එසේ නම් කළ යුතු වන්නේ නැවතත් එම අකුසලය නොකරන බවට දැඩි අධිෂ්ඨානයෙන් යුතු ව කුසල් මඟ අනුගමනය කිරීම යි. දාන, ශීල, භාවනා යන පින්කම්වලට යොමු වීමයි. මේ ආකාරයෙන් කටයුතු කිරීමේ දී සිතට සහනයක් දැනෙනවා. සිතේ බර ටිකෙන් ටික අඩු වෙනවා.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ලෝණඵල සූත්‍රයේ දී දැක් වූ උපමාවක් තිබෙනවා, එයට අනුව

මහා ජලාශයකට ලුණු අහුරක් එක් කළ ද එහි ලුණු රසයක් ඇති වන්නේ නෑ. ඒ ත් කුඩා වතුර භාජනයකට ලුණු අහුරක් එක් කළ විට එහි ලුණු රසය දැනෙනවා. එසේ ම නිරන්තරයෙන් කුසලයට යොමු වූ පුද්ගලයකුගෙන් කලාතුරකින් ස්වල්ප වූ අකුසලයක් සිදුවුයේ නම් එහි විපාක අනිටු ලෙස විපාක දීමට ඇති අවස්ථා අඩු බවයි.

මෙම කරුණ කිසිවිටකත් වරදවා තේරුම් නොගත යුතුයි. ඒ, ජීවත්වන කාලයේ වැඩිපුර ම පස්පව්, දස අකුසල් කරමින් සිට කලාතුරකින් දානයක් දීමෙන් කළ සියලු අකුසලයන්ගෙන් නිදහස් විය නොහැකි බවයි. දානයේ යහපත් විපාකය යටපත් කරගෙන නිරතුරුව ම සිදු කරන පස්පව්, දස අකුසල් හි අනිටු විපාක මතුවිය හැකි යි. ඒ නිසා නිරතුරු ව ම කුසලයට යොමු ව යහ පැවැත්මක් ඇති කර ගැනීම අවශ්‍යය යි.

නිරතුරු ව ම අප තුළ ආත්මායනය මුල් කර ගෙන “මම, මගේ“ නම් වූ සිතිවිලි පහළ වෙනවා. ඒ නිසා ලෝභ, දෝස, මෝහ නම් වූ අකුසල සිතිවිලි උපදිනවා. ලෝභය කියන්නේ “මම“ කියා හෝ “මගේ“ කියා හෝ තෘෂ්ණාවෙන් යුතු ව බාහිර අරමුණු අල්ලා ගැනීම යි. ඒ ත් අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඒ මෙලොව පවත්නා සියලු වස්තූන් අනියත බවයි. “මගේ" හෝ "මම කැමතියි" යනුවෙන් අල්ලා ගත් හෝ අල්ලා ගන්නට උත්සාහ ගන්නා වස්තූන් ද මොහොතක් පසා වෙනස් වෙනවා. මේ වෙනස් වීම පණ ඇති වස්තූන් මෙන් ම පණ නැති වස්තූන්ට ද එක හා සමානයි. ඒ වගේ ම සිතෙහි හටගන්නා සිතිවිලි ද වෙනස් වෙනවා. ඒ ත්

ආශාවෙන් අල්ලා ගත් හෝ අල්ලා ගන්නට උත්සාහ කරන හෝ වස්තූන් ගේ වෙනස්වීම පිළිගන්නට “මමත්වය"නම් උඩඟු සිත කැමති නෑ. මේ නිසා සිත නිරතුරු ව ම උත්සාහ කරන්නේ වෙනස් වන සියල්ල නොවෙනස් වන අයුරින් දකින්නට යි.

මේ සිත කවර ආකාරයෙන් “මගේ, මගේ“ කියා අල්ලා ගන්නට උත්සාහ කළත් වස්තූන් හි ස්ථිර පැවැත්මක් නෑ. සිතේ ඇති වන මේ ගැටුම බොහෝ කෙනකුට තේරුම් ගත නොහැකි යි. ඒ නිසයි බොහෝ කෙනෙක් පවසන්නේ “මගේ සිතේ ලොකු බරක් තියෙනවා.“ “මගේ ඔළුව අවුල්වෙලා“ යනුවෙන්.

මේ ඔළුවේ බර බලාපොරොත්තු කඩවීමක්. නැති නම් යම් බලාපොරොත්තුවක් ඉටු කර ගන්නේ කෙසේදැයි සිතන සිතිවිල්ලයි. එසේත් නැති නම් තමන් ප්‍රිය අයකුගේ වෙන්වීමයි.

අප ලෝක ව්‍යවහාරයට අනුව “මගේ“ යැයි ආමන්ත්‍රණය කළ ද, පරමාර්ථයට අනුව හැබෑවට ම “මගේ“ යැයි කීමට පණ ඇති හෝ පණ නැති කිසිවක් නැති බව සිතන්නට සිත පුරුදුකළ යුතු ම යි. එවිට ජීවත් වන ලෝකයේ සම්මුතියට අනුව කුමන අයුරිකින් කටයුතු කළ ද, බලාපොරොත්තු ඇති කර ගැනීමේ දී, බලාපොරොත්තු කඩවීමේ දී, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දී පමණක් නොව තරහව, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිතිවිලිවල දී පවා අස්ථීර ලෝකයක අස්ථීර පැවැත් ම සිතට දැනෙන්නට පටන් ගන්නවා. සිතක ඇති වෙන්නා වූ අමනාප හා කරදරකාරී සිතිවිලි ද ඇති වූ ආකාරයෙන් ම නැතිව යන බව සිතිවිලිවල වෙනස්වීම තුළින් ම අවබෝධකර ගැනීම ආරම්භ වෙනවා. එවිට,

සිතේ බර ගතිය හේතුවෙන් කිසිවක් සිතා ගන්නට බැහැයි පැවසූ ඔබට බරක් නොවූ සන්සුන් සිතකින් ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට අවස්ථාව උදා කර ගත හැකි වෙනවා.

මඩේ සිටිමින් ම ශරීරයේ මඩ සේදීමට උත්සාහ කරනවා යැයි සිතන්න. තව තවත් මඩ තැවරෙනවා මිස මඩ සේදී යන්නේ නෑ. සිතේ බර ද එසේ ම යි. අප අමනාප හෝ අසතුටු සිතිවිලි හෝ සිතෙහි රඳවා ගෙන සිටින තාක් කල් සිතේ ඇතිවන බරෙන් නිදහස් විය නොහැකි යි. අමනාප සිතිවිලි අත්හැරීමත් සමඟම යි සිතේ බර ගතිය පහව යන්නේ.

ලාබ, අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප කියන ලෝක ධර්මතා අටට අප සියල්ලන්ට ම මුහුණ දීමට සිදු වෙනවා.

මේ දුක් මට පමණක් ඇයි නොසිතිය යුතුයි. බෞද්ධ ප්‍රතිපදාව අනුව දුක්, කරදර බාධා විපත් ඉදිරියේ නිරවුල් මනසක් පවත්වා ගැනීමට හැකිතාක්දුරට උත්සාහ කිරීම යි වැදගත්. දුක මෙන් ම ප්‍රශ්න ඉදිරියේ සිතට බරක් කර ගත යුතු නෑ. සිත නිදහස් ව පවත්වා ගෙන දුකින් නිදහස් වන මඟ අනුගමනය කළ යුතු යි.

මනුෂ්‍ය ජිවිතයක් ලැබීම ඉතා දුලබ බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ ජීවිතය සුව සේ පවත්වා ගැනීමට මඟ උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ මඟ යනවා නම් සිතට බරක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වන්නට පුළුවන්.