Print this Article


ඇතොත් අනුවණකම දකිමු වනසන අයුරු දෙලොව ම

අවාරි ජාතකය:

ඇතොත් අනුවණකම දකිමු වනසන අයුරු දෙලොව ම

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ලොව මිල කළ නොහැකි අමිල වස්තුව ප්‍රඥාව යි. මිනිසත් බව ලබන, මෙ ලොව උපදින සියලු මිනිසුන්ට ප්‍රඥාවක් හිමිවෙයි. ඥානය, නුවණ, බුද්ධිය යනු මෙයට තවත් නම් කිහිපයකි. මනුෂ්‍යයකු ලෙස උපත ලබන්නේ රජ මැදුරේ ද, සිටු මැදුරේ ද, පැල්පතේ දැ යි වෙනසක් නැත. සියලු දෙනාම සමාන මනුෂ්‍ය ලක්ෂණවලින් යුක්ත ය. එහෙත්, රජ මැදුරේ උපන්නත්, වෙනත් උසස් යැයි හෝ පහත් යැයි සමාජය විසින් සම්මත කර ගත් කවර ස්ථානයක උපත ලැබුවත් ප්‍රඥාවෙන් යුක්ත නම්, ඔහු හෝ ඇය ලොව අමිල වස්තුවක් ය.

පින්වත් භික්ෂුව, අචිරවතී නදියේ පාරු මෙහෙයවන නැවියා මෙ කල පමණක් නොවෙයි, පෙර එක් ආත්මයක මටත් ඔය විදිහට ම කළා. අඥාන බව එකලත් තිබුණා. එය ඔහුගේ සසර පුරුද්දක්

දවසක් ජේතවනාරාම මහා විහාරයට බොහෝ දුර පිහිටි දුෂ්කර ග්‍රාමයක වැඩවාසය කළ භික්ෂූන් වහන්සේ නමකට මෙසේ අදහසක් පහළ වුණා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ ප්‍රායෝගික ව ක්‍රියාවට නැඟීමෙන් මම ජීවිතයේ සත්‍යය අවබෝධ කර ගත්තා. මාගේ මිතුරු භික්ෂූන් වහන්සේලා ත්, උපාසක උපාසිකා පිරිසත් බුදුරජාණන් වහන්සේ දෙනෙතින් දැක බලා ගෙන, උන්වහන්සේ විසින් දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කර මහත් සේ ප්‍රීතියට පැමිණෙනවා. ඒ නිසා මමත් හෙට ම බුදුරජාණන් වහන්සේ දැකීමට පිටත් වෙන්න ඕනි යැයි සිතා ඒ භික්ෂුව පාන්දරින් ම ගමන ආරම්භ කළා. ගව් ගණනක් පයින් ම ජේතවනාරාමය වෙත පැමිණෙන්නට වුණා. ජය ගත යුතු ලොකු ම අභියෝගය අචිරවතී ගංගාවෙන් එතෙර වීමයි. මධ්‍යහ්න සමයේ පැමිණියත් සවස් වෙන තෙක් ම පාරුවේ අවස්ථාවක් ලබා ගැනීමට නො හැකි වුණා. පැමිණි පිරිස පිළිවෙලින් එතෙර කිරීම එයට හේතුවයි. අවස්ථාව උදා වූ සැණින් පාරුවට නැඟි තෙරුන් වහන්සේ ‘‘තොටිය, මා ගඟෙන් එතර කරවන්න, මම ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යන ගමනකි මේ” යැයි පැවසුවා. එවිට තොටියා කියන්නේ ‘‘ස්වාමිනි, දැන් බොහෝ ම රෑ වෙලා, හෙට උදෑසන ගියහොත් ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ දැකීමට පුළුවනි” යැයි පිළිතුරු දුන්නා. එවිට භික්ෂුව කියන්නේ

‘‘පුරුෂය, තවමත් කල් වේලා ඇත. උන්වහන්සේ බැහැ දැකීමට ඒ නිසා වහා මා එතෙර කරවන්න, රාත්‍රිය උදා වුව හොත් සැතැපීමට තැනක්වත් සොයා ගැනීමට මෙතැන නැතැ”යි පැවසුවා. එයින් කෝප වූ තොටියා පාරුවට ගොඩකරගත් තෙරුන් වහන්සේ ගංගාව මැදට ගෙන ගොස් ගොඩවිය යුතු තොටුපොළෙන් ගොඩ නො කර, ගංගාවේ පහළට පාරුව මෙහෙයවා, පහළ තොටුපොළකින් එතෙර කළා. තෙරුන් වහන්සේ අදාළ තොටුපොළින් ගොඩවීමට කොතෙක් ඇවටිලි කළත් ඔහු එය සිදු කළේ නෑ.

තෙරුන් වහන්සේ ගේ සිවුර ද ජලයෙන් තෙමී ගියා. ගංගාවේ එගොඩට පැමිණි තෙරුන් වහන්සේ පය ඉක්මන් කරමින් විහාරයට ගොඩ වුවත් බුදුරජාණන් වහන්සේ දැකීමට නො හැකි වුණා. රාත්‍රිය විහාරයේ ගත කළා. සිවුර වේළා ගත්තා. පසුදින දම් සභාවට පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කර තමන් වහන්සේ අසවල් ප්‍රදේශයෙන් වැඩම කළ බව පැවසුවා. එකල්හි බුදුරජාණන් වහන්සේ ‘‘ඔබ වහන්සේ කවර දිනක ද පැමිණියේ? යැයි විමසුවා. එකල්හි ඊයේ රාත්‍රියේ පැමිණි බවත්, සිවුර තෙත බරිත වූ හෙයින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට නො පැමිණි බවත්, සිදු වූ සෙසු පුවත් ද ප්‍රකාශ කළා. එය අසා සිටි බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ සිත සනසමින්

‘‘පින්වත් භික්ෂුව, අචිරවතී නදියේ පාරු මෙහෙයවන නැවියා මෙ කල පමණක් නොවෙයි, පෙර එක් ආත්මයක මටත් ඔය විදිහට ම කළා. අඥාන බව එකලත් තිබුණා. එය ඔහුගේ සසර පුරුද්දක්” යැයි පැවසුවා.

එම පුවත අසනු රිසි වූ දම් සභාවේ සිවුවනක් පිරිස ම බුදුරජාණන් වහන්සේට නමස්කාර කර අතීත කතාව දේශනා කිරීමට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ අවාරි ජාතකයේ අතීත කතාව මෙසේ දේශනා කරන්න පටන් ගත්තා.

පින්වත් මහණෙනි, මම පෙර එක් ආත්මයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රාජ්‍ය කරන සමයෙහි තාපස පැවිද්දෙන් හිමාලය පර්වතයේ වාසය කළා. සති දෙකකට හෝ තුනකට සැරයක් ලුණු මිරිස් ආදී ඉවුම් පිහුම් කළමනා ගෙන යාමට නගරයට පැමිණීමේ පුරුද්දක් තිබුණා. දිනක් රජතුමාගේ උද්‍යානයේ දිවා කාලය ගත කරන විට රජතුමා මුණ ගැසී ඔහු මාවෙතින් ධර්මය ශ්‍රවණය කළා. එදින සිට එහි ම වාසය කරන්න ආරාධනා ලැබුණා. මහණෙනි, මමත් රජතුමාගේ ආරාධනාව අනුව වසර දොළසක් එහි සිටියා. රජතුමාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළා. රජතුමා එයින් පැහැදී විශාල නියම් ගමක් පූජා කළා. මම එය පිළිගත්තේ නැහැ. එහෙත් රජතුමා ද එය නැවත ගත්තේ නැහැ. රජතුමාගේ කාරුණික අනුග්‍රහය මගේ ගමනට බාධාවක් වුණා. එබැවින් උද්‍යාන පාලකයාට පවසා මා එයින් බැහැර වුණා. රජතුමාට එය දැන්වූවා නම් මට යාමට ඉඩ දෙන්නැති බව මම දැනගෙන සිටියා. උද්‍යානයෙන් පිටවී හිමාලයට නැවතත් යන අදහසින් අචිරවතී ගංගාව සමීපයට ගියා. එදින මට හමු වූයේ මේ භික්ෂුවට හමුවුණ තොටියා ම තමයි. ඔහු මිනිසුන් එගොඩට ගෙන ගියා. එගොඩ පිරිස මෙගොඩට ගෙන ආවා. එතෙර දී මිල දෙමි. යැයි පවසමින් මිනිසුන් ඔහු වංචා කරමින් එගොඩ මෙගොඩ ගමනාගමනය සලසා ගත්තා. ඔහු අඥාන බවින් පිරී සිටියා. මම එතැනට ගිය විට මගෙන් ද මුදල් ඉල්ලුවා. එකල්හි මම ‘‘තොටියාණෙනි, මම ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමි” යැයි පැවසුවා. ඔහුත් එය මුදලක් යැයි සිතා නිශ්ශබ්ද ව එගොඩට පාරුව මෙහෙයවා එගොඩ දී මුදල් ඉල්ලා සිටියා. එවේලේ ‘‘තොටියාණෙනි, ලෝක සත්ත්වයාට ම මෛත්‍රිය වඩන්න, ඔබ එතෙර දී ම මිනිසුන්ගෙන් මුදල් ගන්න. එසේ නො කරන නිසා මිනිස්සු ඔබ වංචා කර නොමිලයේ ම ගමන් පහසුව සලසා ගනිති. මිල අරගෙන විනා එතෙර නො කරන්න” යැයි අනුශාසනා කළා. නිශ්ශබ්ද ව සිටි ඔහු

‘‘තොප මට දෙන වස්තුව දෙව” යි කියමින් මුදල් ඉල්ලා සිටියා.

මම ඔබට නැවට ගොඩවෙන මොහොතේ ම පැවසුවේ මා සමීපයේ මුදල් නැත. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පමණක් ම කරන බව යි. පොරොන්දුව අනුව එය ඉටු කළා” යි පැවසුවා. එයින් කෝප වූ ඔහු මට පහර දීමට පටන් ගත්තා. එතැනට දුවගෙන පැමිණි තොටියා ගේ බිරිඳ,

‘‘හිමියාණෙනි, මේ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන තාපසයාණෝ ය. එබැවින් පහර නො දෙන්න”යි ඉල්ලා සිටියා. බිරිඳගේ හඬින් තවත් කෝප වූ හෙතෙම තාපසයාට පහරදීම නතර කර බිරිඳට පහර දුන්නා. ඇය දරු ගැබක් දරා සිටි තැනැත්තියක්. ඇය වහා ඇද වැටුණා. දරුවත්, බිරිඳත් එයින් ම මිය ගියා. ගමේ මිනිසුන් එතැනට පැමිණ රාජ පුරුෂයන් ලවා අල්වාගෙන මිනීමරුවකු ලෙසින් රජතුමාට ඉදිරිපත් කළා. රජතුමා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරණ දණ්ඩනය නියම කළා. ඔහුගේ අඥාන බව නිසා තම ජීවිතයත්, බිරිඳත්, උපත ලැබීමට සිටි තම දරුවාත්, තාපසයා ගේ ඇසුරත්, මිනිසුන් ගේ ඇසුරත් අහිමි වුණා. දෙලොව ම පරාජයට පත් වුණා යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ අවාරි ජාතක දේශනාව සමාප්ත කළා. එකල නැවියා නම්, අද මේ භික්ෂුවට හමු වුණ නැවියා ම ය. බරණැස් රජ්ජුරුවෝ නම් මෙකල ආනන්ද මහ තෙරුන් ය.තාපස ව සිටියේ ලොව්තුරා සම්මා සම්බුදු රජුන් වන මම් ම යැයි පූර්වාපර සන්ධි ගැළපීම ද සිදු කළා.